Language Switcher

V2025

සිරියාව මිහිපිට අපායක් - එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගෝටර්රෙස් මානව හිමිකම් කවුන්සිලයේ පළමු සැසිවාරය ආරම්භ කරමින් සිරියාව මිහිපිට අපායක් බවට පත්ව ඇති බවත් සිරියාවට තවත් බලාසිටිය නොහැකි බවත් ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් සිරියාවට දින දින 30 ක කාලයක් සඳහා සටන් විරාමයක් ලබාදීමේ ආරක්ෂක මණ්ඩල යෝජනාවක් වහාම ක්රියාත්මක කරන ලෙස ඉල්ලා තිබේ.

එසේම යුද්ධයට සහබාගි වී සිටින සියලු පාර්ශවයන්ගෙන් සිවිල් වැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට වගබලාගන්නා ලෙසට ඉල්ලා ඇත.

මෙම ප්‍රකාශය සිදුකරණු ලැබුවේ නැගෙනහිර ගොවුටාවේ අල්-ශිෆානියා නගරයට ක්ලෝරීන් වායු ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සිරියාවේ ක්‍රියාත්මක සහන කණ්ඩායම් සහ එරට වෛද්‍යවරු චෝදනා කිරීමෙන් අනතුරුවයි.

ගෑස් ප්‍රහාරය

සිරියාවේ ක්‍රියාත්මක සහන සෞඛ්‍ය සේවා කණ්ඩායම් නැගෙනහිර ගොවුටා ප්‍රහාර සඳහා ක්ලෝරීන් ගෑස් යොදාගෙන ඇති බවට සිරියානු හමුදාවට චෝදනා කර තිබේ.

වයිට් හෙල්මට් නම් සිවිල් සංවිධානය පවසා ඇත්තේ මේ හේතුවෙන් අවම වශයෙන් එක් දරුවෙක් මිය ගොස් ඇති බවයි.

විෂ සහිත ක්ලෝරීන් වායුවට නිරාවරණය වූ රෝග ලක්ෂණ පුදගලයන් බොහොමයක් තුළින් දක්නට ලැබුණු බව සහ ශාල වශයෙන් ළමුන් සහ කාන්තාවන් හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු බව වයිට් හෙල්මට් සංවිධානය පවසා තිබේ.

පසුගිය සතියේ සිරියානු හමුදාවන් හා ඔවුන්ගේ මිත්‍ර පාර්ශව විසින් දිගින් දිගටම 400,000 ක් පමණ ජනයා වෙසෙන නැගෙනහිර ගොවුටා ප්‍රදේශයට මාරාන්තික ගුවන් ප්‍රහාර හා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් තිබේ.

පෙබරවාරි 18 දා සිට ක්‍රියාත්මක මෙම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 500 කට අධික සංඛ්යාවක් මිය ගිය බව මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය (SOHR) පවසයි.