සංක්‍රමණිකයන් සම්බන්ධ ආන්දෝලනයක් නිසා බ්‍රිතාන්‍ය ඇමතිවරියක් ඉල්ලා අස්වෙයි

සංක්‍රමණිකයන් සම්බන්ධ ආන්දෝලනයක් නිසා බ්‍රිතාන්‍ය ඇමතිවරියක් ඉල්ලා අස්වෙයි

නීති විරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් "නොදැනුවත්ව" පාර්ලිමේන්තුව "නොමග යැවූ බව" පිළිගනිමින් බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය, ඇම්බර් රඩ් (Amber Rudd), පදවියෙන් ඉල්ලා අස්වූවාය.

"වින්ඩ්රශ්" නමින් හැඳින්වෙන, එවක බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාව මත බ්‍රිතාන්‍යයට ගෙන්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය සංක්‍රමණිකයන් දහස් ගණනක් දශක ගණනාවකට පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් "නීති විරෝධී සංක්‍රමණිකයන්" ලෙසින් හැඳින්වීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ බ්‍රිතාන්‍යයේ මහත් ආන්දෝලනයක් ඇතිවිය.

ඒ පිළිබඳව හිටපු ස්වදේශ කටයුතු ලේකම්වරිය කිහිපවරක්ම සමාව ඉල්ලා සිටියාය.

ඇය පදවියෙන් ඉල්ලා අස්වීම ගැන "දැඩිව කණගාටුවන" බව අගමැතිනි තෙරේසා මේ (Theresa May) පවසයි.

මේ අතර ලේබර් පක්ෂ ඡායා කැබිනට් මණ්ඩලයේ ස්වෙදේශ කටයුතු භාර ලේකම්වරිය, ඩයන් ඇබට් (Diane Abbott), පවසන්නේ ඇය "නිවැරදි තීන්දුව ගෙන තිබෙන" බවය.

"මේ අර්බුදය නිර්මාණය කළ" අගමැතිනිය පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණ "පසුගිය සතියේ ඇම්බර් රඩ් පාර්ලිමේන්තුව නොමග යැවූ බව දැන සිටියේ දැයි පැහැදිලි කළ යුතු " බව ද ඩයන් ඇබට් කියා සිටියාය.

ඇම්බර් රඩ් විසින් අගමැතිනි තෙරේසා මේ වෙත යවන ලද "ඉදිරි වසර කිහිපය ඇතුළත" තවත් සංක්‍රමණිකයන් 10%ක් රටින් පිටුවහල් කිරීමේ "ඉටු කළ හැකි" සැලසුමක් ඇතුළත් සම්පූර්ණ ලිපිය ගාඩියන් පුවත්පත් ඉරිදා ප්‍රකාශයට පත් කළේය.

පාර්ලිමේන්තුව හමුවේ සඳුදා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව සිටි හිටපු ස්වදේශ කටයුතු ලේකම්වරිය ඉරිදා රාත්‍රියේ සිය ඉල්ලා අස්වීම දුරකථනයෙන් අගමැතිවරිය වෙත දැනුම් දී තිබේ.

සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් නොදැන සිටීම පිළිබඳ "සම්පූර්ණ වගකීම භාරගන්නා" බව ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කොට තිබේ.
ගතව ගිය මාස හය ඇතුළත අගමැතිනි තෙරේසා මේ ගේ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ සිව් වෙනි තැනැත්තා ඇය වේ. ශ්‍රීමත් මයිකල් ෆැලන් (Michael Fallon), ප්‍රීති පටෙල් (Priti Patel) සහ ඩේමියන් ග්‍රීන් (Damian Green) මීට ඉහතදී සිය පදවිවලින් ඉල්ලා අස්වූහ.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න