Language Switcher

Ad

Ad 01

V2025

තායිලන්තයට අලුත් අග්‍රාමාත්‍යවරයෙක්

තායිලන්ත පාර්ලිමේන්තුව එරටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරාපත් කරගෙන තිබේ.

ප්‍රබල ව්‍යාපාරිකයකු වන අනුතින් ච(ර්)න්විරකුල් (Anutin Charnvirakul) මෙලෙස තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත් කරගෙන තිබෙන අතර හෙතෙම, අවුරුදු දෙකක් ඇතුළත තායිලන්තයට පත්වූ තෙවැනි අග්‍රාමාත්‍යවරයා යි.

තායිලන්තයේ ප්‍රබලම දේශපාලන පැළැන්තිය ලෙස සැලකෙන ෂිනවත්‍රා පවුලේ, පෙතොන්ටාර්න් ෂිනවත්‍රා ධුරයෙන් නෙරපීමත් සමඟ මෙලෙස නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගැනිණි.

කාම්බෝජය සමඟ ඇති වූ දේශසීමා අර්බුදයේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ ආචාර ධර්ම විරෝධී ලෙස කටයුතු කළේ යැයි චෝදනා කරමින්, පොතොන්ටාර්න් ෂිනවත්‍රා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට, තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අධිකරණය මීට සතියකට පෙර පියවර ගත්තේ ය.

ෂිනවත්‍රා ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ තායිලන්තයේ පැවැති සභාග ආණ්ඩුව ද විසිරී ගිය අතර, නව දේශපාලන ආරවුලක් නිර්මාණය විය.

අනුතින්ගේ, භූම්ජායිපතායි පක්ෂය හවුල් ආණ්ඩුවෙන් වෙන්ව ගොස් වෙන්ව තරග කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් සහාය සුරක්ෂිත කරගැනීමට සමත් වූ අතර, ඒ අනුව සිය පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරය ද හිමි කරගත්තේ ය.

අග්‍රාමාත්‍ය ධුරයට අයකු පත්වුව ද තායිලන්තයේ දේශපාලන වියවුල අවසන් නොවනු ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ. මෑත ඉතිහාසය තුළ තායිලන්ත දේශපාලනයට, එරට අධිකරණයේ මැදිහත් වීමත්, වරින් වර සිදු වූ හමුදා කුමන්ත්‍රණත් නිසා එරට පවතින දේශපාලන වියවුල් තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.

අනුතින් ච(ර්)න්විරකුල් තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම, ෂිනවත්‍රා පවුලට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති.

ධුරයෙන් ඉවත් කළ, පෙතොන්ටාර්න්ගේ පියා වන තක්ෂීන් ෂිනවත්‍රා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2001 වසරේදී ය. එතැන් පටන්, ෂිනවත්‍රා පවුල තායිලන්ත දේශපාලනය තුළ සිය ආධිපත්‍ය ව්‍යාප්ත කර තිබේ. තක්ෂීන් සහ ඔහුගේ සොහොයුරිය වන යින්ග්ලක් පිළිවෙළින් 2006 සහ 2014 වසරවලදී හමුදා කුමන්ත්‍රණ මඟින් බලයෙන් නෙරපන ලදි.

මුලාශ්‍ර :

Thailand's new prime minister, Anutin Charnvirakul

Thailand names third prime minister in two years



The leader.lk