Language Switcher

Ad

Ad 01

V2025

රගාසා සුළි කුණාටුව අද හොං කොං

රගාසා (Ragasa) සුළි කුණාටුව අද (23) හොං කොං (Hong Kong) වෙත කඩා වැදුණේය.

එහි, පාසල් සහ ව්‍යාපාර සියල්ල වසා දැමීමට පියවර ගැනිණි. ගුවන් ගමන් ද ලබන බ්‍රහස්පතින්දා (25) තෙක් අවලංගු කරන බව දැනුම් දී තිබේ. මෙම වසරේ, පෙරදිග සහ අග්නිදිග ආසියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වේ. ඊයේ (22) එය දැඩි හානි සිදු කරමින් ෆිලිපීනයට (Philippine) පතිත විය.

පැයට සැතපුම් 137ක ජව සම්ම්පන්න සුළං ප්‍රවාහ සමගින් එය චීනයේ ග්වන්දොන් (Guangdong) පළාතට ලඟා වෙමින් ඇතැයි, වාර්තා වේ.

ඉදිරි දින කිහිපයේ හොං කොං හි කුණාටු සහිත දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

කුණාටු හේතුවෙන් මුහුදු රළ ඉතා ඉහළ යා හැකි බව කාලගුණ නිරීක්ෂකයෝ අනතුරු අඟවති. වෙරළ තීරයේ මුහුදු රළ මීටර දෙකක් තෙක් ඉහළ යා හැකි යැයි, ඔවුහු දන්වා සිටිති.

පහත්-බිම් පදිංචිකරුවන්ගේ නිවාසාරක්ෂාව වෙනුවෙන්, වැලි ඇසුරුම් ලබා දීමට ප්‍රාදේශීය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

දින කිහිපයක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනතාව වෙළඳ සල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය කියයි. එළවළු මිල තෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ හොං කොං කොටස් වෙළඳපොල විවෘතව තැබීමට පියවර ගෙන ඇත. ඉකුත් වසරේ එළැඹි රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, කිනම් අයහපත් කාලගුණික තත්ත්වයක් යටතේ වුව හොං කොං කොටස් වෙළඳපොල විවෘතව පවතී.

ලොව විශාලතම විනෝදාස්වාද කේන්ද්‍රය වන මැකාවෝ (Macau) හි ද සියලු පාසල් සහ අනෙකුත් ව්‍යාපාර වසා දමා තිබේ. අවශ්‍ය වුවහොත්, ජනතාව, වෙනත් ස්ථාන කරා ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කරමින් ඇති බව එහි ප්‍රාදේශීය පරිපාලන නිලධාරීහු කියා සිටිති.

මේ අතර, රගාසා සුළි කුණාටුවට මුහුණ දීම පිණිස චීනයේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය වන ෂෙන්ෂෙන් ( Shenzhen ) නගරයේ තාවකාලික කූඩාරම් 800කට අධික සංඛ්‍යාවක් සූදානම් කර ඇතැයි, නාගරික අධිකාරිය පවසයි.

සුළි කුණාටුවේ බලපෑමට හසු වූ තායිවානයේ ද කඳුකර ප්‍රදේශ වල පදිංචි 7,600කට අධික පිරිසක් තාවකාලික වාසස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/23/2025


මුලාශ්‍රය :

Hong Kong braces for Super Typhoon Ragasa; schools, businesses shut