බල්ගේරියාවේ ඉන්ධන සංචිත සිඳී යයි. එරට පෙට්‍රල් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් දින 35කට පමණක් බව රාජ්‍ය සංචිත ඒජන්සිය අද (11) නිවේදනය කළේය. එරට විශාලතම තෙල් පිරිපහදුව, ගබඩා සංකීර්ණ සහ සැපයුම් නල යටිතල පහසුකම් හිමි ලූක්ඔයිල් ( Lukoil) සමාගමට එරෙහි, එක්සත් ජනපද සම්බාධක හමුවේ මෙම අර්බුදය පැන නැගී තිබේ.
පසුගිය මස, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය විසින්, රුසියාවේ ලූක්ඔයිල් සහ රොස්නෙෆ්ට් (Rosneft) යන සුවිසල් තෙල් සමාගම් දෙකට එරෙහි සම්බාධක ක්‍රියාත්මක කිරීම ඇරඹිණි. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරමින් දියත් කෙරුණු යුද්ධය එම සම්බාධක පැනවීමට හේතු විය. සම්බාධක හේතුවෙන්, යුරෝපය පුරා, එම සමාගම්වලට අයත් මෙහෙයුම් දාමයට තර්ජන එල්ල වී තිබේ. එක්සත් ජනපද සම්බාධක මෙම මස 21 දා සිට ක්‍රියාත්මකය. ඒ හේතුවෙන්, ළඟ එන ශීත සෘතුව මධ්‍යයේ බල්ගේරියාවට ඉන්ධන සංචිත සිඳී යාමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදුවේ.
ලූක්ඔයිල් සමාගමේ විදෙස් ව්‍යාපාර අධිරාජ්‍යයේ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කරන බර්ගස් ( Burgas) පිරිපහදුව බල්ගේරියාවේ පිහිටියේය. ඊට අයත් පෙට්‍රල් පොළ සියයකට අධික සංඛ්‍යාවක් ද එහි පවතී.
එරට සතු ඩීසල් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් දින 50කට පමණක් බව ද වාර්තා වේ. බල්ගේරියාවෙන් පිටත ඊට අයත් බොර තෙල් සහ නිමි තෙල් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් පැවතියද, අර්බුදය හැකි තාක් මගහැරීමට නම්, ලූක්ඔයිල් සමාගමට එරෙහි සම්බාධක ක්‍රියාත්මක වී, සැපයුම් නල පද්ධතියට වැසී යාමට පෙර, වහා එම සංචිත ආනයනය කළ යුතුය. බල්ගේරියාවට අයත් නිමි ඉන්දන සන්චිතයන්ගෙන් 50%ක ප්‍රතිශතයක් සහ බොර තෙල් සැලකිය යුතු ප්‍රමාණයක් යුරෝපා රටවල ගබඩා කර තිබේ. සම්බාධක මත සැපයුම් මාර්ග වැසී යාමට පෙර ඒවා ආනයනය පිණිස වහ වහා අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට සිදුවේ.
2026 වසරේ ජනවාරි 01 දා සිට බල්ගේරුයාව යුරෝ මුදල් ඒකකයට හුවමාරු වන්නේය. නව අර්බුදයට පිළියම් ලෙස එරටින් යුරෝපා සාමාජික රවලට සිදු කෙරෙන ඩීසල් සහ ගුවන් යානා ඉන්දන වැනි ඇතැම් තෙල් නිෂ්පාදන අපනයනය වහා ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ. එක්සත් ජනපද සම්බාධකවලින් මිදීම පිණිස, රට තුළ පිහිටි පිරිපහදුව රාජ්‍ය හිමිකාරිත්වයට අත්පත් කර, එය නව ගැනුම්කරුවකුට විකිණීමට යෝජනාවක් ද ඉකුත් සතියේ එරට පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව, බර්ගස් පිරිපහදුව නිරීක්ෂණයේ යෙදුණු බල්ගේරුයානු බලධාරීහු, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සුරක්ෂා කිරීම පදනම් කොට, අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග උදෙසා පියවර ගත්හ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/11/2025

