ධාරානිපාත වර්ෂාවෙන් ඊයේ (25) ගාසා තීරය ජලයෙන් යට විය. දහස් සංඛ්‍යාත අවතැන් පලස්තීනුවන්ට හිසට සෙවණක් තැනූ තාවකාලික කූඩාරම් පරිශ්‍ර මඩ ගොහොරු බවට පත්විය. ඔවුන් මීළඟට මුහුණ දෙන්නේ ශීතයේ සියොළඟ කීරි ගැහෙන කුණාටු සමයට ය.
සමස්ත ගාසා තීරයේ වෙසෙන මිලියන 2කට අධික ජනගහනයෙන් බහුතරය දෙවසරක හමාස් - ඊශ්‍රායල ගැටුම් හමුවේ අවතැන් විය. ඔවුන්ට දැන් දිවි ගෙවීමට සිදුව ඇත්තේ කූඩාරම් හා තාවකාලික සෙවණ යට ය.
එහි ඉකුත් ඔක්තෝබරයේ සිට, එක්සත් ජනපද තැරැව්කාරත්වයෙන් නිර්මිත " නාමික" සටන් විරාමයක් ක්‍රියාත්මකය. සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩකි. එහි දිවිය අපා දුකකි.
"තිත්තම ඇත්ත නම්, විඳවීමට තරම් වැසි කුණාටු තාමත් නොවුණත්, ඒවා ළඟ ළඟම එන බව, දැන දැනම විසීමය. මේ ශීතයේ ඇරඹුම පමණයි. අප සියල්ලෝම දැනටමත් ජලයෙන් යට වෙලා, මානව ඉතිහාසයේම අවමානයට ලක්වෙලා," සිය තාවකාලික කූඩාරමෙන් පිටතට පැමිණි, උම් අහ්මෙඩ් ඔව්දා (Um Ahmed Aowdah), රොයිටර්ස් මාධ්‍යවේදියකුට කියා සිටියාය. "තවමත් අපට අලුත් කූඩාරම් ලැබී නැහැ. දැනටමත් මේක අවුරුදු දෙකක් පරණයි. බලන්න, දැන් ඒක වැරහැලි වෙලා," ඇය පැවසුවාය.
මිලියන 1.5කට අධික අවතැන් ගාසා වාසීන්ට සෙවණ පිණිස අවම වශයෙන් නව කූඩාරම් 300,000ක්වත් වහා අවැසි බව, පලස්තීන, රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ ප්‍රධානී, අම්ජාඩ් අල් - ෂවා ( Amjad Al-Shawa) කියා සිටී. ඉකුත් සතියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂා සහ වැසි කුණාටු හේතුවෙන් අවතැන් පවුල් ලැගුම් ගෙන සිටි කූඩාරම් දහස් ගණනක් ඉරී විනාශ ව ඇතැයි, පලස්තීන සිවිල් ආරක්ෂක සේවය පවසයි. විශේෂයෙන් වෙරළාසන්නයේ ගං ජලය සෙ. මී. 40ත්, 50ත් අතර මට්ටමකින් ඉහළ යත්ම, එහි කූඩාරම් ජලයේ ගසා ගියේය. අවතැන් පරිශ්‍රයේ ක්‍රියාත්මක ක්ෂේත්‍ර රෝහල් කටයුතු සියල්ල මුළුමනින් අක්‍රීයය.
ගාසා තීරයට අවශ්‍ය ශීත සැපයුම් සම්පාදනයට සියල්ල සූදාම්ව පැවතියද, ඇතැම්, ආධාර කණ්ඩායම් වෙත ඊට ඇතුළු වීමට පනවා ඇති ඊශ්‍රායල හමුදා වාරණ සහ සීමා කිරීම් හේතුවෙන්, එම සේවා සම්පාදන අතිශය ප්‍රමාද වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. ඊශ්‍රායලය, සටන් විරාමයේ වූ පොරොන්දු කඩමින්, අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ගාසා තීරය වෙත ප්‍රවාහනය අවහිර ඇතැයි, හමාස් පරිපාලනය චෝදනා කරයි. මානුෂීය ආධාර රැසක් ගාසා තීරයට ඇතුළු කිරීම ඊශ්‍රායල හමුදා විසින් වළකා ඇති බව, ආධාර කණ්ඩායම් ද තහවුරු කර සිටී.
සටන් විරාමයට පූර්ණ වශයෙන් අනුගතව කටයුතු කරන්නේ යැයි, ඊශ්‍රායලය පවසයි. කිසිදු මානුෂීය ආධාරයක් ගාසා තීරයට පිවිසීම අවහිර කර නැතැයි, එම හමුදා කියති. ආධාර කණ්ඩායම් අකාර්යක්ෂම බව ඔවුන්ගේ චෝදනාවය. ගාසා තීරයට රැගෙන එන ආධාර, හමාස් ත්‍රස්තයින් විසින් සොරකම් කිරීම නවතාලීමට ආධාර කණ්ඩායම් අසමත්ව ඇතැයි ඊශ්‍රායල හමුදා චෝදනා කරති. ආධාර සොරකමේ යන බවට එල්ලවන චෝදනා හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/26 /2025

