තායිලන්තයේ පළාත් නවයක් ඇතුළු ප්‍රදේශ රැසක් තවදුරටත්, ජලයෙන් යටව පවතී. ජල ගැල්මට හසුව පවතින එරට දකුණුදිග රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් අද (26), හෙලිකොප්ටර මගින් වෙනත් රෝහලක් කරා මාරු කර යැවීමට පියවර ගන්නා බව බලධාරීහු පැවසූහ. කලාපයට බලපා ඇති ධාරාණිපාත වැසි විපත්වලින් මෙතෙක් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 33 කි. වර්ෂාවේ අඩුවීමක් තව දුරටත් දක්නට නොවේ.
තායිලන්තයේ පළාත් නවයක් ජලයෙන් යටව පවතී. යාබද මැලේසියාවේ ප්‍රාන්ත අටක් ද ජල ගැල්මට හසුව තිබේ. දෙරටේම විපතට පත් පුද්ගලයින් 45,000කට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගැනිණි.
ඉන්දුනීසියාවේ ද මෙම සතියේ සිදු වූ ජල ගැලීම් සහ නාය යෑම් වලින් පුද්ගලයෝ 8ත්, 13ත් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ. මැලේසියාවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වේ.
ධාරානිපාත වර්ෂා හේතුවෙන්, තායිලන්තයේ මෙවර දරුණුතම හානි සිදුව ඇත්තේ හැට් යායි (Hat Yai) නගරයටයි. විපතට පත්වූවන්ට හෙලිකොප්ටර මගින් අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම් සිදු කෙරේ.
එහි ප්‍රධාන රජයේ රෝහල මුළුමනින්ම ජලයෙන් යටව පවතී. එහි රෝගීන් 600ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටියහ. ඉන් 50ක් දැඩි සත්කාර ඒකකයේ ය. එම රෝගීන් ආරක්ෂිතව වෙනත් රෝහල් කරා මාරු කර යැවීමට විශේෂ යාත්‍රා සේවයක් ආරම්භ කර තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන් අද දිනම වෙනත් රෝහලකට මාරු කර යැවීමට කටයුතු කරන බව බලධාරීහු කියති. විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් පිණිස, හෙලිකොප්ටර 20ක් සහ බෝට්ටු 200ක් පමණ යොදවා තිබේ. එහෙත්, පවතින දැඩි අයහපත් සහ අන්තරායකර තත්ත්වය හේතුවෙන්, මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල ව ඇත. එම රෝහලේ, රෝගීන්, ඥාතීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළුව 2000ක පමණ පිරිසක් සිරවී සිටිති. ජල ගැලීම් පහව යාම ඇරඹි සැණින් බෝට්ටු සේවා මගින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන බෙදා හැරීමට කටයුතු සූදානම් කර තිබේ.
හැට් යායි නගරයට ඉකුත් සතියේ, දිනක් තුළ පමණක් මි.මී.355ක අධික වර්ෂාපතනයක් සිදු විය. වසර 300කට පමණ පසු ඒ වෙත ලද වැඩිම වර්ෂාපතනය එය වේ.
හමුදා හෙලිකොප්ටර මගින් එහි රෝහල වෙත විදුලි ජනන යන්ත්‍ර ප්‍රවාහනය කෙරිණි. රෝහල් වහල මත දී එම උපකරණ රෝහල් බලධාරීන් අතට පත් කෙරිණි.
තායිලන්තයේ පළාත් නවයක මේ වන විට පවතින දරුණු ජල ගැල්මට හසුව ඇති නිවාස ඒකක සංඛ්‍යාව 980,000කි. මිලියන 2.7කට අධික පිරිසක් විපතට පත්ව සිටිති.
අද දින තුළත් තායිලන්තයේ ප්‍රදේශ රැසක ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.
ඊයේ සිට සියලු මුදාගැනීමේ මෙහෙයුම් තායිලන්ත හමුදා මූලිකත්වයෙන් සිදු කෙරේ. එම මෙහෙයුම් පිණිස, හැට් යායි වෙත ගුවනින් සහ ට්‍රක් රථ මගින් බෝට්ටු සහ රබර් ඩිංගි යාත්‍රා ප්‍රවාහනය කෙරෙමින් ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/26 /2025

