වෙනිසියුලාවේ සිට ඉන්ධන ප්‍රවාහනය කෙරෙන නෞකා රැසක් අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපද රජය විශේෂ මෙහෙයුමක් දියත් කරයි. එහි 'පළමු වෙඩි මුරය' ලෙස, වෙනිසියුලාවේ සිට ඉන්ධන ප්‍රවාහය කරමින් සිටි නෞකාවක් මෙම සතියේ අත්අඩංගුවට ගැනිණි. වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) වෙත එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කෙරෙමින් සිටී.
2019 සිට, වෙනිසියුලා ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් එක්සත් ජනපද සම්බාධක පනවා තිබේ. දකුණු කැරිබියානු සාගරයේ එක්සත් ජනපදය විසින් මහා-පරිමාණ හමුදා සේනාංකයක් රැඳවීමට පියවර ගෙන ඇත. තනතුරින් ඉවත්වන ලෙස, එක්සත් ජනපදය ජනපති මදුරෝ ට බල කර සිටී.
එක්සත් ජනපදයේ නවතම 'බලහත්කාර කම' පිළිබඳව, වෙනිසියුලා බොර තෙල් ප්‍රවාහනයේ නිරත නෞකා හිමියන්, නෞකා මෙහෙයුම්කරුවන් සහ සමුද්‍රීය භාණ්ඩ ප්‍රවාහන ආයතන දැඩි විමසිල්ලේ පසුවේ. කලින් සැලසුම් කළ පරිදි වෙනිසියුලාවට අයත් මුහුදු මාර්ග ඔස්සේ, එම නෞකා තව දුරටත් ප්‍රවාහනය කරන්නේද යන්න පිළිබඳව ගැටළු මතුව පවතී.
ඉදිරි සති ඇතුළත වෙනිසියුලාවේ සිට ඉන්ධන ප්‍රවාහනය කෙරෙන නෞකා මෙන්ම, එක්සත් ජනපද සම්බාධක පනවා ඇති, ඉරානය වැනි වෙනත් රටවල සිට යාත්‍රා කෙරෙන ඉන්ධන රැගත් නෞකා වෙත, සෘජු මැදිහත්වීම් සිදු කිරීමට ද, එක්සත් ජනපදය සූදානමේ පසුවේ.
වෙනිසියුලා රාජ්‍ය ඉන්ධන සමාගම මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැත. එක්සත් ජනපද ක්‍රියාව 'මං පැහැරීමක්' බව වෙනිසියුලා රජය පවසයි.
ට්‍රම්ප් පරිපාලනය ඉදිරියේදී තවත් නෞකා අත්අඩංගුවට ගන්නේ දැයි, මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් ධවල මන්දිර ප්‍රකාශිකා, කැරොලයින් ලීවිට් (Karoline Leavitt), ඉදිරි පියවර පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව පැවසීය. එහෙත්, රජය, ජනපතිවරයාගේ සම්බාධක ප්‍රතිපත්තීන් අඛණ්ඩව ක්‍රියාවේ නංවන බව ඇය කියා සිටියාය.
කළු කඩ ඉන්ධන රැගත් නෞකා තව දුරටත් නිදහසේ යාත්‍රා කරනවා 'ඔහේ' බලා සිටීමට රජය සූදානම් නැතැයි, ඇය පැවසීය. අනීතික සහ චෞර රාජ්‍යයන් විසින් සිදු කෙරෙන ඉන්ධන ත්‍රස්තවාදයට එරෙහි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව, ඇය අවධාරණය කළාය.
අත්අඩංගුවට ගැනීමට නියමිත ඉන්ධන ප්‍රවාහන නෞකා රැසක තොරතුරු ඇතුළත් ලේඛනයක් එක්සත් ජනපදය විසින් මේ වන විටත් සකස් කර තිබේ. එරට අධිකරණ දෙපාර්තමේන්තුව සහ දේශීය ආරක්ෂක නියාමනය විසින් ඉකුත් මාස ගණනක කාලය තුළ සිදු කෙරුණු නිරීක්ෂණයන් මත එය සකස් කර ඇත.
වෙනිසියුලා ඉන්ධන අපනයන නවතාලීම, එරට ආර්ථිකයට මරු පහරකි. වෙනිසියුලා රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය එය වන බැවිණි. නව සම්බාධක හමුවේ, මදුරෝ රජය උග්‍ර මූල්‍ය අර්බුදයකට නතුව සිටී.
ඉන්ධන ප්‍රවාහනය කෙරෙන සුපිරි නෞකා හයකට සම්බාධක පනවා ඇතැයි, එක්සත් ජනපද භාණ්ඩාගාරය ඊයේ (11) නිවේදනය කළේය. ඒවා නොබෝදා, අපනයනය පිණිස, වෙනිසියුලාවේ තෙල් තොග ලබා ගත් නෞකා බව, වාර්තා වේ. එමෙන්ම, වෙනිසියුලානුවන් සිව් දෙනෙක් ද එක්සත් ජනපද සම්බාධකවලට හසුව සිටිති. ඉන් තිදෙනෙක් ජනපති ආර්යාව වන සිලියා ෆ්ලොරෙස් (Cilia Flores) ගේ ලඟම ඥාතීන් ය.
වෙනිසියුලාවේ සිට ඉන්ධන ප්‍රවාහනයේ යෙදුණු නෞකාවක් මෑත කාලීනව ප්‍රථම වරට, එක්සත් ජනපද අත්අඩංගුවට පත්වූයේ ඉකුත් බදාදා (10) ය. ඒ ආසන්නයේ, ඊට පෙර කැරිබියානු සහ පැසිෆික් සාගර ඔස්සේ යාත්‍රා කෙරෙමින් පැවති නීති විරෝධී මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන බවට, එක්සත් ජනපද හමුදා විසින් හඳුනා ගත් නෞකා 20ක් වෙත එම හමුදා, ප්‍රහාර එල්ල කළහ. එහිදී පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය. එම ප්‍රහාර, නීති විරෝධී බව, ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ත්‍රස්ත සංවිධාන ලෙස නම් කර ඇති, නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන්නන් ගෙන් ඇමෙරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීමට එම ප්‍රහාර සිදු කළ බව එක්සත් ජනපදය පවසයි.
මදුරෝ රජයට තව දුරටත් මූල්‍ය හානි සිදු කරමින් වෙනිසියුලාවේ සිට එන නෞකා අත්අඩංගුවට ගැනීම එක්සත් ජනපද අපේක්ෂාවයි. එක්සත් ජනපදය තමා ධුරයෙන් නෙරපා හැරීමට හමුදා ස්ථාපිත කරමින් ඇතැයි ජනපති, මදුරෝ පවසයි. ඔපෙක් (OPEC) සාමාජික රටවල ඉන්ධන සංචිත පාලනය සියතට ගැනීම එක්සත් ජනපද අපේක්ෂාව බව, ඔහු කියා සිටී.
වෙනිසියුලාවේ සිට චීනය වෙත ඉන්ධන ප්‍රවාහනය කරන සෙවනැලි නෞකා ඇණියක් වෙත එක්සත් ජනපද අවධානය නැතුව පවතී. වෙනිසියුලාවේ සහ ඉරානයේ මහා පරිමාණ ඉන්ධන ගැනුම්කරුවා චීනය යි. ඉරානය, වෙනිසියුලාව සහ රුසියාව වෙනුවෙන් බොහෝ විට, ඉන්ධන ප්‍රවාහනයේ යෙදෙන්නේ එකම නෞකාවක් බව එක්සත් ජනපද නිරීක්ෂණයයි.
වෙනිසියුලා ඉන්ධන ප්‍රවාහනයේ යෙදී සිටියදී පසු ගිය දා එක්සත් ජනපද අත්අඩංගුවට පත් වූයේ, 'ස්කිපර්' (Skipper) නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවකි.
ඒ සමග අවම වශයෙන්, එක් නෞකා සමාගමකට හෝ, ප්‍රවාහනය පිණිස නැව් ගත කෙරුණු නව තෙල් ඇනවුම් තුනක්වත් තාවකාලිකව අත්හිටුවීමට සිදු වී තිබේ. එම සමස්ත ප්‍රමාණය ඉන්ධන බැරල් මිලියන 6කට අධික ය. නව තොග, ආසියාව බලා ප්‍රවාහනයට සූදානමින් පැවති බව නැව් සමාගම පවසයි. එම ඉන්ධන තොග රැගත් නෞකා මේ වන විට, වෙනිසියුලාවට එපිට මුහුදේ නැංගුරම් ලා පවතී. නෞකා යාත්‍රා කිරීම අවදානම් බැවින්, එහි ගමන් වාර අවලංගු කර තිබේ.
මුහුදේ නැංගුරම් ලා ඇති සහ වෙනිසියුලා වරායයන්හි නවතා ඇති ඉන්ධන නෞකාද එක්සත් ජනපද සමීප නිරීක්ෂණයේ පවතී. ඉන් ඇතැම් නෞකා අලුත්වැඩියා පිණිස එම වරායයන් වෙත පැමිණි ඒවාය. අනෙක් නෞකා, අපනයනයට ඉන්ධන තොග ලබා ගැනීම පිණිස පැමිණි ඒවාය. එම නෞකා අත්අඩංගුවට ගැනීම පිණිස, ජාත්‍යන්තර සාගරය වෙත පිවිසෙන තෙක් එක්සත් ජනපදය ඒ වෙත ඇස ගසා සිටී.
අත්අඩංගුවට පත් 'ස්කිපර්' නෞකාව, මීට පෙර, ඉරානය හා තෙල් වෙළඳාමේ යෙදුණු බවට ද චෝදනා ලද්දකි. එම නෞකාව එක්සත් ජනපද වරායයක් වෙත රැගෙන ඒමට අපේක්ෂා කරන බව, ලීවිට් පැවසීය. අනතුරුව, නීති ප්‍රකාරව එහි ඇති ඉන්ධන තොග ද අත්අඩංගුවට ගැනේ.
නව අත්අඩංගුවට ගැනීම්, එක්සත් ජනපද වරායයන්හි පවතින තදබදය මත ද රඳා පවතී. එක්සත් ජනපද සම්බාධක වලට හසුව ඉන්ධන ප්‍රවාහනයේ යෙදෙන සෙවනැලි ඇණියට අයත් ඇතැම් නෞකා පැරණි ය. ඇතැම් ඒවා සයුරේ යාත්‍රා කරන්නේ, නිසි රක්ෂණ ආවරණ ද රහිතවය. එවැනි නෞකාවන්ට බොහෝ එක්සත් ජනපද වරායයන් වෙත යාත්‍රා කිරීමට හිමි නොවේ. එවැනි සීමා පැනවීම් ද, එක්සත් ජනපද නෞකා කොල්ලයට බාධාවකි.
එක්සත් ජනපද සහ යුරෝපීය සංගමයේ සම්බාධක යටතේ පැවති සීහෝර්ස් (Seahorse) නම්, තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක්, වෙනිසියුලාව බලා යාත්‍රා කෙරෙමින් තිබියදී, පසුගිය දා එක්සත් ජනපද යුද නෞකාවක් මගින් රඳවා ගැනිණි. පසුව එය මුදා හැරීමට පියවර ගෙන තිබිණි.
එක්සත් ජනපද ක්‍රියාන්විත 'ජාත්‍යන්තර මුහුදු මංකොල්ලයක්' බව වෙනිසියුලා රජය පවසයි. එහෙත්, එවැනි නිර්වචනයක් ජාත්‍යන්තර නීතිය යටතේ නොවන බව ඒ පිලිබඳ විශේෂඥ මතයයි.
එම අත්අඩංගුවට ගැනීම් එක්සත් ජනපද රාජ්‍ය බලගැන්වීම් සහ සම්බාධක යටතේ සිදු කෙරෙන බැවින්, ඒවා 'මුහුදු මංකොල්ලයන්' නොවන බව, ඔවුහු පෙන්වා දෙති. එබැවින්, වෙනිසියුලා රජයේ නිර්වචනය වාචාල හෝ සාහිත්‍යමය වශයෙන් එල්ල කළ වාග් ප්‍රහාරයක් බව ඔවුහු කියා සිටිති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

