එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ නළුවකු සහ සිනමා අධ්‍යක්ෂ වරයකු වන 78 හැවිරිදි, රොබ් රේනර් (Rob Reiner) සහ ඔහුගේ බිරිඳ වූ 68 හැවිරිදි මිෂෙල් සින්ගර් (Michele Singer) සිය නිවෙස් තුළදීම අබිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
ලොස් ඇන්ජලීස් හි පිහිටි රේනර්ට අයත් නිවෙසක පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇතැයි, පොලිසිය ඊයේ (14) සඳහන් කළේය.
1970 දශකයේ CBS රූපවාහිනියේ විකාශය වූ එරට ජනප්‍රිය, 'ඕල් ඉන් ද ෆැමිලි' (All in the Family) නම් ප්‍රහසන ටෙලි මාලාවේ සම ප්‍රධාන චරිත නිරූපණයක යෙදුණු රේනර්, දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද විය. "ද ප්‍රින්සස් බ්‍රයිඩ්" (The Princess Bride), "දිස් ඊස් ස්පයිනල් ටැප්" ( This is Spinal Tap), "වෙන් හැරී මෙට් සැලී" (When Harry Met Sally), "ස්ටෑන්ඩ් බයි මී" (Stand by Me) සහ "දි ඇමෙරිකන් ප්‍රසිඩන්ට්" (The American President) ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය චිත්‍රපට අතුරින් කිහිපයකි.
ඔහුගේ බිරිඳ මිෂෙල්, කලක් ඡායාරූප ශිල්පයේ යෙදී සිටියාය. ඔහු විසින් රචිත "දි ආර්ට් ඔෆ් ඩීල්" (The Art of the Deal) නම් කෘතියේ කවරයේ ඡායාරූපය වෙනුවෙන් ජනපති, ට්‍රම්ප්ගේ රුව කැමරාවට හසු කර ගත් ඡායාරූප ශිල්පිනිය ද ඇය විය.
නිව් යෝර්ක් නගර වාසියකු වූ රේනර්, අභවප්‍රාප්ත ප්‍රහසන රචකයකු සහ නළුවකු වූ, ප්‍රකට දේශපාලන ක්‍රියාධර කාර්ල් රේනර්ගේ පුත්‍රයාය.
2004 වසරේ පැවති එරට ජනපතිවරණයේ අපේක්ෂක ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඉලක්ක කර පල වූ ඔහුට එරෙහි දැන්වීම්හි පෙනී සිටි කාර්ල් රේනර්, එවක එම ජනපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂක ජෝන් කෙරී ට සහාය පල කර සිටියේය. පසු කලෙක ප්‍රජාතන්ත්‍රවාදී ජනපති අපේක්ෂක අල් ගෝර් ට සහ හිලරි ක්ලින්ටන් ට ද ඔහුගේ සහාය හිමි විය.
රොබ් රේනර්ගේ පළමු විවාහය, චිත්‍රපට නිෂ්පාදිකාවක සහ අධ්‍යක්ෂවරියක වූ පෙනී මාර්ෂල් සමග විය. මිෂෙල් සින්ගර් හා දෙවන විවාහයෙන් ඔහුට දාව දරුවන් තිදෙනෙකි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

