හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛන හරහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින්, ඔහුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.
අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ තහනම් නියෝගය සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර ඒ අනුව, තහනම් නියෝගය ග්‍රන්ථයේ ඇතුළත් ටිල්වින් සිල්වාට අයත් ලේඛනවලට පමණක් සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී .
විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන අය එම තීන්දුවට එකඟත්වය පළ කර ඇත.
ටිල්වින් සිල්වා වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවෙන් සඳහන් කර තිබුණේ, විමල් වීරවංශ මහතා තම ග්රන්ථයට ජනතා විමුක්ති පෙරමුණට අයත් ලේඛන කිහිපයක් අවසරයකින් තොරව ඇතුළත් කිරීම මගින් තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට පවරනු ලද නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය, ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වී ඇති බව තීරණය කරමින්, ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශට නියෝග කර තිබුණි. එම තීන්දුවට එරෙහිව ගොනු කළ විශේෂ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, වන්දිය ගෙවන ලෙස වාණිජ මහාධිකරණය ලබා දී තිබූ නියෝගයට මැදිහත් නොවන බව සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
