ගුවන් ගමන් පාලන සන්නිවේදන ගැටලුවක් හේතුවෙන් අමෙරිකාව පුරා ගුවන් ගමන් අත්හිටුවීමට ෆෙඩරල් ගුවන්සේවා පාලන අධිකාරිය (FAA) පියවර ගෙන ඇත.
ඒ අනුව අමෙරිකා ගුවන් නියාමන බලධාරීන් විසින් එරට වේලාවෙන් පස්වරු 3:54 ට (GMT වේලාවෙන් 20:54 ට) පිටත්වීමට නියමිත ගුවන් යානා සඳහා රට පුරා ‘ගුවන් ගමන් තහනමක්’ (ground stop) පැනවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නියෝගය නිකුත් කරන අවස්ථාවේදී ගමන්කරමින් තිබූ යානාවලට ආසන්නතම ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට අවසර හිමිවූ අතර, බිම් මට්ටමේ තිබූ කිසිදු යානයකට ගුවන්ගතවීමට අවසර නොලැබිණි.
කෙසේ නමුත් මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවත් L3Harris Technologies විසින් ක්‍රියාත්මක කරන ලද සන්නිවේදන ජාලයකට මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හේතුවෙන් පද්ධතිය නැවත ආරම්භ වී බිඳ වැටීමට හේතු වූ බවත්, එමඟින් ගුවන් සන්නිවේදන ඇනහිටීමක් ඇති වූ බවත් අමෙරිකා බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2001 සැප්තැම්බර් 11 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, රට පුරා සමස්ත ගුවන්ගමන් පද්ධතියම මෙලෙස මුළුමනින්ම අත්හිටවූ දෙවන අවස්ථාව මෙය ලෙස සඳහන් කෙරේ.
ගුවන් ගමන් තහනම ඉවත් කරන වේලාව පිළිබඳව ෆෙඩරල් ගුවන්සේවා පාලන අධිකාරිය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.
ගුවන්ගමන් නිරීක්ෂණ සේවාවක් වන FlightAware හි දත්තවලට අනුව, මෙම සන්නිවේදන බිඳවැටීම හේතුවෙන් ගුවන්ගමන් 7,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී හෝ සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇතැයි පෙන්වා දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
