හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටියදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග නාරාහෙන්පිට මංසන්ධිය අසලදී ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බිය ගන්නවා සහල් පිරවූ ලොරියක් හා එම ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ මුදල් හා ජංගම දුරකථනය කොල්ලකෑමේ සිද්ධියට අදාළව, සම්පත් මනම්පේරි ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ පළමුවන සහ දෙවන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.
ඒ අද (13) පස්වරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදීය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගත්තිය යටතේ විත්තිකරුවන් විසින් තමන්ව විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කළේය.
නියෝගය ලබාදෙමින් විනිසුරුවරයා පවසා සිටියේ පළමු වන සහ දෙවන විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවයි.
මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ මෙම සිද්ධියට අදාළ පළමුවන විත්තිකරු වු ඉන්දික දළදාවත්ත සහ දෙවන විත්තිකාර බන්දුල ජයසිංහ යන අය වේ.
කෙසේ වෙතත්, නඩුවේ සෙසු විත්තිකරුවන්ට එරෙහිව නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර තිබේ.
ඒ ඔවුන්ව නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට සාක්ෂි නැති බව විනිසුරුවරයා නිගමනය කරමිනි.
ඒ අනුව, නඩුවේ තුන්වන විත්තිකාර සම්පත් මනම්පේරී සහ සිව්වන විත්තිකාර නිරංජන් පෙරේරා යන විත්තිකරුවන්ගේ විත්තිවාචකය කැඳවීමට අධිකරණය අද නියෝග කර තිබේ.
මෙහිදී, තුන්වන සහ සිව්වන විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් කැදවීමට අපේක්‍ෂා කරන බවයි.
විත්තිකරුවන් සඳහා සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන්නේ නම් සතියක් ඇතුළත අදාළ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.
2009 අගෝස්තු දොළොස් වැනි දා පොලිස් නිලධාරී ලෙස පෙනී සිටමින් නැගෙනහිර පළාතේ සිට සහල් ප්‍රවාහනය කරමින් සිටි සෙල්වදොරෙහි කොළවෙන්නාදන් නැමැති ව්‍යාපාරිකයා බිය ගන්නවා එකී මංකොල්ලයක් සිදු කිරීම ඇතුලු චෝදනා හතක් යටතේ සම්පත් මනම්පේරි ඇතුලු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
