Image

අයවැයෙන් තරුණ පරම්පරාව අමතක කරලා - වජිර අබේවර්ධන

අයවැයෙන් තරුණ පරම්පරාව අමතක කරලා - වජිර අබේවර්ධන

රජය ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් රටේ දැවෙන ප්‍රශ්න කිසිවකට විසඳුම් ඉදිරිපත් වී නැති බවත්, විශේෂයෙන්ම ‘Millennial’ සහ ‘GEN Z’  පරම්පරාව නියෝජනය කරන තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද(13) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මතු පළ වන්නේ වජිර අබේවර්ධන අයවැය සම්බන්ධයෙන් කළ එම ප්‍රකාශයයි.

නව පරම්පරාවේ අනාගතය සහ තාක්ෂණික රැකියා මඟහැරීම

මේ ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් රටේ දැවෙන ප්‍රශ්න කිසිවකට විසඳුම් ඉදිරිපත් වෙලා නැහැ. විශේෂයෙන්ම Millennial සහ GEN Z  පරම්පරාව නියෝජනය කරන තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන්ද අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැහැ.

උදාහරණයක් හැටියට බැලුවොත්, ලෝකය තාක්ෂණයත් සමග වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාමත් මන්දගාමී තත්ත්වයකයි. ඒ වාතාවරණය තුළ අලුත් පරම්පරාවට නව තාක්ෂණය ඔස්සේ රැකියා උත්පාදනය කරගැනීමේ ක්‍රමවේදයන් සඳහා කිසිදු යෝජනාවක් මේ අයවැය ඔස්සේ ඉදිරිපත් වී නැත.

 

ආර්ථික ඉලක්ක සහ ණය ගෙවීම් පිළිබඳ ගැටලු

එසේම 2028 වසර වන විට අපගේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි කරගත යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ VIII වැනි විධායක ජනාධිපතිතුමා 2001 වර්ෂයේ සිටම ප්‍රකාශ කර සිටියේ, රට බරපතල ආර්ථික අර්බුදයකට යමින් තිබෙන බැවින්, එය ගොඩගැනීම සඳහා දේශපාලන පක්ෂ සියල්ලම එකට එකතුවී බොරුකීමෙන් වැළකී, සත්‍ය පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතු බවයි.

එසේ නොකිරීම නිසා නැවතත් රටේ ආර්ථිකය 2013, 2014 වන විට බරපතල ලෙස කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් 2015 ජනවාරි 08 වැනි දින එක්සත් ජාතික පක්ෂය ප්‍රමඛ නව රජය රට බාරගෙන වෙනස්ම සැලැස්මක් මගින් පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස්,  විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ හෙළමින්, වැටුප් වැඩි කරමින් දැවැන්ත සංවර්ධන වැඩසටහනක් 2019 වර්ෂයේ අග භාගය වන තෙක් ගෙන ගියේය.

නැවතත් එම ඉලක්ක කඩා බිඳ දැමීම නිසා, 2020 වර්ෂය අග වන විට රට බරපතල ඛේදවාචකයකට පත් වූ අවස්ථාවේදීද, රනිල් වික්‍රමසිංහ මහතා 2022 මැයි 12 අග්‍රමාත්‍ය ධූරයත්, 2022 ජූලි 15 වැඩබලන ජනාධිපතිධූරයත් ජූලි 21 ජනාධිපතිධූරයත් බාරගෙන රටේ විනාශ වූ ආර්ථිකය අලුත් මාවතක් ඔස්සේ නව ආර්ථික පරිවර්තන සැලසුම්, ණය ගෙවීමේ ක්‍රමවේද සහ ජාත්‍යන්තර දේශපාලනය මනාව හසුරවමින් නැවතත් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යන ලදී.

නමුත් 2024 වසරේදී නැවතත් මහජනතාව විසින් ඒ ඉලක්ක සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමට ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස එම ඉලක්ක කරා යන කිසිදු සැලැස්මක් නොමැති අයවැය යෝජනාවලියක් 2026 වර්තමාන පාලනය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එසේම 2028 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 3.5ත් 4ත් අතර ප්‍රමාණයක් ජාත්‍යන්තර ආයතන වෙත ණය ගෙවීමට සිදුවෙනවා. ඒ ණය ගෙවීම පිළිබඳ හෝ ගෙවන ආකාරය පිළිබඳ කිසිදු සඳහනක් මේ අයවැයේ ඉදිරිපත් කර නැති බව මහජනතාව මතක තබා ගත යුතුයි.

ඒ නිසා විශේෂයෙන් වර්තමාන පාලන යන්ත්‍රය භාර ගන්නා විට, ඒ පාලන යන්ත්‍රයට නව සැලැස්මක් හෝ නව දර්ශනයක් හෝ නව ඉලක්කයක් නොතිබුණු බව අප මතක තබා ගත යුතුව තිබෙනවා.

 

IMF ක්‍රමවේදය සහ රජයේ අභ්‍යන්තර බෙදීම්

ඒ වගේම තවත් එක වැදගත් කාරණයක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ තමයි IMF පිළිවෙළක් ලෝකයේ මොනයම් රටක හෝ ක්‍රියාත්මක වෙනවා නම් ඒ සෑම තැනම එය ක්‍රියාත්මක කර තිබෙන්නේ, ඒ රටේ මුදල් අමාත්‍යාංශයත්, මහා බැංකුවත්, ඒ වගේම ඒ ආයතන දෙක ප්‍රධාන අනෙකුත් ආයතනත් සමඟ සාකච්ඡා කරමින්, ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එකක් එහෙම නැත්නම් "අභිලාෂය ප්‍රකාශ" ලිපියක් අත්සන් කිරීමෙන් පසුවයි. අවශ්‍ය නම් එය කැබිනට් මණ්ඩලයට දැනුම් දී  ක්‍රියාත්මක කිරීම තමයි ජාත්‍යන්තර වශයෙන් තිබෙන ක්‍රමවේදය. නමුත් ඒ ක්‍රමවේදයෙන් පිට අපිට පේනවා ඒ සඳහා දැන් කොමිටියක් පත් කර තිබෙනවා.

ඒ කියන්නේ රජය තුළ බෙදීමක් තිබෙන බව රජය විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. නැතිනම් ලෝකයේ කොහෙවත් කමිටු පත් කිරීමක් සිදුවන්නේ නැහැ.

 

රාජ්‍ය සේවකයින් සහ ජනතාව මුහුණ දී සිටින දැවැන්ත අර්බුදය

ඒ නිසා මේ අයවැය හරහා මොන තරම් යෝජනා ඉදිරිපත් කළත් අපි එකක් මතක තබාගත යුතු වෙනවා. රටේ සමස්ත රාජ්‍ය සේවකයන් මාස හයක්, අවුරුද්දක් ඉදිරියට ණය වෙලයි ජීවත් වෙන්නේ.

උදාහරණයක් හැටියට ගන්න තිබෙන සෑම ණයක්ම අරගෙන, පඩියෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් ණය හැටියට ගෙවමින් තමයි ඔවුන් ජීවත් වෙන්න. තමන්ගේ නිවසේ ලයිට් බිල් ගෙවන්නේ කොහොමද, වතුර බිල් ගෙවන්නේ කොහොමද, ටෙලිෆෝන් බිල් ගෙවන්නේ කොහොමද ආදී වශයෙන් මහා දැවැන්ත අර්බුදයකයි ඔවුන් ජීවත් වන්නේ.

ශ්‍රී ලාංකික අනෙක් මහජනතාව ගත්තොත් තමන්ගේ කනකර කරාබු සියල්ලක් උගස් තියලා, ඇතැම් අයගේ ඒ උගස් තැබු බඩුබාහිරාදිය සින්න වීම වැනි දැවැන්ත අර්බුධයකයි ජනතාව සිටින්නේ. ඔවුන්ට ඒවා නිදහස් කරගැනීමට අවශ්‍ය පරිසරය මේ අයවැය තුළ අපිට පෙනෙන්නට නැහැ.

මේ අයවැයෙන් කෙසේද ඒ අයට යහපතක් ලැබෙන්නේ කියන ප්‍රශ්නාර්ථ ලකුණ සමාජයේ හමුවේ තිබෙනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් උගස් බඩු ගන්න පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ට්‍රිලියන තුනක පමණ සමස්ත දේපොල උගස් තැබීම සිදුකර තිබෙනවා. එහෙම නැත්නම් පුද්ගලික ණය, එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු සීට්ටු ණය දක්වාම ගමන් කරලා තිබෙනවා.

ඉතාම බරපතල අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් වී තිබෙන මොහොතක, මේ ඉදිරිපත් කර තිබෙන අයවැය තුළින් ශ්‍රී ලාංකික මහජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව මේ අවස්ථාවේදී සිහිපත් කිරීමට කැමතියි.

මේ කාරණාවලට අමතරව අයවැය පිළිබඳ සවිස්තර විශ්ලේෂණයක් එක්සත් ජාතික පක්ෂය විසින් හෙට දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

(උපුටා ගැනීම අවසන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න