Image

1990 සුවසැරියට තවත් ගිලන්රථ 100ක්!

1990 සුවසැරියට තවත් ගිලන්රථ 100ක්!

රුපියල් බිලියන 1.72ක ඉන්දීය මූල්‍ය ප්‍රදානයක් යටතේ 1990 සුවසැරිය ජාතික හදිසි ගිලන්රථ සේවාව සඳහා නව ගිලන්රථ 100ක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කර හුවමාරු කර ගැනීම පසුගියදා (11) කොළඹදී පැවැති ප්‍රථම බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා  යන අයගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අදාළ ගිවිසුම අත්සන් කර හුවමාරු කර ගන්නා ලදී.

WhatsApp Image 2026 11 11 at 7.53.06 PM

ශ්‍රී ලංකා රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව ලබාදෙන මෙම ප්‍රදානයේ ප්‍රධාන අරමුණ වන්නේ සුවසැරිය ගිලන්රථ ඇණිය තවදුරටත් ශක්තිමත් කරමින්, හදිසි අවස්ථාවලදී රෝගීන් වෙත ළඟාවීමට ගතවන ප්‍රතිචාර කාලය මිනිත්තු 10කට අඩු මට්ටමකට ගෙන ඒමයි.

මෙරට හදිසි පූර්ව රෝහල් සත්කාර සේවාවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඉන්දීය රජයේ මූල්‍ය සහාය යටතේ 2016 වසරේ ජූලි මාසයේදී ආරම්භ කරන ලදී.  ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක ප්‍රදානයක් යටතේ ගිලන්රථ 88ක් ලබාදෙමින් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් සේවාව ආරම්භ කරන ලදී. අනතුරුව 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 15.02ක අතිරේක ප්‍රදානයක් යටතේ තවත් ගිලන්රථ 209ක් එක් කිරීමෙන් එම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගැනිණි.

ඒ අනුව, ඉන්දීය රජය විසින් ලබාදෙන මෙම නව ගිලන්රථ 100ක ප්‍රදානය, 1990 සුවසැරිය සේවාවේ ඉදිරි සංවර්ධනයට මෙන්ම මෙරට හදිසි සෞඛ්‍ය සේවා පද්ධතියේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද වැදගත් දායකත්වයක් සපයනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න