විකට නළුවා ජනපති වෙද්දී අගමැති ඉල්ලා අස්වෙයි

විකට නළුවා ජනපති වෙද්දී අගමැති ඉල්ලා අස්වෙයි

යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස වොලොදිමීර් සෙලෙන්ස්කි දිවුරුම් දීමත් සමග එරට අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ සෙලෙන්ස්කි වඩාත් ප්‍රකටව සිටින්නේ ප්‍රහසන නළුවෙකු ලෙසයි.

ඔහු එක්තරා ප්‍රහසනාත්මක රූපවාහිනී වැඩසටහනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ලෙස චරිත නිරූපණයක්ද සිදුකර තිබුණි.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සෙලෙන්ස්කි ඉන් ජය ගත්තේ සියයට හැත්තෑ තුන ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේ රුසියානු සහාය ලබන කැරලිකරුවන් රටේ නැගෙනහිර ප්‍රදේශයේ සිදුකරන ගැටුම් අවසන් කිරීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවයි.

එමෙන්ම පොදු ජනතාවට සේවය කළහැකි අය පමණක් බලයට පත්විය යුතු බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවේදීම එරට පාර්ලිමේන්තුව විසුරුවාහැර තිබීම විශේෂත්වයකි.

යුක්‍රේන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මේ වසරේ ඔක්තෝබර් මාසයේ වුවත් එය කඩිනමින් පැවැත්වීමට තමා තීරණය කළ බව සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසා තිබුණි.

ඊට විරෝධය පලකිරීමක් ලෙස අගමැති වොලොදිමීර් ග්‍රොයිස්මන් ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.

රජයේ සියලු වගකීම් සහ ඉදිරි අභියෝග භාරගන්නැයිද ඔහු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන අතර එසේ වුවද නව රජය පිහිටුවන තෙක් ග්‍රොයිස්මන් වැඩබලන අගමැතිවරයා ලෙස සේවය කරනු ඇතැයිද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න