Language Switcher

V2025

ඩීමෝ 800 ට ජාතික හරිත සම්මානය

පරිසර හිතකාමී සමාගමක් ලෙස ඩීමෝ හි ක්‍රියාකාරීත්වය යළිත් වරක් ඇගයීමට ලක්වෙයි.

මධ්‍ය පරිසර අධිකාරිය විසින් සංවිධානය වාර්ෂිකව සංවිධානය කරන ජාතික හරිත සම්මාන 2017 හිදී ඩීමෝ 800 වෙත කුසලතා සම්මානයක් හිමිවිය.

වාහන සේවා අංශය වෙනුවෙන් පිරිනැමුනු මෙම කුසලතා සම්මානය ඩීමෝ හි මූලස්ථානය වන ඩීමෝ 800, මර්සිඩීස් බෙන්ස් මධ්‍යස්ථානයේ පරිසර හිතකාමී ක්‍රියා පිළිවෙල අගයමින් පිරිනැමුණි.

ජාතික හරිත සම්මාන 2017 හිදී රථවාහන අංශයෙන් සම්මානයක් හිමිකරගත් එකම සමාගම ඩීමෝ ආයතනයයි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික හරිත සම්මාන උළෙල පැවැත්වීමේ අරමුණ වන්නේ විවිධ ආයතන , සංවිධාන සහ පුද්ගලයින් විසින් පරිසරය සුරැකීම වෙනුවෙන් දක්වන දායකත්වය ඇගයීමට ලක් කිරීමයි.

ඩීමෝ හි කළමණාකාරීත්වය හරිත ගොඩනැගිලි සංකල්පය අනුගමනය කරන අතර තම ක්‍රියාකාරීත්වයෙන් පරිසරයට සිදුවන බලපෑම අවම වන ආකාරයෙන් කටයුතු කිරීමට නිරන්තරයෙන් වග බලා ගනියි. ඒ අනුව මෙරට පරිසරය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ කොටස් කරුවෙකු බවට පත්වීම සිය අරමුණ කරගනිමින් මෙම සමාගම කටයුතු කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඩීමෝ 800, මර්සිඩීස් බෙන්ස් මධ්‍යස්ථානය නිර්මාණය වන අතර මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ සිට එහි ජීව කාලය දක්වාම පාරිසරික බලපෑම් අවම වන ආකාරයට එය නිර්මාණය කිරීම විශේෂත්වයකි. මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරිම් වලදී පවා අඩු ජලය ප්‍රමාණයක් සහ බලශක්තිය අවම වශයෙන් භාවිත කිරීමට කටයුතු කර තිබේ. එමෙන්ම නවීන හරිත තාක්ෂණයෙන් යුතු උපාංග එම ගොඩනැගිල්ලේ පහසුකම් සඳහා යොදාගැනීමට ද ඩීමෝ කටයුතු කර තිබේ. බලශක්තිය අරපිරිමසින ආකාරයේ උපකරණ රැසක් මේ සඳහා යොදාගෙන තිබේ.

ලොව සුපතල HVAC අභ්‍යන්තර සිසිල් කරන පද්ධතියක් ,LED විදුලි බුබුලු , නවීන ගොඩනැගිලි කළමණාකරණ පද්ධතියක්, දැඩි සූර්ය තාපය ගොඩනැගිල්ල තුළට වැටීම වළක්වන බිත්ති වීදුරු, වැසි ජලය යළි භාවිතයට යොදාගැනීම, ජලය පිරිමැසීමේ පහසුකම්, ගෙවතු පරිපාලනය සඳහා බිංදු ජල සම්පාදන ක්‍රමවේද ආදී වශයෙන් වන පරිසර හිතකාමී ක්‍රමෝපාය රැසකින් මෙම ගොඩනැගිල්ල සමන්විත වෙයි. ඩීමෝ 800, මර්සිඩීස් බෙන්ස් මධ්‍යස්ථානයෙහි ක්‍රියාත්මක මෙම පරිසර ආරක්ෂණ වැඩසටහන් සඳහාUSGBC LEED රන් සහතිකය පවා හිමිවිය. පරිසරය සුරැකීම සම්බන්ධයෙන් සමාගමක් වශයෙන් ඩීමෝ දක්වන දායකත්වය මෙම සම්මාන සහ ඇගයීම් මඟින් තහවුරු කෙරෙයි.

 මෙම පරිසර හිතකාමී ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේ ද පරිසරයට සිදුවන බලපෑම අවම කරමිනි. එහි සේවකයින් ඒ සඳහා පළපුරුද්දක් සහ පුහුණුවත් ලත් පිරිසක් වීම විශේෂත්වයකි. පරිසරය සුරැකීම සඳහා වන 3R සංකල්පය (Reducing, Reusing and Recycling) හෙවත් අවම කිරීම , ප්‍රතික්ෂේප කිරීම හා ප්‍රතිචක්‍රියකරණය කිරීම යනාදී සංකල්ප වලට අනුව මෙහි සේවක මණ්ඩලය කටයුතු කිරීමද විශේෂත්වයකි. පාරිසරික තේමාවක් යටතේ කටයුතු කිරීම හෝ පරිසර හිතකාමී ව කටයුතු කිරීම සිය ව්‍යාපාරික සීමා සඳහා බාධාවක් කර නොගෙන එය ද සම්බන්ධ කර ගනිමින් සිය පරිසර හිතකාමී වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට ඩීමෝ සමාගම කටයුතු යොදා තිබේ.ඒ අනුව අනාගත පරපුර සඳහා පාරිසරික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ඩීමෝ සිය දායකත්වය ලබා දෙයි. පාරිසරික සම්පත් යළි යළි නිපදවාගනිමින්, ඒවා යළි ස්ථාපනය කර පරිසරය සුරැකීමේ වැඩසටහන ක්‍රියාකාරී දායකත්වය ලබාදීමට ඩීමෝ සමාගම කටයුතු කර තිබේ. ඒ යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ඩීමෝ සමාගම විශ්වාස කරයි.