සුවිශේෂ මූල්‍ය එකඟතාවක් සමඟ LTL නේපාලයට පිවිසෙයි

සුවිශේෂ මූල්‍ය එකඟතාවක් සමඟ LTL නේපාලයට පිවිසෙයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඉංජිනේරු සමාගම් ජාලය වන LTL හෝල්ඩිංස් සමූහය විසින්, නේපාලයේ මෙගාවොට් 10 ක ජලවිදුලි බල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ව්‍යාපෘතිය සඳහා මුදල් ප‍්‍රතිපාදන සැපයෙන මූල්‍ය ආයතන සමඟ පසුගියදා (අප්‍රේල් 25) ණය ගිවිසුම් අත්සන් කර ඇත.

ප‍්‍රශස්ත මට්ටමේ ණය සහ ප්‍රාග්ධන සංයුතියකින් යුක්තව මෙම ව්‍යාපෘතියට මුදල් ප‍්‍රතිපාදන ලබාදීම සඳහා නේපාලයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන සනිමා බැංකුව විසින් එරට දේශීය මුදලින් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක පමණ මූල්‍ය ප්‍රතිපාදන පිරිනමනු ලැබ තිබේ. 

ශී‍්‍ර ලංකාවේ මෙන්ම ආසියාවට අමතරව අපි‍්‍රකාව වැනි මහාද්වීප පුරාත්, බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් සහිත LTL වැනි කලාපීය විශිෂ්ඨයෙකුගේ සහකරු ලෙස කටයුතු කරන්නට ලැබීම ගැන ‘සනිමා’ බැංකුව අතිශයින්ම සතුටුවන බව නේපාලයේ ප්‍රමුඛතම බැංකුවක් වන සනීමා බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී භුවන් කුමාර් දහල් එම අවස්ථාවේ සඳහන් කර ඇත.

සෙන්චරි බැංකුව සහ නැෂනල් ක්‍රෙඩිට් ඇන්ඩ් කොමර්ස් බෑන්ක් මේ සඳහා එක්වන සෙසු මූල්‍ය ආයතන වේ. මෙම ගනුදෙනුව ව්‍යාපෘති මූල්‍යකරණ පදනම මත සකසා තිබීම මඟින් පෙනී යන්නේ LTL වැනි පිළිගත් සහ මනාව ස්ථාපිත ජාත්‍යන්තර බල සැපයුම් දැවැන්තයකු කෙරෙහි ජාත්‍යන්තර බැංකුකරණ ප‍්‍රජාව තබා ඇති ඉහළ විශ්වාසයයි. මෙම ගනුදෙනුවේදී ඇක්සීඩ් කැපිටල් ඔෆ් ශී‍්‍ර ලංකා සමාගමේ සහාය LTL වෙත ලැබිණි. LTL සමඟ එක්ව LVL එනර්ජි ෆන්ඩ් පී.එල්.සී. සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජන කටයුතු සිදුකරනු ලබයි. 

LTL සමාගම විසින් මෙම නවතම ජලවිදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ බටහිර නේපාලයේ දර්චුලා දිස්ති‍්‍රක්කයේය. එය මකාරි ගංගාවේ ජලයෙන් කි‍්‍රයාත්මක කෙරෙන අතර අවට ඇති හිමෙන් වැසීගත් නේපාල කඳුවලින් මෙම ගංගාවට වසර පුරාම ජලය සැපයෙන බැවින් බලාගාරයයේ ඉහළ ජනන හැකියාවක් පවත්වාගත හැකිය. තිබේ. LTL හි උප සභාපති (පුනර්ජනනීය බලශක්ති) සමීර ගනේගොඩ මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය 2019 වසර අවසාන වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත. 

අවශ්‍ය සියලූ මූල්‍ය තත්ත්වයන් මේ අයුරින් සපුරා ගැනීම මඟින් ශී‍්‍ර ලාංකික සමාගම්වලට නේපාලයේ බලශක්ති වෙළෙඳපොළට පිවිසීමේ පහසුව සැලසෙන අතරම, ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති මූල්‍යකරණ පදනම මත මුදල් ප‍්‍රතිපාදන හිමිවීම නේපාලයේ මෙතෙක් ප‍්‍රයෝජනයට නොගත් සුවිසල් ජලවිදුලි සම්පත යොදාගනිමින් බලශක්ති නිෂ්පාදනය කිරීම සඳහා කලාපයේ සෙසු කණ්ඩායම් දිරිගැන්වීමක් වනු ඇත. වසර ගණනාවක් පුරා ජලවිදුලි බල ක්ෂේත‍්‍රය තුළ ලද සුවිසල් තාක්ෂණ විශේෂඥතාව සමඟ ලොව සුපතළ යුරෝපීය සැපයුම්කරුවන්ගෙන් ලබාගනු ලබන විශිෂ්ටතම යන්ත‍්‍ර සූත‍්‍ර මනා සැලකිල්ලෙන් යුතුව මුසුකොට නවතම තාක්ෂණයෙන් සමන්විත ආදර්ශ බලාගාරයක් ඉදිකිරීමට LTL සමාගම අපේක්ෂා කරයි.

LTL යනු රුපියල් බිලියන 28 කට අධික ආදායමක් උපයාදෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම බලශක්ති සැපයුම් සමාගමයි. ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලයක් කි‍්‍රයාත්මක වෙමින් අත්දැකීම් ලබා ඇති LTL සමාගම මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්තිය පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇත. LTL සමාගම අපි‍්‍රකාව, මැදපෙරදිග සහ ආසියාවේ රටවලට සිය ට‍්‍රාන්ස්ෆෝමර් අපනයන කටයුතු ඔස්සේ කි‍්‍රයාත්මක වන ශී‍්‍ර ලංකාවේ සුවිශාලතම කර්මාන්තමය උපකරණ අපනයන සමාගම් අතරින් එකකි. සිය හිමිකාරිත්වය සහිත ව්‍යාපෘති මඟින් මෙගාවොට් 200 කට අධික බල සැපයුම් ප‍්‍රමාණයක් සහිතව බංග්ලාදේශයේ තාප බල ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රබල නියෝජනයක් පවත්වා ගැනීමටද LTL සමත්ව සිටියි. දැනට ආයතනය මඟින් මෙගාවොට් 500 කට අධික ධාරිතාවයක් ඇති ව්‍යාපෘති හතරක් බංග්ලාදේශයේ ආයෝජකයන් වෙනුවෙන් ඉදිකෙරෙමින් පවතී.

ජායාරූපයේ දැක්වෙන්නේ LTL සමාගමේ උප සභාපති (මූල්‍ය) ජනුක නානායක්කාර සහ සනිමා බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී භුවන් කුමාර් දහල් ණය ගිවිසුම් හුවමාරු කරගන්නා ආකාරයයී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න