වර්තමානයේ පවතින්නේ: මහජනයා ගේ නොදැනුවත්කම හේතුවෙන් ඔවුන් විසින්ම ඇති කරන ලද ප්‍රශ්නයක් බව තමන්ට හැඟෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය 27වන දා ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...
එල් බෝඩ් කට්ටියට රට බාරදෙන්න එපා කිව්ව හේතුව
''අද හැම තැනම අපිට අහන්න වෙලා තියෙන්නේ ඩෙංගු ප්රශ්නය ගැන. ඇත්තටම මේ වනවිට ඒ ප්‍රශ්නයත් පාලනය කරගන්න බැරි තැනකට ගමන් කරමින් තිබෙනවා. මේ නිසා ජනතාව විශාල වශයෙන් අසරණභාවයට පත් වෙලා තිබෙනවා. ඩෙංගු පාලනය කරන්න නිසි ක්‍රමවේදයක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් අපේ ආණ්ඩු සමයේ විවාධාකාරයේ ක්‍රියාමාර්ග භාවිතා කරා. සම්පූර්ණයෙන් ම තුරන් කරන්න බැරි වුණත් ඩෙංගු රෝගය පාලනය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් බව කිව යුතුයි.
නමුත් වර්තමාන ආණ්ඩුවට ඒ සම්බන්ධයෙනුත් නිසි වැඩපිළිවෙළක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. මම හිතන්නේ මෙන්න මේ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිව්වේ, එල් බෝඩ් කට්ටියට රට බාරදෙන්න එපා කියලා. නමුත් මොනවා කරන්නද මහජනයා බාරදුන්නා. ඉතින් මදුරුවෙක්වත් පාලනය කරගන්න බැරි තත්ත්වයක් දැන් ඇතිවෙලා තිබෙනවා. මදුරුවෝ බෝවෙනවා. කොහොමත් ඔය ඩෙංගු මදුරුවාට මට මතක ආයු කාලය දින 12ක් වගේ. ඉතින් ඉබේම ඒ දින ගණන නැතිවෙලා යනකන් අපිට බලාගෙන ඉන්න වෙයි.
මහජනයා ගේ නොදැනුවත්කම නිසා ඔවුන් විසින්ම ඇති කරපු ප්රශ්නය
අද අස්වැසුම ලබාදීම පිළිබඳවත් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. අස්වැසුම ලබාගත්ත බොහෝ දෙනකු ගේ අස්වැසුම කප්පාදු කරන්න සූදානම් වෙනවා. මේක මුළු රටට ම අස්වැසුම අවශ්‍ය කරලා තිබෙන වෙලාවක්. කිසිම කෙනකුට හුස්ම ගන්න බැරුව හිරවෙලා තිබෙන අවස්ථාවක්. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුණහම රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එතුමා අගමැති කාලෙ දී හඳුන්වලා දුන්නා මිල සූත්‍රයක්, ලෝකයේ තෙල් මිල වැඩිවෙනකොට වැඩිවෙන්නත්, ලෝකයේ තෙල් අඩුවෙනකොට අඩුවෙන්නත්. එතකොට ලෝකයේ තෙල් වැඩිවෙලා තියෙන අවස්ථාවට වැඩිවෙන්න තිබෙනවා. ලෝකයේ තෙල් මිල අඩුවෙලා තියෙන අවස්ථාවට තෙල් මිල අඩු කරන්න තිබෙනවා. ඉතින් එදා ඒ සූත්‍රය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ මේ ළමයින්ට. මම හිතනවා දැන්වත් තේරුම් අරගත්තොත් හොඳයි කියලා මේ ගැන. ඉතින් මේක මහජනයාගේ නොදැනුවත්කම නිසා ඔවුන් විසින්ම ඇති කරපු ප්‍රශ්නයක් බවයි මගේ හැඟීම.
මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන මහතාගෙන් ඇසු ප්‍රශ්න සහ ඒවාට ඔහු ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
ඡන්ද දායකයින් ගේ සතුට
ප්රශ්නය
අද IMF ගැන කතා කරනකොට බොහෝ දෙනා කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට පාලනය කරත් ගමන් කරන්නේ මේ පාරෙමයි කියලා මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
පිළිතුර -
සම්පූර්ණ වැරදි මතයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරම්භ කරපු වැඩසටහන නෙමෙයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඉස්සෙල්ලා ඒක ශ්‍රී ලාංකීය මහාජනතාව තේරුම්ගත යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාවට නැංවූ වැඩසටහන අනුව නම්, 2025 දෙසැම්බර් 31 රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් රට පාලනය කළේ, ඩොලර් බිලියන 8.5කට අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කරනවා.
මේ අවුරුද්ද අවසන් වෙනකොට එතුමා ඩොලර් බිලියන 10.5ක ඉලක්කය සම්පූර්ණ කරනවා. ඒකට එතුමා ගෙනාවා ආර්ථික පරිවර්තන පනත. ඒ පනතේ කියලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳාම කෙසේ ද සිදුකරන්නේ, ඒ පනතේ කියලා තියෙනවා කෙසේ ද දේශීය වෙළඳාම සිදුකරන්නේ. නමුත් දැන් ඒ සියල්ලක්ම කඩාකප්පල් වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේකට දොස් කියලා වැඩක් නැහැ. ප්‍රධාන ප්රශ්නය තිබෙන්නේ මේ දේවල් හැසිරවීම පිළිබඳ දැනුම නොමැතිකමේ ප්රශ්නය. ඉතින් ඒකට පාලකයින්ට බැණලා වැඩකුත් නැහැ. ඡන්දදායකයින්ට බැණලා වැඩකුත් නැහැ. ඡන්දදායකයෝ හරි ආසයි බොරු අහන්න. කියපු දේවල් නොලැබුණත්, තාවකාලික මිහිරක් හරි කනට ලැබුණානේ. ඉතින් ඒක තමයි ඔවුන්ගේ සතුට.
පළපුරුද්දක් නැති වුණහම මොනවාද වෙන්නේ කියලා හිතාගන්න බැහැ. ඉතින් ඒ ළමයින්ට තේරෙන්නේ නැහැ මේ ප්රශ්නය. ඒක තමයි මහජනයා තේරුම් ගන්න ඕන ප්රශ්නය.
අත්අඩංගුවට ගැනීම දඬුවමක් නෙවෙයි
ප්රශ්නය
ඒ වගේම හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගේ පුත්‍රයාව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳ ඔබ දරන්නේ කුමන මතයක්ද?
පිළිතුර -
මම හිතන්නේ අධිකරණයේ ස්වාධීනත්වය රැකගෙන ක්‍රියා කරන්න අවශ්‍ය පරිසරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සකස් කර දිය යුතුව තිබෙනවා. ලෝකයේ තිබෙන කාරණා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට කළවම් කරන්න පුළුවන්කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තහම එංගලන්තයේ අධිකරණ පද්ධතිය, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ අධිකරණ පද්ධතිය, ඒවායේ ආර්ථික තත්ත්වය, ඒවායේ සමාජ තත්ත්වය, ඒවායේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස්.
ඒ නිසා අධිකරණ භූමිකාව නිදහසේ ස්වාධීනව ඉටු කිරීමට ඔවුන්ට අවශ්‍ය පරිසරය සකස් කර දිය යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම ශ්‍රී ලංකාවේ නීතිඥ මහත්වරුත්, සියලුම ආගමික සංවිධානත් ඒ සඳහා මැදිහත් වෙලා ක්‍රියා කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා සියලු දෙනා බැඳී සිටිනවා කියන එකයි ප්‍රකාශ කරන්න තිබෙන්නේ.
මම හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය අධිකරණය විසින් තීරණය කළ යුතුව තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අත්අඩංගුවට ගැනීම දඬුවමක් නොවන්නේය. එහෙනම් අධිකරණයේ තීන්දුවක් දුන්නට පස්සේ ඒ පිළිබඳ අපි බලමු මොකක්ද සාධාරණ තීන්දුව කියලා.
සියලු ම දේශපාලන පක්ෂ එකට එකතුව ක්‍රියා කළ යුතුයි
ප්රශ්නය -
මේ වනවිට එක්සත් ජාතික පක්ෂයත් ක්‍රියා කරන්නේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළෙ, මොකද්ද ඔබතුමන්ල ගේ ඊළඟ වැඩසටහන වෙන්නේ?
පිළිතුර -
සියලු දෙනා එකමුතු විය යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇත්තටම ශල්‍යකර්මයට භාජනය කරන්න ප්‍රථම, එතුමා දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකරාශී කරමින් හිටියේ. එතුමා ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තුරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කරමින් ඉදිරියට යමින් තිබෙනවා.
සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතුයි. ශ්‍රී ලංකාවට අනාගතයක් අවශ්‍යයි. ශ්‍රී ලංකාවට යන්න පුළුවන් උපරිම දුර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගිහිල්ලා තිබෙනවා. මෙතනින් එහාට ආසියාවේ බලවත් රාජ්‍යයක් හැටියට ක්‍රියා කිරීමට නම්, සියලු ම දේශපාලන පක්ෂ එකට එකතුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ නායකතුමාත්, අනෙකුත් සියලු නායකයෙනුත් ඒ සඳහා පෙළගැසෙමින් සිටිනවා.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකවරුන්, කළමණාකරුවන් ඇතුළු එජාප ක්‍රියාකාරීන් සහභාගී වී සිටියහ.
මාධ්‍ය ඒකකය - එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
