මුදල් විශුද්ධිකරණය පිළිබඳව තමන්ට පවතින පරීක්ෂණ නීත්‍යානුකූලව නොව වෙනත් මාර්ගවලින් විසඳා දීමට විජේදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ තමන් ගෙන් කෝටි 30 මුදලක් ඉල්ලා සිටි බව අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල පැවසීය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබුණේ චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන ‘Truth with Chamuditha’යූටියුබ් නාලිකාවේ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විරංජිත් තාඹුගල පවසන්නේ තමන්ට විරුද්ධව මුදල් විශුද්ධිකරණයට අදාළව පරීක්ෂණයක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් (2023 වර්ෂයේදී) පවත්වන බව මුලින්ම දැනගන්නට ලැබුණේ නීතීඥ රඛිත රාජපක්ෂ ඇතුළු තම නීතීඥයින්ගෙන් බවත්, ඒ අනුව ඊට සූදානම් වෙමු යැයි ඔවුන් පැවසූ බවයි.
ඒ අනුව මෙම චෝදනා ඔප්පු වුවහොත් තම දේපළ රාජසන්තක විය හැකි බව, සිය ගිණුම් අත්හිටුවීම යනාදි කරදරවලට මුහුණ දිමට සිදු විය හැකි බව රඛිත රාජපක්ෂ තමන්ට පෙන්වා දුන් බවත් ඒ අනුව මෙම විමර්ශන නීත්‍යානුකූලව නොව වෙනත් මාර්ගවලින් විසඳා දීමට තමන්ගෙන් කෝටි 30 මුදලක් පළමුවෙන් ඉල්ලා සිටි බව විරංජිත් තාඹුගල පවසයි.
මෙම සිදුවීම පිළිබඳව සියලු කරුණු මේ වන විට තමන් විසින් අධිකරණයට වාර්තා කර ඇති බව ද ඔහු මෙම සාකච්ඡාවේදී පවසන්නේ ය.
විරංජිත් තාඹුගල සමග පැවති මෙම සාකච්ඡාව මේ වන විට නැවතත් කරළියට පැමිණ තිබෙන්නේ පසුගියදා අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට ගනු ලැබීමත් සමග ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අය ගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහා, රැඳවුම් නියෝග ඉවත් කර, ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහා සහ විමර්ශන කටයුතුවලින් මෙන් ම ඊට අදාළ කටයුතුවලින් නිදහස් කර දීම සඳහා,
රුපියල් කෝටි 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එම මුදල රුපියල් කෝටි 20 ක් දක්වා අඩු කර, එයින් අත්තිකාරම් ලෙස රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට මේ වන විට රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ යන අයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
අදාළ වීඩියෝව පහළින්>>>
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
