Language Switcher

V2025

නජීබ් රසාක්ගේ සංචාරයෙන් ලංකාවට වාසි රැසක්

මධ්‍යම පාන්තික නිවාස 14000 ක් ඉදිකිරීම ඇතුළුව ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු වෙනුවෙන් තම සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සඳහන් කර ඇත.

මෙරට නිල සංචාරයක් සිදුකරන මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇත්තේ ඊයේ (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

නිදහස් වෙළඳ ගිවිසුමකට එකඟතාවක්

 මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනය අනුව දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරීම වෙනුවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට මෙන්ම

ගුවන් තොටුපොළ කළමනාකරණය, මධ්‍යම විද්‍යා හා තාක්ෂණික, නැනෝ තාක්ෂණික සහ ජීව තාක්ෂණික, සංචාරක, වෛද්‍ය, අධ්‍යාපන, හමුදා නිලධාරින් පුහුණුව, බුද්ධි තොරතුරු හුවමාරුව, තානාපති නිලධාරින් පුහුණු කිරීම, ඊ- අධිකරණ තාක්ෂණය, කෘෂිකර්මය ආදි ක්ෂේත‍්‍ර ගණනාවක් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටද දෙරටේ නායකයින් එකඟවී ඇත.

 ලංකාවේ අපනයන සඳහා වැඩි ඉඩක්

 ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර වාර්ෂික වෙළඳාමේ අගය 2017 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 680 ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් මැලේසියාවට බොහෝ වාසි සහගත පවතින දෙරටේ වෙළඳාම සමබර කිරීම සඳහා ශී‍්‍ර ලංකාවෙන් කෙරෙන ආනයනයන් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව මැලේසියානු අග්‍රාමාත්‍යවරයා පැවසු බවද එම නිවේදනයේ දැක්වේ.

 ඊ- අධිකරණ තාක්ෂණය

 තවද එම නිවේදනයට අනුව මැලේසියාවේ ඊ- අධිකරණ තාක්ෂණය තුළින් නඩු විභාග කිරීමේ කාල සීමාව බෙහෙවින් අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇති බව පෙන්වාදී ඇති මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එම තාක්ෂණය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ද කැමැත්ත පළ කර ඇත.

 ආයෝජන වැඩි කරනවා

එසේම දැනට ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක විදේශ ආයෝජන ක‍්‍රම 47 ක් මැලේසියාව විසින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක කරන අතර, එය තවදුරටත් නංවාලීම තම අභිලාෂය බව ද මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර වේදිකාවේ සහයට තුති

මේ අතර ජාත්‍යන්තර වේදිකාවලදී, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාවට නිරන්තරයෙන් මැලේසියාවෙන් ලැබෙන සහය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් ඇගයීමට ලක්කළ බවත් එසේම මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම මැඩලීම සඳහා බුද්ධි අංශ තොරතුරු හුවමාරුව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළ බවත් අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

ගිවිසුම් තුනකට අත්සන් තබයි

එමෙන්ම දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තබා ඇත.

දෙරට අතර තානාපති නිලධාරින් පුහුණු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ මැලේසියා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අත්සන් තබා ඇති අතර දෙරට අතර විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද ශී‍්‍ර ලංකා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන මහලේකම් කාර්යාලය සහ මැලේසියා කර්මාන්ත හා උසස් තාක්ෂණය සඳහා වූ රාජ්‍ය මණ්ඩලය අතර අත්සන් තබා ඇත.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ මැලේසියාවේ කර්මාන්ත හා උසස් තාක්ෂණය සඳහා වූ රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ඊට අත්සන් තබා ඇත.

එමෙන්ම දෙරට අතර විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාව වෙනුවෙන් අත්සන් තැබුණු ගිවිසුමට ද විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ මැලේසියාවේ කර්මාන්ත හා උසස් තාක්ෂණය සඳහා වූ රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා අත්සන් තබා ඇත.

රාජ තාන්ත්‍රික සබඳතාවට වසර 60 යි

 ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා අරඹා වසර හැටක් සපිරීමට සමගාමීව මැලේසියා අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන අතර, එය සමරමින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුව ඇත.

එම සමරු මුද්දරය සහ මුල්දින කවරය නායකයින් වෙත පිළිගන්වා ඇත්තේ තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් විසින්ය.

 මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අමාත්‍යවරුන් වන තිලක් මාරපන, ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න, මලික් සමරවික‍්‍රම, සුසිල් පේ‍්‍රමජයන්ත, තළතා අතුකෝරාළ, ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවද එම නිවේදනයේ සඳහන් වේ.