රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබේ !

රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබේ !

රජය විසින් තෝරාගත් රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීම 2019 ජූනි 10 වන දින ප.ව. 5.30 ට මුදල් අමාත්‍යාංශයේ “රන්දොර” ශාලාවේදී සිදු කෙරිණි.

රජය සතු ව්‍යාපාරවල කාර්යසාධනය ඉහළ නැංවීමේ අරමුණින් 2017 වර්ෂයේදි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සාමූහික අභිලාෂ ප්‍රකාශ සංකල්පය හඳුන්වාදෙන ලදී. 2017 පෙබරවාරි 07 වන දින මෙම සංකල්පය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙන ලද අතර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම , ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ප්‍රධාන රජය සතු ව්‍යාපාර 5 ක් සමඟ 2017 මාර්තු 15 වන දින මෙම ප්‍රකාශ සඳහා අත්සන් තබන ලදී.

ඉන් අනතුරුව, අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුගත වෙමින් තවත් රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් කිරීමට සැලසුම් කරන ලද අතර, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, සී/ස ලංකා සතොස සමාගම, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය, රාජ්‍ය දැව සංස්ථාව, සී/ස කුරුණෑගල වැවිලි සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, සී/ස මිල්කෝ (පුද්ගලික) සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එම ආයතන වේ.

සාමූහික අභිලාෂ ප්‍රකාශය යනු මුදල් අමාත්‍යාංශයේ ලේකම්, අදාළ රේඛීය අමාත්‍යාංශයේ ලේකම් සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අදාල රාජ්‍ය ව්‍යාපාරයේ සභාපතිවරයා විසින් අත්සන් කරනු ලබන ත්‍රෛපාර්ශවීක ගිවිසුමක් වන අතර රටෙහි සාර්ව ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වාණිජමය ශක්‍යතාවයෙන් යුතුව ක්‍රියා කිරීමට යෝග්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි මෙහෙවර වේ. සාමූහික අභිලාෂ ප්‍රකාශය තුල පහත සඳහන් අරමුණු අන්තර්ගත වේ; රාජ්‍ය අයවැ‍යෙන් ස්වාධීනව හා වාණිජමය ශක්‍යතාවයෙන් යුතුව ක්‍රියා කිරීමේ හැකියාව ඇති කිරීම, ආයතනික යහපාලනය ඉහළ නැංවීම, මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, මානව සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම, මෙහෙයුම් ක්‍රියාවලියේ වෙනස්කම් සිදුකිරීම සහ ව්‍යාපාර ක්‍රියාවලිය නවීකරණය කිරීම, මෙහෙයුම් විනිවිදභාවය හා වගවීම ඉහළ නැංවීම, ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වල කාර්යක්ෂමතාවය හා ඵලදායීත්වය සහතික කිරීම සහ ආයෝජන සඳහා සාධාරණ ප්‍රතිලාභ ජනනය කිරීම. තවද, මෙම ප්‍රකාශය තුළ වසර තුනක කාලපරිච්ඡේදය පුරා පැතිරුණු, රාජ්‍ය ආයතනවල සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම හා වාර්ෂික අයවැය හා සම්බන්ධ වන ප්‍රධාන කාර්යසාධන දර්ශකද ඇතුළත් වේ. මීට අමතරව, රජය සතු ව්‍යාපාරයන්හි සියලු වාණිජමය නොවන මෙහෙයුම් වල බලපෑමද සාමූහික අභිලාෂ ප්‍රකාශයෙහි ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා උපාය මාර්ගික වැදගත්කමක් ඇති රාජ්‍ය ආයතන වෙත සාධනීය ලෙස දායක වීමට සාමූහික අභිලාෂ ප්‍රකාශය මඟින් හැකියාව ලැබෙනු ඇත. මෙම රාජ්‍ය ව්‍යාපාරයන්හි ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, රජයේ ප්‍රධාන අපේක්ෂාවන් වන්නේ මෙහෙයුම් සහ මූල්‍ය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා දියුණු ආයතනික පුරුදු, නවීන මූල්‍යකරණය, ප්‍රබල හා විචක්ෂණ මූල්‍ය කළමනාකරණය, තරඟකාරිත්වයට නිරාවරණය වීම, ජාත්‍යන්තර මට්ටමේ යහපත් භාවිතයන් හා ඵලදායී මානව සම්පත් කළමනාකරණය කිරීම තුළින් එම ආයතන සවිබල ගැන්වීම සහ පහසුකම් සැපයීම වේ.

සාමූහික අභිලාෂ ප්‍රකාශය තෝරාගත් රජය සතු ව්‍යාපාර සහ රේඛීය අමාත්‍යාංශ විසින් ඔවුන්ගේම කළමනාකරණ මෙවලම ලෙස භාවිතා කරනු ලබන්නේ කෙතරම් දුරකටද යන්න මත සාමූහික අභිලාෂ ප්‍රකාශ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය මූලික වශයෙන්ම රඳා පවතී. සාමූහික අභිලාෂ ප්‍රකාශයන්හි ප්‍රගතිය රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මඟින් අධීක්ෂණය කරනු ලබන අතර, කාලානුරූපීව ප්‍රගති වාර්තාවන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරනු ලබයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ සාර්ථකත්වය මත රජය විසින් වරින් වර අනෙකුත් රජය සතු ව්‍යාපාර 400 සඳහාද මෙම පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.

 10mfm

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න