#News tube

  • තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දිනය අදයි!

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ විය. මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දිනය අද (10) යි.

  • දකුණු චීනයේ සංචාරයට මැට්මෝ සුළි කුණාටුව හරස් වේ

    මැට්මෝ (Matmo) සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (04) රාත්‍රියේ සිට හෙනාන් (Hainan) පළාත වෙත සිදු කෙරෙන ගුවන් ගමන් සහ මගී ප්‍රවාහන යාත්‍රා සේවා තාවකාලිකව නතර කරන බව චීන රජය දැනුම්දුන්නේය. එරට වාර්ෂික නිවාඩු සංචාර සිදු කෙරෙන උච්ඡතම කාලසීමාව මෙය වේ.

    ඒ අනුව, හේකු (Haikou) ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්වන සහ ඒ වෙත ළඟා වන සියළු ගුවන් ගමන් එරට වේලාවෙන් ඊයේ ප.ව.11.00 සිට තාවකාලිකව අවලංගු කර තිබේ. සුළි කුණාටුව හේතුවෙන් දකුණු චීනයේ ග්වන්ඩොන් ( Guangdong ) සහ යුනාන් (Yunnan) ඇතුළු ප්‍රදේශ රැසක දැඩි සුළං සහිත තද වැසි හට ගත හැකි බවට අනතුරු අඟවා තිබේ. හෙනාන් සංචාරක කලාපයේ සියලු සංචාරක මගී යාත්‍රා සේවා ද ඊයේ ප.ව.6.00 සිට තාවකාලිකව නතර කර ඇත.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/5/2025

    මුලාශ්‍රය :

    China to cancel some flights as Typhoon Matmo nears Hainan during peak holiday travel

  • දරුවන්ට යුතුකම් කියා දෙන එක වරදක් ද...? - දිවානී හෙට්ටිගේ

    දරුවන්ට යුතුකම් කියා දීමට යෑමේදී ගුරු විදුහල්පති ශිෂ්‍ය නායකයින් වැරදිකරුවන් කර දඬුවම් ලැබිය හැකි පිරිසක් බවට පත් කරන්නට වත්මන් ආණ්ඩුවේ යෝජිත නීතිය මගින් හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් දිවානි හෙට්ටිගේ පැවසුවා ය.

    ඇය මෙම අදහස් පළ කළේ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සහ පාසල් ප්‍රජාව තුළ ඇතිවීගෙනන යන බරපතළ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරිය...

    රටේ සංස්කෘතික පද්ධතිය විනාශ කරන කුමන්ත්‍රණයක්...?

    ''අගමැතිනිය පවසන්නේ වගකීම් සහ යුතුකම් කියලා කොටස් දෙකක් තිබෙනවා, අපි පනත මගින් වගකීම් ඉෂ්ට කරලා තිබෙනවා, දරුවෝ තමන්ගේ යුතුකම් ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කියලා. එහෙනම් දරුවන්ට මේ යුතුකම් කියලා දෙන්නේ කවුද...? කියා දීමට යාමේ දී ගුරු විදුහල්පති ශිෂ්‍ය නායකයින් වැරදිකරුවන් කර දඬුවම් ලැබිය හැකි පිරිසක් බවට පත් කරන්නට මේ නීතිය මගින් හැකියාව ලැබිලා තියෙනවා.

    රටේ අධ්‍යාපන ඇමැතිට දරුවෝ නැති නිසාද දන්නෙ නැහැ මේකෙ බරපතළකම නොතේරෙන්නේ...? නොඑසේ නම් ජාත්‍යන්තර අවශ්‍යතාවයක් මත රටේ සංස්කෘතික පද්ධතිය විනාශ කරන්ඩ කරන කුමන්ත්‍රණයක් ද මේ වන විට පාසල් ශිෂ්‍යයෝ සියයට පනස් පහක් දහම් පාසල් යන්නේ නැහැ. ඔවුන්ට දහම් අධ්‍යාපනය ලැබෙන්නෙත් නැහැ. ගුරුවරුන්ට ආණ්ඩුවෙන් සුළු මුදලක් දුන්නත්, ස්වෙච්චාවෙන් මුදලක් ගෙව්වත් මේ තියෙන පනත නිසා දහම් පාසලේ ඉගෙනුම් කටයුතු කිරීමට බාධාවක් වෙනවා. මහා නායක හිමියන්, කාදිනල් තුමාවිරෝධතාවය ප්‍රකාශ කිරීම පිළිබඳව රටේ ජනතාව පින් අනුමෝදන් කරනවා.

    පාසල් තුළ විනය ක්‍රියාත්මක විය යුතුයි

    විනයක් නැති සමාජයක් හදන්නට බැහැ. විනය කියන දේ සංස්කෘතියට අනුව පාසල් තුළ ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොවුණහොත් නුදුරේම අපි දුටුවා සුළු ප්‍රශ්නයක් හේතුකොටගෙන පාසැල් ළමයකු ගුරුවරියෙකුට පහරදෙනවා. මෙය තමයි ආරම්භය; මෙය ඉතා භයානක තත්ත්වයක්. මෙම සංශෝධනය තුළින් ගුරුවරු සහ විදුහල්පති දණ්ඩනයකට ලක් කිරීම නිසා ගුරුවරු තුළින් සිසු දරුවන්ට අවවාද අනුශාසනා කිරීම පවා මානසික හිංසනයක් විය හැකි යි.''

    මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ උපලේකම් ගින්නෙරියේ සෝමරතන හිමි, ප්‍රධාන සභාපති තුෂාර කුරේ යන අය ද අදහස් දැක්වූහ.

  • නව අගමැති සුෂිලා කාර්කි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

    නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.


    හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාවට නංවා ඇත.

    ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතය.

    මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.




    නේපාලයේ නව අන්තර්කාලීන අගමැතිවරිය ලෙස එරට හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි ඊයේ (සැප්තැම්බර් 12 වැනිදා ) රාත්‍රියේ දිවුරුම් දුන්නාය. ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් විසින් ඇයව නේපාලයේ අන්තර්කාලීන අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ලැබුවේ Gen Z පාර්ශවය විසින් නිර්දේශ කළ පරිදි ය. ඒ අනුව ඇය නේපාලයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක්වේ.



    Gen Z විරෝධතා පාර්ශවයේ නායකයින්, ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් සහ අනෙකුත් දේශපාලන නායකයින් මෙන්ම නීති විශේෂඥයින් අතර දින කිහිපයක් පැවති සාකච්ඡාවලින් පසුව ඇයව අන්තර්වාර අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට එකඟතාවයට එළඹ තිබේ.

    පිරිසිදු ප්‍රතිරූපයක් ඇති අයෙකු ලෙස සුෂිලා කාර්කි පුළුල් ලෙස සලකනු ලබන අතර, අන්තර්කාලීන රජයට නායකත්වය දීම සඳහා ඊනියා "Gen Z" කණ්ඩායමේ ශිෂ්‍ය නායකයින්ගේ සහාය ඇයට හිමිව තිබේ.

     

    NPL 20250913විරෝධතාකරුවන් පරිශ්‍රයට කඩා වැදීමත් සමඟ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනිගත් අයුරු



    දූෂණයට සහ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව විරෝධතා දැක්වූ Gen Z තරුණ විරෝධතාකරුවන්ගේ දැවැන්ත විරෝධතා මධ්‍යයේ ඉකුත් අඟහරුවාදා නේපාල අගමැති කේපී ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

    විරෝධතාව සහ ඒ ආශ්‍රිත සිදුවීම් අතරතුර පුද්ගලයින් 51 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව නේපාල පොලිසිය පවසයි.



    අන්තර්කාලීන අගමැති ධුරයට පත් කෙරුණ සුෂිලා කාර්කි යනු කවුද?

     

    SUSHILA 2 20250913 ශුෂිලා කාර්කි පිරිසිදු ප්‍රතිරූපයක් ඇති අයෙකු ලෙස පුළුල් ලෙස සැලකේ


    නේපාලයේ අධිකරණ පද්ධතිය ස්ථාපිත කිරීමේ වසර 65 කට වැඩි ඉතිහාසයේ පළමු කාන්තා අගවිනිසුරුවරිය බවට පත්වූයේ සුශිලා කාර්කි ය.

    නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයේ වසර 75 ක ඉතිහාසයේ පළමු කාන්තා අගමැතිනිය වන්නේ ඇයයි.

    ඇය අගවිනිසුරු ධුරයට පත්වන විට, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කර වැඩි කාලයක් ගත වී නොතිබූ අතර, ඒ වන විට, මහාධිකරණයක් පිහිටුවීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ පරිපාලනය අභියෝගක් වී තිබිණි.

    ඊට අමතරව, ඇය අගවිනිසුරු ධූරයට පත්වූයේ වසර ගණනාවක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවති සහ විනිසුරුවරුන් සංඛ්‍යාව අඩු මට්ටමක පැවති කාලයකදීයි.

    මතභේද කිහිපයක් හැරුණු විට, ඇයගේ ධුර කාලය පිළිබඳව මහජනතාව බොහෝ විට ප්‍රශ්න මතු කර නොමැත.

    බිරත්නගර් හි උපත ලැබූ 73 හැවිරිදි ඇය ඉන්දියාවේ බනාරස් හින්දු විශ්ව විද්‍යාලයෙන් සහ නේපාලයේ ත්‍රිභුවන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු නීති වෘත්තියට පිවිසියාය.

    බිරත්නගර් සහ ධරන් හි දශක තුනකට වැඩි කාලයක් ක්‍රියාකාරී නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසු ඇය සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරියක් ලෙස පත්වීම් ලැබුවාය.



    මුලාශ්‍ර :

    Nepal's Parliament Dissolved, General Elections To Be Held In March 2026

    Nepal's parliament dissolved hours after interim PM Sushila Karki took oath, elections announced

    Nepal gets first female PM after deadly unrest 

     

    (උපුටා ගැනීම් - The leader.lk)

  • නවම් පුර පසළොස්වක පොහොය අදයි

    නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

  • නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නේය.

    නීතිඥ විජිත කුමාර නමැත්තෙකු විසින් ගොනු කරනු ලැබ තිබූ එම පෙත්සමෙන් එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසක් නම්කර තිබුණි.

    මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

    පෙත්සමෙන් ඉල්ලූ 'එක ම දේ'

    මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ බව ය.

     

     

    අදාළ විදුලි ගාස්තුව මේ වන විට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

     

    වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ, අදාළ විදුලි ගාස්තු මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බව ය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය.

    විදුලි ගාස්තු රු. මිලියන 2ක්

    හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ විවාහ මංගල උත්සවයේදී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2කට අධික මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණත් ඔවුන් එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බව ය.

    ඉන් කලකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාළ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියේ ය.

    සාමාන්‍ය මහ ජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කරන බව පෙන්වා දෙන පෙත්සම්කරු එහෙත් මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අය කර ගැන ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් සඳහන් කළේ ය.

    ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා එම නීතිඥවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.   

     

    The leader.lk

     

     

  • නියෝජ්‍ය පොලිස්පති හේවාවිතාරණ හම්බන්තොටින් කෑගල්ලට මාරු කළේ ඇයි...?

    පුවක්දණ්ඩාවේ සරා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගත් මෙහෙයුමේ ප්‍රධාන නිලධාරී, පොලිස් මත්ද්‍රව්‍ය අංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති හේවාවිතාරණ වහාම ක්‍රියාත්මක වන පරිදි කෑගල්ලට මාරු කර ඇතැයි වරුණ රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ Waruna Rajapaksha youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

    එම අදහස් දැක්වීමේ දී වරුණ පැවසුවේ මෙම හදිසි ස්ථාන මාරුව කුමන හේතුවක් මත සිදු කළා ද යන්න අනාවරණය වී නොමැති බවයි.

  • නිශාන්ත උළුගේතැන්න යළිත් රිමාන්ඩ්

    නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූලි මස 28 වනදා අත්අඩංගුවට ගැනුණි.


    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේන අතර ඒ සැප්තැම්බර් මස 24 වනදා තෙක්ය.


  • නීතිඥවරුන් සම්බන්ධයෙන් කරන ලද ඇතැම් නිරීක්ෂණ පිලිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

    මෑතකදී සේවාදායකයන් වෙනුවෙන් සිදු කරන වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් නීතිඥවරුන්ට එරෙහිව නඩු පවරන බවට / පැමිණිලි කරන බවට තර්ජනය කළ අවස්ථා කිහිපයක් තම සංගමය විසින් නිරීක්ෂණය කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසයි.


    ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති රජිව් අමරසුරිය හා ලේකම් චතුර ඒ ගල්හේන ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

    එම නිවේදනය මගින්,

    • සේවාදායකයෙකුගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෘත්තීයමය වශයෙන් නියෝජනය කරන නීතිඥවරුන්ගේ ස්වාධීන කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

     

    • එසේම, නීති වෘත්තිකයෙකුට තම සේවාදායකයාගේ යහපත සඳහා නීතියෙන් සපයා ඇති රාමුව තුළ තම වෘත්තියෙහි යෙදීමේ හැකියාව ඉතා පැහැදිලිව ලබා දෙන මූලධර්මය, සම්මුතිය සහ භාවිතය නීතීඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

     

    • නීතිඥවරුන්ගේ වෘත්තීය චර්යාවන් සමාලෝචනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා නීති පද්ධතියේ ඇති නිශ්චිත යාන්ත්‍රණයන්ට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගරු කරයි.

     

    • එහෙත්, නීතිඥවරයෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ නියෝජනයන් සිදු කිරීම සම්බන්ධයෙන් අපහාස විධිවිධාන යටතේ පුද්ගලයෙකු වරදකරු කර දඬුවම් නියම කරමින් 2021 ජූලි 15 වන දින නිකුත් කරන ලද අංක 3/2016 දරන ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව කෙරෙහි නීතිඥ සංගමය අවධානය යොමු කරයි.



     එය යුක්තිය පසිඳලීමේ පද්ධතියට ඍජුවම බලපාන කාරණයකි.

     

    • මෙහිදී, යුක්තිය පසිඳලීමේ පද්ධතියට අදාළ කාරණාවලදී සියලුම පාර්ශවකරුවන් සංයමයෙන්, වගකීමෙන් සහ වගවීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත් අවශ්‍යතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.



    අවශ්‍යතාවක් ඇති වුවහොත්, ඕනෑම සංසදයකදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම වෘත්තීය අයිතිවාසිකම් ශක්තිමත් ලෙස ආරක්ෂා කරනු ඇති බවද එකී නිවේදනයේ සඳහන් වේ.

     

    bar associa 20250905

     

    BAR 20250905 2

     

     

       The leader.lk

  • නේපාලය වෙත ශ්‍රීලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතී

    නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

    නේපාලය තුළ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

    ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

    උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව එරට හමුදාව පැවසීය.

    අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බව ද නේපාල හමුදාව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

    සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව නේපාලයේ විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා ඊයේ විනාශ කර තිබුණි.

    පුද්ගලයින් රැසකට මරු කැඳවූ නේපාල විරෝධතාවලින් අනතුරුව එරට අගමැති KP ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ පනවා ඇති ඇඳිරිනීතිය නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා වනසා ඇති පසුබිමකය.

    ඉන් අනතුරුව නේපාල පාර්ලිමේන්තු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස් එහි ගොඩනැලිවලට ගිනිතබා තිබුණු අතර, නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය ද විරෝධතාකරුවන් විසින් විනාශ කර තිබුණි.

    එමෙන්ම නේපාල රජයේ ඇමතිවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ලද ගිනි තබා ඇත.

    එමෙන්ම එරට හිටපු අගමැතිවරයෙක් වන ෂේර් බහදූර් දෙව්බා සහ ඔහුගේ බිරිද වන එරට වත්මන් විදෙස් කටයුතු ඇමතිනිය විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වූ බවට දැක්වෙන දසුන් පෙලක් ද මෙලෙස සමාජ මාධ්‍ය වාර්තා කළේය.

    පවතින තත්ත්වය හමුවේ නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල් ද ඉල්ලා අස්වුණි.

    මීට සමගාමීව එරට ගුවන්තොටුපොළ ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

    ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ, සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.

    මේ අතර නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට එළිමහනේ නොගොස් ගෘහස්ථව සිටිමින් ආරක්ෂාව සලසා ගන්නා ලෙස විදේශ අමාත්‍යාංශය දැනුම් දීමක් කරයි.

    එමෙන්ම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා සම්බන්ධ කරගැනීම සඳහා එමගින් දුරකථන අංකයක්ද ලබාදී තිබේ.

    එම දුරකථන අංකය වන්නේ 00977 - 9851048653

     

    Ada derana.lk

  • නේපාලයේ කත්මණ්ඩු බලා යළිත් ගුවන් ගමන් අරඹයි

    වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමගම යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

    ඒ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය අද (11) උදෑසන 08.15 ට කටුනායක ගුවන්තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය.

    එම ගුවන් යානය අද දහවල් 11.41 ට නේපාලයේ කත්මණ්ඩු නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිත අතර එම ගුවන් යානය යළිත් එරට සිටින ගුවන් මගීන් රැගෙන අද පස්වරු 04.40 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

    නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන අතර එම ගුවන් ගමන් සෑම සතියකම දින 04 ක් , එනම් ඉරිදා, සදුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින වල ක්‍රියාත්මක වේ.

    නේපාලයේ පැවති අරගලකාරී තත්ත්වය මත එරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමත් සමග ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ඊයේ (10) දින අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියවර ගෙන තිබුණි.

    ඒ අනුව ඊයේ උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතිරික්ත ගුවන් මගීන් 35 දෙනෙකුට නවාතැන් සහ හෝටල් පහසුකම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබා දී තිබේ.

     

    Ada derana.lk

  • නේපාලයේ දරුණු ගැටුම් මැද ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය කුමක් ද?

    සමාජ මාධ්‍ය තහනමට එරෙහිර නේපාලයේ කත්මණ්ඩු නුවර ඇරඹි Gen Z විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීමත් සමග එරට සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ.


    සිදුවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පූර්වාරක්ෂ පියවර ගන්නා ලෙසත්, ගෘහස්ථව රැඳී සිටින ලෙසත් එමගින් නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ව දැනුවත් කර ඇත.

    එමෙන් ම සෑම විට ම ජලය සහ වියළි ආහාර ළඟ තබා ගන්නා ලෙසට උපදෙස් දී ඇති අතර ඖෂධ භාවිත කරන පිරිස් ඒවා නිතර ම ළඟ තබා ගත යුතු බවට ද එමගින් දැනුම් දී ඇත.

    එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා +977- 9851048653 අංකයෙන් සම්බන්ධ කර ගත හැකි බව ද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

    ''නේපාල වෙසෙන ලාංකිකයින් ආරක්ෂිතයි''

    නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය එරට සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ සෙසු ජන කොටස් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවය.

    එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගණන 102ක් වන අතර, ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    WhatsApp සමූහා ඔස්සේ යොමු කළ පණිවිඩ මගින් දැනටමත් ඔවුන් සම්බන්ධ කර ගෙන ඇති බව ද එම අමාත්‍යංශ සඳහන් කළේ ය.

    මේ දක්වා එරට කිසිදු රජයේ කාර්යාලයක් ක්‍රියාකත්මක නොවන බවත් එරට විදේශ ඇමතිනියට ද ඇගේ නිවසේදී ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    නේපාලයේ දැන් තත්ත්වය ?

    සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිව නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස සහ රටේ විවිධ ප්‍රදේශවල Gen Z නමින් හැඳින්වෙන තරුණ පරම්පරාව විසින් පවත්වන ලද වීදි විරෝධතා අතරතුර පොලිසිය මාරාන්තික බලය යෙදවීමත් සමග රට පුරා පැවති විරෝධතා උත්සන්න වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත හා දේපළ හානි සිදුවිය.

    වත්මන් අර්බුදයට ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා මග පෑදීම විවර කිරීමට බව පවසමින් නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් විසින් එය පිළිගනු ලැබ තිබේ.

    බලධාරීන් විරෝධතාකරුවන් සමග කටයුතු කළ ආකාරය පිළිබඳව අතෘප්තිය පළ කරමින් කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය රාම් නාත් අධිකාරි ඉල්ලා ද මීට පෙර ඉල්ලා අස් විය.

    තව ද ජල සම්පාදන අමාත්‍ය ප්‍රදීප් යාදව් ද සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ.

    එමගින් ඔහු "රජය විසින් ගෙන යන මර්දනයට විරුද්ධ වන Gen Z තරුණයින්ට සහයෝගය" ප්‍රකාශ කළේය.

    විරෝධතා අතරතුර තම පරිපාලනය බලය යෙදවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමෙන් පසුව, සඳුදා ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් ද ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබිණි.

    ruters

    අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පවා විරෝධතාකරුවන් කත්මණ්ඩු නුවර විවිධ ස්ථානවලට ගිනි තබා ඇති අතර, ඇතැම් ස්ථානවල ජයග්‍රාහී රැලි පවත්වා තිබේ.

    කත්මණ්ඩු නිම්නයේ දිස්ත්‍රික්ක තුනක් ඇතුළුව විවිධ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනය විසින් දින නියමයක් නොමැතිව පනවා ඇති ඇඳිරි නීතිය නොතකා විරෝධතා අඛණ්ඩව සිදුවන වේ.

    ඇතැම් ස්ථානවල විරෝධතාකරුවන් විසින් දේශපාලනඥයින්ට සහ රජයේ කාර්යාලවලට පහර දී, විනාශ කර, ගිනි තබා ඇත.

    කෝපයට පත් විරෝධතාකරුවන් නැවතත් නයා බනේෂ්වර්හි ෆෙඩරල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පහර දී ගිනි තබා තිබේ. විරෝධතාකරුවෝ ඊයේ [සැප්තැම්බර් 9] දිනයේදී ද එයට ගිනි තබා තිබිණි.

    හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක් ඝාතනය කරලා

    මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක් විරෝධතාකරුවන් විසින් ඝාතනය කර ඇති බව වාර්තා වේ.

    මෙලෙස මියගොස් ඇත්තේ හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර් බවය.

    ඇයව විරෝධතාකරුවන් විසින් කත්මණ්ඩු නුවර පිහිටි නිවසේ සිරකර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වේ.

    මේ වන විටි ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 22 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ (09) රාත්‍රී 10 සිට එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

     

    The leader.lk

  • නේපාලයේ මහ වැසි; 50කට ආසන්න පිරිසක් මරුට

    නේපාලයේ ඉකුත් සිකුරාදා (03) සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාපතනය සහ ආශ්‍රිත විපත් හේතුවෙන් 47 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එරට විපත් කළමනාකරණ නිලධාරීහු පැවසීය.

    නාය යෑම් සහ හදිසි ගංවතුර හේතුකොට මාර්ග රැසක් අවහිර වී ඇතැයි වාර්තා වේ.

    ඉන්දියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නැගෙනහිර ඉලම් (Ilam) දිස්ත්‍රික්කයේ සිදු වූ නාය යෑමකින් පුද්ගලයින් 35දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

    ගංවතුරට හසු වීමෙන් තවත් පුද්ගලයින් 09දෙනෙක් අතුරුදන්ව ඇති අතර, අකුණු සැර වැදීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

    මේ අතර නැගෙනහිර ඉන්දියානු දේශ සීමාවේ පිහිටි බටහිර බෙංගාලයට අයත් කඳුකර කලාපයක් වන දර්ජීලින් (Darjeeling) හි අධික වැසි හේතුවෙන් හට ගත් නාය යෑම් වලින් පුද්ගලයින් 07දෙනකු වත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ප්‍රදේශය පුරා විසිරි සුන් බුන් අතර තිබී මළසිරුරු 07ක් හඳුනාගත් බව නේපාල මාධ්‍ය පවසයි.

    නාය යෑම් හේතුවෙන් නේපාලයේ ප්‍රධාන සහ අධිවේගී මාර්ග අවහිරව තිබේ. මාර්ගයේ ධාවනය වෙමින් පැවති මෝටර් රථ එහි සිරවී සිය ගණනක් මගීහු අතරමං ව සිටිති.

    දේශීය ගුවන් ගමන් ද සම්පූර්ණයෙන් අඩාලව පවතී. එහෙත්, ජාත්‍යන්තර ගුවන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දන්වා සිටී.

    අග්නිදිග නේපාලයේ කොෂී (Koshi) ගංගාවේ ජල මට්ටම අන්තරායකර සීමාව ඉක්මවා ඇතැයි වාර්තා වේ. වාර්ෂිකව නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මාරාන්තික ජලගැලීම් හට ගැනෙන්නේ එම ගංගාව පිටාර ගැලීමෙනි. අන්තරායකර ජල මට්ටම හේතුවෙන් ගංගාවේ වාන් දොරටු 56ම විවෘත කර ඇතැයි සුන්සාරි (Sunsari ) දිස්ත්‍රික් ආණ්ඩුකාර ධර්මේන්ද්‍ර කුමාර් මිශ්‍රා (Dharmendra Kumar Mishra) පැවසීය. සාමාන්‍ය තත්ත්වයහිදී විවෘත්ත කෙරෙන්නේ වාන් දොරටු 10ත්, 12ත් අතර සංඛ්‍යාවක් පමණක් බව ද ඔහු කියා සිටියේය.

    අන්තරායකර කාලගුණික තත්ත්වය හේතුවෙන් කොෂී ගංගාව හරහා පිහිටි පාලම මතින් මෝටර් රථ ධාවනය තහනම් කර තිබේ.

    ගංගා රැසක් පිටාර ගැලීමෙන්, කත්මන්ඩු අගනුවර සියළු මාර්ග ජලයෙන් යටවී නිවාස රැසකට හානි සිදුවී තිබේ. අගනුවරට පිවිසෙන සියළු මාර්ග ජලයෙන් යටවීමෙන්, එහි සිට සෙසු ප්‍රදේශ වෙත සහ ඒ වෙත සියළු ප්‍රවාහන සේවා ඇණහිට ඇත.

    ධාරාණිපාත වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හෙට (06) තෙක් නොවෙනස්ව පවතිනු ඇතැයි කාලගුණ බලධාරීහු ප්‍රකාශ කරති.

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/5/2025


    Heavy rains kill at least 47 in Nepal, block roads

  • පනත සම්මතයි : මහින්ද අද කාල්ටන් නිවසට - චන්ද්‍රිකා හොරගොල්ලට !

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වී සුළු වේලාවකින් කතානායකවරයා සහතික කළ අතර, ඒ අනුව එම පනත ඊයේ දිනයේ (සැප්තැම්බර් 10) සිට ම බලාත්මක වේ.


    ඒ අනුව, එම පනත 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වන බව පාර්ලිමේන්තුව නිවේදනය කළේ ය.

    විපක්ෂයේ චාමර සම්පත් මන්ත්‍රීවරයා පමණක් ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද භාවිත කරන විට විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ සිටියේ නැත.

    පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 151කගේ ඡන්දයෙන් සම්මත විය.

    මෛත්‍රී කලින් ම ගිහින්...

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පනත් කෙටුම්පත සම්මත වීමට පෙර පෙරේදා (සැප්. 9) දිනයේ ම නිල නිවසින් පිටව ගිය බව ඔහුගේ සමීපතමයෙක් පැවසීය.

    ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඇතැම් බඩුබාහිරාදිය ඉවත් කරගෙන බත්තරමුල්ලේ පිහිටි නිවසකට පිටව ගියේ යැයි ඔහු කීය.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ වන විට රැඳී සිටිනුයේ තම පෞද්ගලික නිවසේය.

    පෞද්ගලික නිවසේ සිටි හිටපු ජනපති ගෝඨාභය

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරය දරන සමයේ පවා නිල නිවස භාවිත නොකළ බව මෙන් ම දැනටත් ඔහු රැඳී සිටිනුයේ පෞද්ගලික නිවසේ බව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වූ එරන්ද ගිනිගේ බීබීසි සිංහල සේවයට පවසා ඇත.

    "ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ පළවෙනි දවසේ ඉඳලා හැම දා ම වැඩට ආවේ තමන්ගේ පෞද්ගලික නිවසේ ඉඳලා."

    හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇති වූ විරෝධතාවලින් පසුව ආරක්ෂක අංශවල ඉල්ලීමට අනුව ඔහු ජනාධිපති මන්දිරයට පැමිණි බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා රැඳී සිටියේ මාස කිහිපයක් බව ද එරන්ද ගිනිගේ පවසයි.

    හිටපු ජනාධිපතිවරුන් අතරින්, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පමණක් මේවනවිටත් රජයේ නිල නිවාස භාවිත කරමින් සිටී.

    මහින්ද කාල්ටන් නිවෙසට..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය.

    මේ අතර බීබීසි සිංහල සේවය කළ විමසීමකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා නිල නිවසින් පිටවීමට සූදානම් වන බව ය.

    "අද හෝ හෙට ඇතුළත මහින්ද ජනාධිපතිතුමා නිවසින් ඉවත් වෙයි. ඊට පස්සේ භාණ්ඩ ලේඛන ගත කරලා ඒ සියල්ල නීත්‍යනුකූලව පිළිවෙළක් කළාට පස්සේ අපි සතියක් වගේ කාලයක් ඇතුළත නිවස භාර දෙන්න බලාපොරෙත්තු වෙනවා."

    හිටපු ජනාධිපතිවරයා මැදමුලන කාල්ටන් නිවසට යන බවත්, ඉන්පසු ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

    හිටපු ජනපතිනි චන්ද්‍රිකා හොරගොල්ලේ නිවසට...

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය ද කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වී හොරගොල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත යන බව හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසි සිංහල සේවයට පවසා තිබිණ.

    "එතුමිය බඩු ඉවත් කර ගන්න පටන් අරන් තිබුණේ. සති දෙක තුනක් වෙද්දි ඉවත් වෙන්න පුළුවන් වෙයි," එම ප්‍රකාශකයා කියා ඇත.

    'විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට පනත කිසිදු අදාළත්වයක් නෑ'

    මෙම පනත හරහා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව කිසිදු අදාළත්වයක් නැතැයි පනත් කෙටුම්පත් විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ ය.

    "මේ පනත කිසිදු අදාළත්වයක් නෑ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ආරක්ෂාව වෙන ම සපයලා තියෙනවා. සපයපු ආරක්ෂාව සම්බන්ධව සමහර අය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය රජයෙන් සපයලා තියෙන ආරක්ෂාව සම්බන්ධව සෑහීමකට පත් වුණා. දැන් ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නෑ. යමෙකුට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම්, ආරක්ෂක තර්ජනයක් තියෙනවා නම්, ආරක්ෂක අවදානම් තියෙනවා නම් ඒ පිළිබඳ ආරක්ෂක අවදානම් කමිටුවක් තියෙනවා. ඒ කමිටුවට කරුණු ඉදිරිපත් කරපුවා ම ආරක්ෂාව ලබා ගන්න පුළුවන්."

    විශ්‍රාමික ජනාධිපතිවරුන් වසරකට රුපියල් කෝටි 9ක්

    ජනාධිපතිවරුන්ගේ පනත යටතේ විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් වෙනුවෙන් පසුගිය වසරේ වැය කරන ලද මුදල් සම්බන්ධයෙන් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

    "පහුගිය අවුරුද්ද ගත්තොත්, 24 වර්ෂය තුළ, විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණිය පහුගිය අවුරුද්ද තුළත් මේ හිමිකම් පනත යටතේ ගැනෙන කාරණා සඳහා රජය වැය බරක් දරලා තියෙනවා. විසි හය ලක්ෂ අනූ පන්දහස් හයසීය අනූවක්. විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට එක් කෝටි දාසය ලක්ෂ හැට හතරදාස් තුන්සීය හතලිස් අටක්. විශ්‍රාමික ජනාධිපති මහින්ද රජපක්ෂ මහත්මාට පන් කෝටි හතලිස් හය ලක්ෂ පනස් දෙදාස් නවසීය අනූවක්. විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මාට එක් කෝටි පනස් හත් ලක්ෂ හැත්තෑ දෙදාස් හාරසිය පනහක්. විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එක් කෝටි දෙලක්ෂ විසිදෙදාස් අටසිය අසූ එකක්. විශ්‍රාමික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිස් හතර ලක්ෂ අනූ දෙදාස් තුන්සීය නමයක් වශයෙන් රුපියල් නම කෝටි අසූපන් ලක්ෂ හතලිස් අටදාස් අටසිය තිස් නමයක මුදලක් වැය කරලා තියෙනවා."

     




    වත්මන් 'ජනාධිපතිවරයා විශ්‍රාම ගියාට පස්සේ එතුමාට මේකේ තියෙන බරපතළකම වැටහේවි'

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහුට මේ පනතේ බරපතළකම වැටහෙනු ඇතැයි සමගි ජන බලවේගයේ ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් විශ්වාසය පළ කළේ ය.

    "ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව, ජනාධිපතිවරුන්ගේ පවුලේ ආරක්ෂාව, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි ඒ තනතුර පවත්වාගෙන යනවා නම් යා යුතු යි. ඉවත් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙවර ජනවරම ඔබට හිමි වෙලා තියෙන්නේ ඒවා ඉවත් කිරීමට එකඟව. ඒ නිසා ඔබලා අහෝසි කිරීම පිළිබඳව මට විවාදයක් නෑ. හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශ්‍රාම ගියාට පස්සේ එතුමාට මේකේ තියෙන බරපතළකම වැටහේවි සමහර විට මේ ගෙවෙන කාල සීමාව තුළ හෝ ඊළඟ එකේදී ඔබ මේ පිළිබඳ යළි යළිත් සාකච්ඡාවට ගනීවි කියලා මම හිතනවා."


    රජය විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඊට එරෙහිව පාර්ශ්ව රැසක් ම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ නමුත් එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේ ය.

    මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම ඇතුළු පිරිසක් විසිනි.

    කෙසේ වෙතත්, එසේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරණතුංග කටයුතු නොකලේය.

    හිටපු ජනාධිපතිවරුන් සමග එක්ව ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට මාධ්‍ය වාර්තා පළ වූ අවස්ථාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් පළ කරමින් පැවසුවේ, එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට ඇය සම්බන්ධ වී නොමැති බව යි.


    (මුලාශ්‍ර - බීබීසී සිංහල)

    සබැඳි පුවත් :

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මතයි

     

    The leader.lk

  • ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි

    බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව.2 පසුව වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර

    ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30- 40 පමණ තරමක් තද සුළං තත්වයක් ඇතිවිය හැකිය.


    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී,අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්‍රීි ලංකාව ආසන්න අක්ෂාංශ වලට ඝෘජුවම ඉහලින් පවතී.


     අද දිනයේ (02) දහවල් 12:10 ට ආඬිගම,බලල්ල,මීගස්වැව,බඔරගස්වැව,බකමූූණ,අරලගංවිල,චෙන්කලඩි,එරාවුර් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

  • පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව ඉහළ නැංවීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක්

    පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය වී තිබේ.

    කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාරපාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි.

    ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.

    මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික  පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කල ද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව පිළිබඳ නිරීක්ෂණයට එක්වූයේ පළමු වරට බවය. ඒ සඳහා මැදිහත් වූ කථානායකවරයාට ස්තූතිය පළ කරන බව ද  පැවසීය.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පිළිගැන්වීම පිළිබඳව සිදුකළ විමර්ශනයේ වාර්තාවක් කථානායකවරයාට ලබා දුන් බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ආහාරපාන පාර්ලිමේන්තුව විසින් සැපයීම සිදුකරන අතර පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ගරු කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන්ම අනෙකුත් ගැටලු කඩිනමින් මඟහරවා ගැනීමට අදාළ යෝජනා සකස් කිරීම පිණිස මෙම කමිටුව පත් කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

    ඒ අනුව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙය කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමැති ඉංජිනේරුවෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවට ද මෙහිදී යෝජනා විය.

    මීට අමතරව මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ නිල නිවාසවල පවතින සේවා සැපයීම්, නඩත්තු කටයුතු ඇතුළු කරුණු පිළිබඳව ද මෙම කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ සම්බන්ධයෙන් පවතින අඩුපාඩු කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා ලෙස ද කථානායකවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

     

    ada derana.lk 

  • පිට රටින් සහල් ආනයනය කිරීම මහා ඛේදවාචකයක් - සජිත් ප්‍රේමදාස

    අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් වුව ද වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් බවත්, රට තුළ සහල් අතිරික්තයක් තිබුණ ද අපි අදටත් සහල් ආනයනය කිරීම ජාතික ඛේදවාචකයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ කෘෂිකර්මාන්තයේ වී වගාව කේන්ද්‍රීයව පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී ය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

    මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීමක්

    ''වත්මන් රජය නිර්මාණය කරනවා කියපු ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩදාසියට පමණක් සීමා නොකර මහ පොළොවේ යථාර්ථයක් කරන්න. එසේ කරන තෙක් ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටිනවා. මේ වන විට වී වගාවේ ඵලදායීතාව අඩු වන්න බලපෑ හේතු කවරේ ද කියා අප සිතා බැලිය යුතුයි.

    පසුගිය කාලයේ අප රටේ වී නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමේ ඇති අවස්ථාවේ රසායනික පොහොර තහනමක් පැමිණියා. ඒ වන විට වී නිෂ්පාදනය 34% ක පහළ වැටීමක් සිදු වුණා. අදටත් පොහොර භාවිත වෙන්නෙ නිර්දේශ වූ ප්‍රමාණයට වඩා 35%ක් අඩුවෙන්. මේ නිසා ඊළග කන්න කිහිපයේ හෝ නිර්දේශිත ප්‍රමාණයෙන් පොහොර යෙදවීමට ගොවියා පොලඹවා මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීමක්. ව්‍යාප්ති සේවා හරහා එය සොයා බැලිය යුතු යි.

    සහතික මිල අදටත් ගැටලුවක්

    සහතික මිල ගැන ගැටලුවක් තිබෙනවා. රු. 120ක සහතික මිලක් දෙනවා කිව්වත් මෙය සහතික මිල ලබා දීමක් නෙවෙයි; සහතික මිල පාලනයක්. කිසිදු රජයක් කවදාවත් සම්පූර්ණ අස්වැන්න මිලදී ගන්නෙ නැහැ. අස්වැන්න මිල දී ගන්නේ සීමිත ප්‍රමාණයක යි. ඒකත් ගන්නෙ මිල පාලනයට යටත්ව යි. මේ ස්ථාවර මිල රු 140-150 විය යුතුයි කියා රජයේ ඇමතිවරු කිව්වා.

    වී වගාවේ පිරිවැය අදටත් වැඩියි

    පාර්ලිමේන්තු අණ පනත් හරහා මේ සහතික මිල නීතියක් කරනවා කිව්වට එය සිදු වුණේ නැහැ. පිරිවැය ගැන කිය කිය සිටියත් බීජවල සිට යෙදවුම් තෙල් පොහොර උපකරණ මිල මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම්වල මිල නිසා ගොවියාට සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ. මේ නිසා ඒකාධිකාරය බිඳ වට්ටවා කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් අවශ්‍ය යි.

    මේ දේවල් රජය කළ යුතු යි. අද කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් මෙන්ම මූල්‍ය ශක්තිය ද ලබා දිය යුතු යි. ඊට අමතරව අගය දාමයේ ප්‍රධාන ක්‍රියකරුවන් නිසි කළමනාකරණය කළ යුතු යි. වී වගාවට අවශ්‍ය සහතික බීජ වීවල හිඟයක් තිබෙනවා. දැනට 16%ක් සපයන එක 25% දක්වා ඉහළ දමා හොඳ ප්‍රභේද බිහි කළ යුතු යි.

    නවීන තාක්ෂණ ක්‍රම භාවිත කරන්න

    නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන නෙදර්ලන්තයේ මෙන් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගත යුතු යි. ඒ වෙනුවෙන් පොහොර සහනාධාරය ප්‍රමාණවත්ව වේලාවට ලබා දිය යුතු යි. සත්‍ය කතා කළොත් පොහොර සහනාධාරයට ලබා දෙන මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නැහැ. මෙට්‍රික් ටොන් 350000ක ගබඩා පහසුකම් තිබුණත් රාජ්‍ය ක්ෂේත්‍රය තුළ ද ගබඩා පහසුකම් වැඩි කළ යුතු යි.


    අලි මිනිස් ගැටුමට විසදුම් අවශ්‍ය යි

    ඊට අමතරව වන අලි මිනිස් ගැටුමට විසදුම් දිය යුතු යි. මේ ගැටුමට විසදුම් ලබා දී වගා හානි, ජීවිත හානි සහ දේපළ හානි අවම කිරීමේ හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි. සමස්ත කෘෂිකර්මාන්ත චක්‍රය තුළ විවිධ අවස්ථාවල දී නිෂ්පාදනයේ සිට අලෙවිය දක්වා සැලසුම් සහගත වැඩපිළිවෙළක්, ජාතික වගා සැලසුමක් සහ ජාතික කෘෂිකාර්මික සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු යි.''

     

     

    The leader.lk

  • පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා - අමාත්‍ය කුමාර ජයකොඩි

    රජය විසින් ගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.



    අමාත්‍යවරයා පැවසුවේ කෙසේ නමුත් එම ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට මතුවන ගැටලු මානුෂිකව සලකා බලා ඒවා විසඳීමට ගත හැකි සියලු පියවරද ගන්නා බවය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල හියාර ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවෝට් 05ක සූර්යබලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ 04) එක්වෙමිනි.

    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවක් සහ ජාතික වැඩපිළිවෙළේ කොටසක් වන බවත් සියල්ලන් වටහා ගත යුතු බවත්ය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා,

    “ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙළත් ඒ වගේ තමයි. විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සහතික කරන එක රජයේ ප්‍රතිපත්තිය බවට පත්කරගත්ත රජයක් මේ තියෙන්නේ. සේවක අයිතිවාසිකම් වරප්‍රසාද රකිමින් හැකි සෑම විටම වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ජා කරමින් ඉතාම සද්භාවයෙන් හා විවෘතව ඒ වැඩපිළිවෙල අපි දියත් කළා. රටේ බලශක්ති ක්ෂ්‍රේත්‍රයේ අරමුණු දිනාගන්න නම් ඔය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ වැඩපිළිවෙලත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.”

     

    Screenshot 2025 10 05 132719

  • පූර්ණ ජන්ද්‍රග්‍රහණයක් හෙට

    හෙට (07) රාත්‍රී 08ග30 සිට අලුයම  2.30 සක්වා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව හිමි වෙයි.

    මෙවැනි චන්ද්‍රග්‍රයණයක් මෙරට ජනතාවට දැක බලාගැනීමට හැකිවන්නේ වසර 06 කට පසුව බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පවසන ලදී.

     

     

    Vinivida.lk

  • පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට

    පෞරාණික වටිනාකමකින් යුතු බුද්ධ ප්‍රතිමාවක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න