Language Switcher

V2025

බ්‍රික්ස් මුදල් ඒකකය සහ ඇමරිකන් ඩොලරය !

අලුත් අදහසක් නොවුනත්, බ්‍රික්ස් රටවල් පහ එකතු වෙලා ජාත්‍යන්තර මුදල් ඒකකයක් හදන කතාව නැවතත් උඩට ඇවිත් තිබෙනවා. මේ විදිහට අලුත් මුදල් ඒකකයක් හදන්න යන්නේ ඇමරිකන් ඩොලරයට විකල්පයක් ලෙසයි.

මෙය ඩොලරයට විකල්ප හැදීමට දරා තිබෙන එකම හෝ පළමු උත්සාහය නෙමෙයි. මීට පෙර මේ විදිහට යෝජනා කළ ඇතැම් විකල්ප පසුව සැබෑ විකල්ප බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරින්, සාර්ථකම විකල්පය යුරෝව කියා කියන්න පුළුවන්. බිට්කොයින් වල සිට පසු ගිය වසර කිහිපය තුළ නිර්මාණය කරනු ලැබ ඇති ක්‍රිප්ටෝ මුදල් ඒකක සියල්ලම වගේත් ඩොලරයට විකල්ප ලෙස මතු වී ඇති මුදල් ඒකක ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉහත මුදල් ඒකක වලට අමතරව ඇමරිකාව ඇතුළේම ඩොලරයට විකල්ප ලෙස භාවිතා වන මුදල් ඒකක විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගැන ඇමරිකාවෙන් පිටත ලොකු සාකච්ඡාවක් සිදු වෙන්නේ නැහැ. මෙවැනි විකල්ප ගණනාවක් තිබුණත් ඇමරිකන් ඩොලරයට තිබෙන ප්‍රමුඛ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා.

ඇමරිකන් ඩොලරයට පෙර ලෝකයේ ප්‍රමුඛ මුදල් ඒකකය වුනේ බ්‍රිතාන්‍ය පවුමයි. ආසන්න වශයෙන් දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙන් පසුව ක්‍රමයෙන් බ්‍රිතාන්‍ය පවුම වෙනුවට ඇමරිකන් ඩොලරය ආදේශ වී ඩොලරය මුල් තැනට පැමිණියා. මේ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා.

ලෝකයේ මහ බැංකු වල විදේශ වත්කම් වලින් 58%ක් පමණ තවමත් ඇමරිකන් ඩොලර්. කලකට පෙර මෙම ප්‍රතිශතය 70% වැනි මට්ටමක තිබුණා. සංචිත මුදල් ඒකකයක් ලෙස ඇමරිකන් ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකක ආදේශ වෙමින් ඇතත්, ඇමරිකන් ඩොලරයට තිබුණු ප්‍රමුඛ ස්ථානය තවමත් එලෙසම තිබෙනවා.

ජාත්‍යන්තර ගනුදෙනු වලින් අඩකට වඩා තවමත් සිදු වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. මේ ගනුදෙනු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වන්නේ ඇමරිකාවෙන් පිටතදී වෙනත් රටවල් දෙකක් අතරයි. බැඳුම්කර ඇතුළු ජාත්‍යන්තර ණය ගනුදෙනු වලින් අඩකට වඩා සිදු වන්නේද ඇමරිකන් ඩොලර් වලින්. විදේශ විණිමය හුවමාරු ගනුදෙනු වලින් 90%ක පමණදීම ගනුදෙනුවේ එක පැත්තක් ඇමරිකන් ඩොලර්.

පහතින් තිබෙන්නේ 2022 වසර අවසන් වන විට ලෝකයේ මහ බැංකු වල විදෙස් සංචිත ලෙස පවත්වා ගත් ප්‍රධාන මුදල් ඒකක වල ප්‍රමාණයි.

මුළු සංචිත ප්‍රමාණය - ඩොලර් බිලියන 11,089.0 (100.0%)
ඇමරිකන් ඩොලර් - ඩොලර් බිලියන 6,471.3 (58.4%)
යුරෝ - ඩොලර් බිලියන 2,270.4 (20.5%)
ජපාන යෙන් - ඩොලර් බිලියන 610.9 (5.5%)
බ්‍රිතාන්‍ය පවුම් - ඩොලර් බිලියන 548.7 (4.9%)
චීන යුවාන් - ඩොලර් බිලියන 298.4 (2.7%)
කැනේඩියානු ඩොලර් - ඩොලර් බිලියන 263.7 (2.4%)
ඕස්ට්‍රේලියන් ඩොලර් - ඩොලර් බිලියන 217.5 (2.0%)
ස්විස් ෆ්‍රෑන්ක් - ඩොලර් බිලියන 25.3 (0.2%)
වෙනත් - ඩොලර් බිලියන 382.9 (3.5%)

මෙම සංයුතියෙහි දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය නියෝජනය කරන චීනයේ මුදල් ඒකකයට තිබෙන සාපේක්ෂව අඩු ජාත්‍යන්තර පිළිගැනීමයි. මේ පිළිබඳව චීනයට ඇති කණස්සල්ල තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි. බ්‍රික්ස් මුදල් ඒකක යෝජනාව හරහා ප්‍රධාන වශයෙන්ම මතු වන්නේ මෙම කණස්සල්ලයි.

එක්සත් රාජධානියට වඩා විශාල ආර්ථිකයක් තිබෙන ඉන්දියාවට මෙන්ම, ඕස්ට්‍රේලියාවට වඩා විශාල ආර්ථිකයන් නියෝජනය කරන රුසියාවට හා බ්‍රසීලයටද මෙවැනිම කණස්සලක් නොතිබෙන්නට හේතුවක් නැහැ. බ්‍රික්ස් කණ්ඩායම සමඟ සිටින දකුණු අප්‍රිකාවේ ආර්ථිකයනම් ඉහත රටවල් හතරේ ආර්ථිකයන්ට සාපේක්ෂව එතරම් විශාල නැහැ.

කිසියම් රටක මුදල් ඒකකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීමෙන් අදාළ රටට වාසි ගණනාවක් ලැබෙනවා. ඒ අතරින් ප්‍රධාන වාසිය ආයෝජන ගලා ඒම හරහා මුදල් ඒකකයට ඇති වන ඉල්ලුම නිසා පොලී අනුපාතික ඉතා අඩු මට්ටමක පවත්වා ගනිමින් ණය ලබා ගන්නට හැකි වීමයි. දෙවන වාසිය විදේශ ණය වුවද තමන්ගේ මුදල් ඒකකයෙන්ම ලබාගත හැකි නිසා විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු නොවීමයි.

ඉහත වාසි තිබුණත්, මෙහි අවාසිද තිබෙනවා. ප්‍රධානම අවාසිය තමන්ගේ මුදල් ඒකකය ඕනෑවට වඩා ශක්තිමත් වීම නිසා අපනයන තරඟකාරීත්වය පවත්වාගත නොහැකි වීමෙන් දිගින් දිගටම පවතින වෙළඳ ශේෂ හිඟයක් ඇති වීමයි. කාලයක සිට දිගටම පවතින ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය මගින් පෙන්නුම් කරන්නේ මෙම අවාසියයි.

එකම හේතුව නොවුනත්, ඇමරිකන් ඩොලරයට තිබෙන පිළිගැනීම පසුපස ඇති ප්‍රධානම සාධකය ඇමරිකානු ආර්ථිකයයි. ඇමරිකානු ආර්ථිකය බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ප්‍රමුඛ ලෝක ආර්ථිකය බවට පත් වීමත්, ඇමරිකන් ඩොලරය බ්‍රිතාන්‍ය පවුම අභිබවා ප්‍රමුඛ මුදල් ඒකකය වීමත් සමාන්තරව සිදු වූ සිදුවීම් දෙකක්.

චීන ආර්ථිකය තවමත් ඇමරිකන් ආර්ථිකයට වඩා කුඩා වුවත්, බ්‍රික්ස් රටවල් පහේ ආර්ථිකයන් සියල්ල එකතු කළ විට ඇමරිකන් ආර්ථිකයට වඩා විශාලයි. ඒ වගේම, චීන ආර්ථිකය පමණක් වුවද යුරෝපීය සංගමයේ රටවල් සියල්ලේම ආර්ථිකයන්ට වඩා විශාලයි. පහත තිබෙන්නේ 2021 තත්ත්වයයි.

චීනය - ඩොලර් බිලියන 17,734යි
ඉන්දියාව - ඩොලර් බිලියන 3,176යි
රුසියාව - ඩොලර් බිලියන 1,779යි
බ්‍රසීලය - ඩොලර් බිලියන 1,609යි
දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 419යි
බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 24,717යි
ලෝක ආර්ථිකයේ පංගුව - 25.6%යි

ඇමරිකන් ආර්ථිකය - ඩොලර් බිලියන 23,315යි
ලෝක ආර්ථිකයේ පංගුව - 24.2%යි

යුරෝපීය සංගමයේ ආර්ථිකය - ඩොලර් බිලියන 17,177යි.
ලෝක ආර්ථිකයේ පංගුව - 17.8%යි

එසේනම් බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හැදුවොත් ඩොලරය කඩා වැටෙයිද? අඩු වශයෙන් යුරෝවෙන් ඩොලරයට ආ තරමේ තරඟයක් ඇති වෙයිද?

බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හදා ගත්තා කියා මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩක් නැහැ. ඊට ප්‍රධානම හේතුව මෙවැන්නක් "නොගැලපෙන රෝද" එකතු කර හදන කරත්තයක් වීමයි. මෙය යුරෝව හදද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

යුරෝව හදද්දී වගේම දැනටත් යුරෝපීය රටවල් අතර වෙළඳාමෙන් විශාල පංගුවක් එම රටවල් අතරම සිදු වූ වෙළඳාමයි. යුරෝපීය රටවල් අතර වෙළඳාම සඳහා ඇමරිකන් ඩොලරය වැනි කොහේවත් තිබෙන මුදල් ඒකකයක් යොදා ගැනීමට විශේෂ හේතුවක් තිබුණේ නැහැ. මේ කතාව බ්‍රික්ස් රටවල් වලටද වලංගු වුවත්, එම රටවල් අතර සිදු වන වෙළඳාමේ පරිමාව ඉතා කුඩා එකක්. පහත තිබෙන්නේ 2021දී එක් එක් බ්‍රික්ස් රට විසින් අනෙකුත් රටවල් හතරට සිදු කළ අපනයන ප්‍රමාණයේ වටිනාකමයි.

චීනය - ඩොලර් බිලියන 239.8යි
ඉන්දියාව - ඩොලර් බිලියන 38.6යි
රුසියාව - ඩොලර් බිලියන 83.4යි
බ්‍රසීලය - ඩොලර් බිලියන 95.5යි
දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 18.7යි
බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 476.0යි
ලෝක වෙළඳාමේ පංගුව - 2.1%යි

මේ අනුව, බ්‍රික්ස් රටවල් එකතු වී අලුත් මුදල් ඒකකයක් හදාගෙන එම රටවල් අතර සිදුවන ගනුදෙනු 100%ක්ම එම අලුත් මුදල් ඒකකයෙන් කළත්, එම ගනුදෙනු සියල්ල ලෝක වෙළඳාමෙන් 2.1% පමණයි. මීට සාපේක්ෂව ඇමරිකාවේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඩොලර් බිලියන 4,686.1ක් හෙවත් ලෝක වෙළඳාමෙන් 21.0%ක් තරම් විශාලයි. ඒ වගේම, බ්‍රික්ස් රටවල් පහ ඇමරිකාව සමඟ කරන වෙළඳාම පමණක්ම වුවත් බ්‍රික්ස් රටවල් අතර සිදුවන වෙළඳාම මෙන් දෙගුණයක් හෙවත් ලෝක වෙළඳාමෙන් 4.2%ක්.

බ්‍රික්ස් රටවල් පහේ දළ දේශීය නිෂ්පාදිත එකතුවෙන් 71.7%ක්ම චීනයේ දළ දේශීය නිෂ්පාදිතයයි. එමෙන්ම, මෙම රටවල් අතර වෙළඳාමෙන් 91.0%ක්ම සිදු වන්නේ චීනය සමඟයි. චීනය හැර අනෙක් රටවල් අතර සිදු වන වෙළඳාම මුළු බ්‍රික්ස් වෙළඳාමෙන් 9.0%ක් පමණයි. ඒ නිසා, කිසියම් සූත්‍රයකට අනුව මෙම රටවල් පහේ මුදල් ඒකක සම්බන්ධ කරමින් අලුත් මුදල් ඒකකයක් හැදුවත්, එහි වටිනාකම බොහෝ දුරට තීරණය වන්නේ චීන යුවානයේ වටිනාකම මතයි. අනෙක් මුදල් ඒකක වලට තිබිය හැක්කේ නාමික බලපෑමක් පමණයි. ඒ නිසා, මෙවැනි මුදල් ඒකකයක් හඳුන්වා දීම යනු ප්‍රායෝගිකව චීන යුවානය ජනප්‍රිය කරවීමකට වඩා වැඩි දෙයක් නෙමෙයි.

චීන යුවානය සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය නොවීමට ප්‍රධානම බාධාව වන්නේද චීනයමයි. මෙය අනෙක් බ්‍රික්ස් රට වල මුදල් ඒකක වලටද අදාළ කරුණක්. බ්‍රික්ස් රටවල් කිසිවක ප්‍රාග්ධන ගිණුම් විවෘත නැහැ. එයට සාපේක්ෂව ජනප්‍රිය මුදල් ඒකක හිමි අනෙකුත් රටවල ප්‍රාග්ධන ගිණුම් විවෘතයි. සංවෘත ප්‍රාග්ධන ගිණුමක් ඇති රටක මුදල් ඒකකයක මිලෙන් එහි නියම මිල නිරූපණය වන්නේ නැහැ. ඒ නිසාම, එවැනි මුදලකට සංචිත මුදල් ඒකකයක් ලෙස විශ්වාසය ගොඩ නගා ගැනීමේ හැකියාවක්ද නැහැ.

චීනය කවර හෝ දිනක ප්‍රාග්ධන ගිණුම විවෘත කළහොත් චීනය වෙත බාහිර ප්‍රාග්ධනය ගලා ඇවිත් චීන යුවානය ශක්තිමත් වෙනවා. චීන යුවානය ඩොලරය සමඟ පහසුවෙන් තරඟ කළ හැකි සංචිත මුදල් ඒකකයක් බවට පත් වෙනවා. එහෙත්, ඒ සමඟම චීනයේ අපනයන තරඟකාරීත්වයද නැති වෙනවා. අපනයන මුල් කරගත් චීනයේ ආර්ථික වර්ධනයද මන්දගාමී වෙනවා.

චීනය හෝ අනෙකුත් කිසිදු බ්‍රික්ස් රටක් මෙම අත්‍යවශ්‍ය පියවර තබන්නට සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, චීන යුවානය හෝ අලුතෙන් හදා ගන්නා බ්‍රික්ස් මුදල් ඒකකයක් සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය වීමේ ලොකු ඉඩක් නැහැ. එසේ ජනප්‍රිය වීමම එක්තරා ආකාරයකින් චීනය විසින් ආර්ථික අර්බුදයකට පාර කපා ගැනීමක්.

ප්‍රාග්ධන ගිණුම විවෘතව නොතිබීමට අමතරව චීන ව්‍යවසාය මත චීන රජයේ මැදිහත්වීම්ද යුවානය ජනප්‍රිය කරවීමට තිබෙන විශාල බාධාවක්. චීන රජයට අවශ්‍ය විටෙක යුවානයේ වටිනාකම මෙන්ම චීනයේ ඇති යුවාන් වත්කම් වල වටිනාකම්ද විශාල ලෙස වෙනස් වන ආකාරයේ බලපෑමක් කළ හැකියි. මෙම අවදානම හමුවේ යුවානය කෙරෙහි බාහිර විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ.

කෙසේ වුවත්, ඩොලරයේ ලෝක අධිපත්‍යයෙහි ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා. ප්‍රධානම ප්‍රශ්නය ඇමරිකාවේ දේශපාලන අධිකාරිය විසින් ඩොලරය දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීමයි. ඩොලරය ලෝකයේ වඩාත්ම විශ්වාසනීය මුදල් ඒකකය බවට පත් වී තිබෙන්නේ ඇමරිකන් ආර්ථිකයේ ශක්තිය මත පදනම්ව මිස ඇමරිකන් දේශපාලන අධිකාරයේ බලපෑම් නිසා නෙමෙයි. එහෙත්, දේශපාලන අරමුණු මත ඇමරිකන් රජය විසින් වරින් වර විවිධ රටවලට සම්බාධක පමුණුවද්දී සිදුවන්නේ ඩොලරය පිළිබඳව ගොඩ නැගී ඇති මෙම විශ්වාසනීයත්වය බිඳ වැටීමයි.

ඇමරිකාවේ භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඇමරිකානු රජය විසින් ඩොලරයේ ශක්තිය දේශපාලන අවියක් සේ යොදා ගැනීම පිළිබඳව ඔබාමා, ට්‍රම්ප් මෙන්ම බයිඩන් පරිපාලනයටද අනතුරු අඟවා ඇතත්, වෙනත් රටවල මෙන්ම ඇමරිකාවේද දේශපාලන තීරණ වලදී වැඩි අවධානයක් යොමු වන්නේ කෙටිකාලීන ඉලක්ක වලටයි. බ්‍රික්ස් මුදල් ඒකකයක් හැදීම වැනි යෝජනා එන්නේ මෙවැනි හේතු නිසායි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි