Language Switcher

V2025

හෙක්ටයාර් 1 කට - රුපියල් ලක්ෂයයි : ගොවි රක්ෂණය ක්‍රියාත්මකයි !

ගොවි ජනතාවට  කෘෂි රක්ෂණය නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙල ඊයේ (28)  හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.

ඒ බව සංකේතවත් කරමින්  ගොවි මහතුන් 25දෙනෙකුට අමාත්‍යවරයා අතින් කෘෂිරක්ෂණාවරණ සහතිකපත් ලබාදී ඇත.

මින් පෙර කෘෂි රක්ෂණාවරණය ලබා ගැනීමට ගොවීන් විසින් වගා කන්නයකට රු.1375ක මුදලක්, සාමාජික ගාස්තු වශයෙන් ගෙවිය යුතුව තිබිණි. නමුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීමක් පරිදි එම වාරික ගෙවීම අත්හිටුවා කෘෂි රක්ෂණාවරණය සඳහා වන සියලුම සාමාජික මුදල් ගෙවීම, රජය විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව වී, බී ලූනු, බඩඉරිඟු, මිරිස්, අර්තාපල් යන බෝග වර්ග පහ වගා කරන ගොවීන්ට මෙම රක්ෂාණාවරණය හිමි වේ. 

ඔවුන්ට වගා හානියක දී හෙක්ටයාර් 01 ක් සඳහා රු.ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පිරිනැමේ. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට 2018 වසර සඳහා වෙන්කර ඇති මුදල රු.මි. 5228කි. රජය විසින් ඉදිරි සෑම වර්ෂයකදී ම මීට සමාන මුදලක් කෘෂි රක්ෂණාවරණය නොමිලයේ ලබා දීම සඳහා වෙන්කිරීමට පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් පලකළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  කියා සිටියේ , ගොවීන්ට දැන් බයක් නැතිව වගා කිරීමට හැකිබවය. ගොවීන් විසින් වගා කරන ප්‍රධාන බෝග පහක් වන වී, මිරිස්, බී ලූනු, බඩඉරිඟු සහ අර්තාපල් වගා කිරීමේ දී, ඔවුන්ට අස්වනු හානියක් සිදු වුවහොත්, රජය විසින් ගොවීන්ගෙන් කිසිදු මුදලක් අය නොකළ රක්ෂණ වන්දි ලබා දෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙල ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද වැඩපිළිවෙලක් බව කී අමාත්‍යවරයා, වත්මන් යහපාලන රජය යටතේ ජනතා සුබ සිද්ධිය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලවල් රැසක් තිබෙන අතර, මෙම වැඩසටහන ගොවි ජනතාව උදෙසා ක්‍රියාත්මක කිරීමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රමුඛ රජය විසින් ගන්නා ලද තීරණයක් පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ද කියා සිටියේ ය.

මෙවර යල කන්නය රට පුරාම හොඳින් වර්ෂාව ලැබී ඇති නිසා ගොවිතැනටත් ඉතා සාර්ථක වනු ඇති බව නිසැක බව සඳහන් කළ අමාත්‍යවරයා හම්බන්තොට ගොවි ජනතාව වැව් යටතේ තිබෙන කුඹුරුවලින් 100% ක්ම වී වගාව කරනු ඇතිබව ද සඳහන් කළේ ය.