Language Switcher

V2025

රජය හදිසියේ තෙල් මිල වැඩි කළේ ඇයි ?  විපුල කරුණාතිලක (වීඩියෝ)

''සාමාන්‍යයෙන් මේක ලංකාවේ බදු ප්‍රතිපත්තිය හා බැඳුනු කාරණයක්. මොකද ලංකාවේ රාජ්‍ය ආදායමෙන් %86 ක් දැනටත් ලැබෙන්නේ වක්‍ර බදු මාර්ගයෙන්. සෘජු බදු මාර්ගයෙන් දැනට ලැබෙන්නේ %14 යි. සාමාන්‍යයෙන් දියුණු රටක මේක %40 ක් ලැබෙනවා සෘජු බදු මගින්.

සෘජු බදු වැඩි කිරීමට ආණ්ඩුව බදු පනතක් ගෙනාවා.  ඒ බදු පනත අපේක්ෂා කළේ ඒ සෘජු බදු ආදායම වැඩි කර ගන්න. නමුත් මේ වර්ෂයෙත් ඒ අපේක්ෂිත බදු ආදායම ලබාගැනීමට රටේ වෘත්තිකයන් සහ අනිත් අය ඒ සහයෝගය දැක්වුවේ නැහැ. (වැඩි ආදායම් ලාභීන්). එතකොට සිදුවන දෙයක් තමයි රටක පොදු සේවා පවත්වාගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට බදු අය කරගැනීමට සිදුවෙනවා. එම නිසා රජය සෘජු බදු නොලබන නිසා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා මත තමයි මේ බදු පටවලා තියෙන්නේ. දැන් ගත්තොත් එහෙම දුරකථන වෙන්න පුළුවන් පෙට්‍රෝලියම් වෙන්න පුලුවන්. ඒ මත බදු පටවන්නේ සෘජු බදු ගෙවන ප්‍රමාණය අඩු වීම නිසා.

දැන් අපි දැක්කා විපක්ෂය සමහර කණ්ඩායම් විසින් කියනවා ඒගොල්ලො ආවොත් වක්‍ර බදු වැඩි කරලා සෘජු බදු අඩු කරනවා කියලා. මොකද ඒගොල්ලො කියනවා ආදායම් බදු ගන්නේ නැහැ කියලා. ඒක එහෙම කරන්න බැහැ. මොකද සෘජු බදු අයකරන්නේ වැඩි ආදායම් ලාභීන්ගෙන්.
දැන් අපි ගත්තොත් පෙට්‍රෝලියම්වලට රටවල් බදු අයකරන්නේ ඒගොල්ලෝ සමස්ථ ජෛව ගෝලයට එකතු කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩී. එතකොට ඒක පාවිච්චි කරනවා නම් වැඩියෙන් බදු අය කළ යුතුයි. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ තමයි මම හිතන්නේ ලෝකේ අඩුම පෙට්‍රෝලියම් මිල තියෙන්නේ. මොකද මේ පෙට්‍රෝලියම් සම්බන්ධවෙලා තියෙන්නේ දේශපාලන කාරණයක් එක්ක සහ සෘජුවම සාමාන්‍ය දුප්පත් ජනයාට සේවය කිරීමේ ප්‍රතිපත්තියක ආණ්ඩුව ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පෙට්‍රෝලියම් සඳහා මීට වඩා බද්දක් අය කළ යුතුයි.

සමහර බදු අය කිරීමේ පරමාර්ථ විදිහට තියෙනවා පරිභෝජනය අවම කිරීම. දැන් අද කොළඹ නගරය ගත්තොත් කොළඹ නගරයේ පොදු වාහනවල නෙවෙයි ගොඩක් අය එන්නේ පෞද්ගලික වාහනවල. ඒ පෞද්ගලික වාහනවල එන්න පහුගිය අවුරුදු දෙක තුන තුළ බලපෑව ප්‍රධාන කාරණයක් වුණෙත් මේ පෙට්‍රෝලියම් මිල අඩු වීම. ඒක නිසා ආණ්ඩුව මේක මේ වෙලාවේ ගත්ත වැදගත් තීන්දුවක් හැටියට තමයි මම දකින්නේ. මොකද මේ පෙට්‍රෝලියම්වලින් ගන්නා බදු මගින් පාරවල් හදන්න පුළුවන් පාරවල් නඩත්තු කරන්න පුළුවන්. මොකද කාරෙකක එන කෙනෙක් වැය කරනවාට වඩා අඩු මුදලක් තමයි බස් එකක එන කෙනෙක් වැය කරන්නේ. බස් එකක නම් සීයක් විතර එනවා. කාරෙකක එක්කෙනෙක් එනවා හැබැයි මාර්ගය ක්ෂය වන ප්‍රමාණය ගත්තොත් කාරෙකක එන කෙනා රජයට වැඩි පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා පෙට්‍රෝලියම් මිල වැඩි කිරීම මේ අවස්ථාවේ ආණ්ඩුව ගත් ඉතාම දූරදර්ශී පියවරක් විදිහට තමයි අපි දකින්නේ.