Language Switcher

V2025

මධ්‍යම අධිවේගයේ අදියරකට : චීනයෙන් ඩො. මිලියන 989ක සහන ණයක් !

ආර්ථික සංවර්ධනය සඳහා සෘජු දායකත්වයන් සැපයීම මෙන්ම විවිධ ආර්ථික අංශයන්හි ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය නැංවීම හරහා වක්‍රාකාර ප්‍රතිඵලයන් ද ඇති කරන බැවින් අන්තර් සම්බන්ධතාවයන් සහිත අධිවේගී මාර්ග ජාලය ද ඇතුළුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉහළ වැදගත්කමක් ලබා දී තිබේ.

දැනට පවතින අධිවේගී මාර්ග ජාලයට ඌන පූර්ණයක් වශයෙන් කොළඹ නගරය, කුරුණෑගල සහ මහනුවර නගරයන් සමග සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යෝජනා වී තිබේ.

කඩවත අන්තර් හුවමාරුව මගින් පිටත වටරවුම් අධිවේගී මාර්ගය අදියර 11 හා අදියර 111, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගය යන අධිවේගී මාර්ග හතර සම්බන්ධ වන කඩවත නගරයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ආරම්භ වේ. ආර්ථික වශයෙන් වැදගත් වන වරාය, ගුවන්තොටුපළ හා වාණිජමය නගර සහ විවිධ පළාත් සම්බන්ධ කරමින් හම්බන්තොට සිට කටුනායක හෝ හම්බන්තොට සිට නුවර දක්වා වන නොබිඳුනු සම්බන්ධතාවයක් මෙමගින් නිර්මාණය කරනු ඇත. සමස්ථ අධිවේගී මාර්ග ජාලයෙහි අන්තර් පළාත් සම්බන්ධතාවය හා කාර්යක්ෂමතාවය මෙම යෝජිත අධිවේගී මාර්ගය මගින් වැඩිදියුණු කරනු ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයෙහි මූල්‍යමය සහයෝගීතාවය ශක්තිමත් කරමින්, කඩවත සිට මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි පළමු අදියර සඳහා කොන්ත්‍රාත් මුදලින් 85%ක් ආවරණය වන පරිදි ඇ. එ. ජ. ඩො. මිලියන 989ක් වන සහනදායී ණය මුදලක් ලබා දීමට චීන අපනයන ආනයන බැංකුව එකඟ වී ඇත. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු වියදම (පිරිවැය) ඇ. එ. ජ. ඩො. මිලියන 1,164කි. තවදුරටත්, මෙම ණය මුදල චීන අපනයන ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද විශාලතම තනි ණය මුදල වේ.

දේශීය වාණිජ බැංකුවල මූල්‍යමය දායකත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇති බැවින්, චීන අපනයන ආනයන බැංකුව මඟින් ලබා දෙනු ලබන මෙම ණය පහසුකම කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග ඡාලයෙහි සම්බන්ධතාවය තහවුරු කරමින් කඩවත සිට මීරිගම දක්වා වන කොටස වේගවත්ව ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසනු ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සහ චීන අපනයන ආනයන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති, ගරු චෙනග් ෂුයුආන් (H E Cheng Xueyuan) විසින් 2019 මාර්තු මස 22 වන දින කොළඹ 01, මුදල් අමාත්‍යාංශයේදී ණය ගිවිසුම අත්සන් තබන ලදී.