Language Switcher

V2025

පසුගිය වසරේ ව්‍යාපෘති වෙනුවෙන් රු.බිලියන 84ක් ගෙවා අවසන් !

රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් සඳහා 2018 දෙසැම්බර් 31 වනවිට ගෙවිය යුතුව තිබූ රු. මිලියන 84,461 ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් අදාළ අංශ වෙත ගෙවා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනයේ මෙසේද දැක්වෙයි.

2018 දෙසැම්බර් 31 වනවිට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හා අනෙකුත් ගෙවීම් සඳහා රු. මිලියන 99,415 ක බිල් පවත්නා බව මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී තිබුණි. එයින් 85% ක් මේ වනවිට ගෙවා ඇති අතර, ඉතිරි ගෙවීම් වලට අදාළ අඩුපාඩු පවතින බැවින් ඒවා නිරවුල් කළ වහාම එම මුදල්ද ගෙවීමට කටයුතු කරන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.

රජයේ අමාත්‍යාංශ හා විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද කොන්ත්‍රාත්, ඉදිකිරීම් හා ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් ගෙවිය යුතු මුදල් පිළිබඳ ඉල්ලීම් සෑම වසරකම දෙසැම්බර් මස අවසන් වනවිට ලැබූවිට එම මුදල් එළඹෙන වසරේ මුල් මාස 3 – 4 ක් ඇතුළත ගෙවීම් කිරීම 2015 වසරේ සිට අඛණ්ඩව සිදුවෙමින් පවතී.

එහෙත්, 2018 වසරේ අවසාන කාර්තුවේ අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවූ හෙයින් නියමිත පරිදි මෙම හිඟ මුදල් ගෙවීමේ ප්‍රමාදයක් විය. එමෙන්ම 2019 සඳහා වන අයවැය 2018 වසරේදී සම්මත කරගැනීමටද නොහැකි විය. 2019 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම මේ වසරේ අප්‍රේල් 05 දක්වා ප්‍රමාද විය. මේ හේතුවෙන් 2018 වසරේ අවසාන වන විට ගෙවිය යුතු මුදල් පෙර වසර වලට වඩා විශාල ප්‍රමාණයෙන් එක්රැස් විය. ඒ අනුව 2018 වසර සඳහා ගෙවිය යුතුව තිබූ හිඟ මුදල් නිරවුල් කිරීම ප්‍රමාද වීමට මෙයද බලපෑවේය.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් කටයුතු සම්පාදනය කරමින් තිබෙන බැවින් 2015 වසරේද ආරම්භ කළ පරිදි යළිත් මෙම වසරේ සිට රජයේ සියලු ප්‍රසම්පාදන කටයුතු සඳහා ගෙවිය යුතු සියලු ගෙවීම් අදාළ ව්‍යාපෘතිය නිමවීමත් සමග ගෙවීමට හැකි වනු ඇත.