Language Switcher

V2025

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ.

ඊයේ(01) ඒ මහතා අභාවප්‍රාප්තවන විට 73 වැනි වියේ පසුවිය.

දකුණු කළුතර උපත ලද ආනන්ද ගමගේ හැදී වැඩී පාසැල් අධ්‍යාපනය නිමකලේද හලාවත මාදම්පේ ග්‍රාමයේය. කරුක්කුව සුගතානන්ද මහ විදුහල සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය ඔහු උගත් පාසැල් විය . ඔහුගේ ප්‍රථම සංගීත ගුරුවරුන් වූයේ විශාරද ඩබ්.ජේ. විමලසිරි සහ විශාරද බී.වික්ටර් පෙරේරා යන මහත්වරුන්‍ ය.

ගුවන් විදුලියේ නැවුම් මිහිර නැමැති වැඩසටහන සඳහා කේ.ඩී.කේ.ධර්මවර්ධන විසින් පද රචිතව ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කරන ලද ,
” ඔබේ සිහින කුමුදු විලට සුවදෙන සඳරැස මා බව

මතකයි ඔබෙ හැඩ අකුරින් ලියා එවා තිබුනා ”

ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූවද ඔහු මතු ගායකයෙකු නොවීය.

වයලීන වාදනයේ ප්‍රවීණයෙකු වු ඔහු පසු කලෙක විශාල ගීත සංඛාවක් සඳහා වාදකයෙකු ලෙස සහභාගි විය.

හිම කබාය වේදීකා නාට්‍ය තුලින් සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු ,පසුව සංගීත ගුරුවරයෙකු වී ගල්මුරුව හේරත් ගුණරත්න මහා විදුහලට ප්‍රථම පත්වීම ලැබීය.

ඔහුගේ මුල්ම ගීත නිර්මාණ අඩංගු ගී තැටිය වූයේ සිල්වලයින් ලේබලය යටතේ නිකුත් වූ මැණික් කුරුකුලසූරිය ගැයූ ගී හතරක් සහිත “එනතුරා ” ඊපි තැටියයි.

කලකදී ගිරාගම සෞන්දර්ය ගුරු අභ්‍යාස විද්‍යාලයේ වසර තුනක පුහුණුවෙන් පසුව , සෞන්දර්ය පුහුණු ගුරුවරයෙකු ලෙස කොළඹ නාලන්දා විදුහලට පත්විය. එකල සමිත රත්ගම ගී ලියා විජය කුමාරතුංග ගායනා කල ගී ඇතුලත් ” තනි යහන ” කැසට් පටය සඳහා ගීත පහක් ඔහු විසින් නිර්මාණය කරන ලදි.
ඔහු තැනූ ගී තනු අතරින් මුලින් ජන ප්‍රසාදයට පාත්‍ර වූයේ ප්‍රනීත් අභයසුන්දර පද රචනා කර විශාරද මාලනී බුලත්සිංහල විසින් ගැයූ ” තාර පාර දිග පාට පාට කඩ ” නැමැති ගීතයයි.

ඉන් අනතුරුව ටෙලි නාට්‍ය හා චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂවරයා වීමේ වරය ඔහු හට හිමිවිය.

ඔහු විසින් සංගීතවත් කල ටෙලි නාට්‍ය අතර,

අඹ යහළුවෝ ( සුදත් දේවප්‍රිය ), කළු කපා එළි( දයාරත්න රටගෙදර ) ඉර බටු තරුව( විජය ධර්මශ්‍රී) , ධවල රාත්‍රිය( සුදත් මහදිවුල්වැව ),සුර අසුර ( බර්මින් ලයිලි ප්‍රනාන්දු ),ගුරු දෙවියෝ ( නීතීඥ මහනාම ද සිල්වා ),ගැහැණු ළමයි( සුමිත්‍රා පීරිස් ),අවසඳ( ආචාර්ය සෝමරත්න දිසානායක ),මහමෙරක්පාමුල (දයාරත්න රටගෙදර), නේත්‍රා මංගල්‍යය(සුමිත් කුමාර ) සුදු කිරි කට්ටිය (නිමල් රත්නායක),දෑකති මුවහත(දයාරත්න රටගෙදර ),කැදැල්ලේ කුරුල්ලෝ(තිස්ස ඩයස්),වැහි දා රෑ(කුමාරසිරි අබේකෝන්) ,දඩ මං සොයා ( සුමිත් කුමාර),මරුවැල (බර්මින් ලයිලි ප්‍රනාන්දු ),හෙට සමුගනිමි(සෝමරත්න රාමනායක ) සත්වෙනි රළ ( සුමිත් කුමාර ) ,මාලතී මල් (බර්මින් ලයිලි ප්‍රනාන්දු )කඩුලු තහංචිය ( දීප්ති විජේතුංග )පුංචි වීරයෝ(චන්න පෙරේරා)කළුවර අඳුන (කවිත්‍රා පනංගල)සුවඳ යහළුවෝ(සිඩ්නි මාකස් ඩයස්)සඳ මද්දහන(බර්මින් ලයිලි ප්‍රනාන්දු )පතොක් පාලම(සුමිත් කුමාර)අපූරූ සහෝදරයෝ(සුමිත් කුමාර)සින්ධූර්(සුමින්ද වීරසිංහ)සඳ නොදුටු සඳ (ජගත් බෙනරගම)ගම තාම සුන්දරයි රේවතී( සුමිත් කුමාර) කුල කුමරිය( බර්මින් ලයිලි ප්‍රනාන්දු )ඒ හීනයට අවසරයි( සුමිත් කුමාර) ඉතිං මට අවසරයි ( සඳුන් රාජකරුණා )ඉතිං අපි කතාකරමු( ප්‍රේම කුමාර ජයවර්ධන )නිදහස් ආවර්ජනා(දයාරත්න රටගෙදර )දෙන්නට දෙන්නා(චරිත් කොතලාවල)අහසින් වැටුනු ගැහැණියක්( එරංග සේනාරත්න )ඉසුරු භවන(ටී.ජී.සුසිරන් ද සිල්වා)එන්න මගේ ප්‍රිය මිතුරෝ(පත්මසිරි ප්‍රනාන්දු )දුටිමි හිරු රැයක(රංජන් ප්‍රසන්න)මායා මන්ත්‍රී(සුමිත් කුමාර)සොඳුරු සිතැත්ති (සුමිත් කුමාර)සඳ එළියක්(සුමිත් කුමාර) යන නිර්මාණ ද විය.

ඔහුගේ තනු නිර්මාණයෙන් ඔපවත්ව ජනප්‍රිය වූ ගීත රැසක් පසුව ජනගත විය.

එකම මගක පියවර මැන යන්නයි..
( පුන්සිරි සොයිසා / ප්‍රේමකීර්ති ද අල්විස් )

කටු අකුලේ මල් ඇහැරේ…
(එඩ්වඩ් ජයකොඩි, ටිලානි අමරසිංහ / බන්දුල නානායක්කාරවසම් )

පාන තියා බුදු සාදුට හිමිදිරියේ..
(දීපිකා ප්‍රියදර්ශනී , ලෙලුම් රත්නායක / බන්දුල නානායක්කාරවසම් )

ඔබයි ඔබේ සිනා පොදයි..
( සරත් වීරසිංහ/ සුදත් දේවප්‍රිය )

වියෝවි මිහිමඬල ඉකි බිඳී..
(චන්ද්‍රිකා සිරිවර්ධන / සුනිල් ආර්. ගමගේ )

අපේ ඒ නරනා..
( රූකාන්ත ගුණතිලක , ප්‍රියා සූරීයසේන/ආචාර්ය අජන්තා රණසිංහ )

ගෙඩි සීයයක් බිම හෙලුවත්..
( විශාරද නන්දා මාලනී / සමන් ප්‍රියදර්ශන )

මට මා හමුවුනා මාද මට හමුවුනා..
( සුනිල් එදිරිසිංහ / බන්දුල නානායක්කාරවසම් )

මල්බර බඹර උදානේ තුරු ලපලු සිනාසේ.
( තිලකසිරි රත්නායක / බන් නානායක්කාරවසම් )

සදලතා තනිව හඬනු එපා ලොවට ඇසේවී
(චන්ද්‍රසේන හෙට්ටිආරච්චි , චන්ද්‍රලේඛා පෙරේරා / බන්දුල ජයසිංහ )

තුන් හෙලේ මහ සඟ රඳාණෙනි..
( සුනිල් එදිරිසිංහ / සමුද්‍ර වෙත්තසිංහ )

විහඟතුඩින් මල් මී පොවන්න..
(තීක්ෂණ අනුරාධ/ ආචාර්ය අජන්තා රණසිංහ )

සඳදිය ගැලුව පුර හඳ වැයුව..
( විශාරද එඩ්වඩ් ජයකොඩි / තුසිත ජයවර්ධන )

ඇතුළු ගීත රාශියක්ම ඔහු විසින් නිර්මාණය කරන ලදි.

ගුරුවරයෙකු , ගුරු උපදේශකවරයෙකු මෙන්ම සංගීත විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙසද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවයට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාදක මණඩලයේ චෙලෝ වාද්‍ය ශිල්පියෙකු ලෙසද සේවය කල ආනන්ද ගමගේ ගුවන් විදුලියේ අධ්‍යපන සේවය , විෂය මාලා සංවර්ධන අංශය හා ජාතික අධ්‍යාපන ආයතනය නිෂ්පාදනය කල විවිධ අධ්‍යාපනික වැඩසටහන් හී සංගීත ශිල්පියා ද විය . රජයේ චිත්‍රපට අංශය මෙන්ම බාහිර නිෂ්පාදකවරුන් විසින් නිමැවූ කෙටි හා වෘත්තාන්ත චිත්‍රපට ද ඒ අතර වේ. විවිධ වෙළඳ දැන්වීම් සඳහා ඔහු විසින් සංගීතය නිර්මාණය කරන ලද ජින්ගල් ගීතද විශාල ප්‍රමාණයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ ව්‍යවහාරික සංගීතය පිළිබඳව බාහිර කතිකාචාර්‍යවරයෙකු සේම ටවල් හෝල් රඟහල පදනම මෙහෙයවනු ලැබූ නාට්‍ය හා රංග කලා උපාධි පාඨමාලාවේ බාහිර කථිකාචාර්ය වරයා වශයෙන් ද සේවය කළේය.

ප්‍රවීණා අනුරංගි, සසංකා උත්පලනි, පුන්සිසි අමායා දියණිවරුන්ගේ පියාණන් වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

(දිනමිණ)