ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න ද අභාවප්‍රාප්ත විය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න ද අභාවප්‍රාප්ත විය

ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්නයන්ද ඊයේ (28) පෙරවරුවේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

එසේම, ඔහුගේ වැඩිමල් පුත් පෙරේදා  (27) දින ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ඇත. 

එල්මෝ ගුණරත්න සිය නිවසේදී මියයන විට 89 වැනි වියේ පසුවිය. ඔහු දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයකු ලෙස සැලකේ.

ලේක්හවුස් ආයතනයේ සේවයට බැදුණු ඒ මහතා එම ආයතනය රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කළේය.

ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කොට ඉල්ලා අස්වූ කිහිප දෙනා අතර එල්මෝ ගුණරත්න ද විය.

තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන්ද කලක් ඒ මහතා සේවය කළේය.

අනතුරුව 1978 යළි ලංකාවට පැමිණි ගුණරත්න එවකට පැවැති ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළේය.

එම ආයතනය මගින් මුද්‍රණය කළ ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වන්නේද එල්මෝ ගුණරත්න ය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්නසිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’ පුවත්පතෙනි.

හෙතෙම ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.

එල්මෝ ගුණරත්න අමාත්‍යාංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය, සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යංශය ඒ අතර වෙයි.

නැසීගිය නන්ද්‍රා ඩයස් ගුණරත්න මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයා වන එල්මෝ ගුණරත්න, දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජීව් ගුණරත්න යන අයගේ පියාණන්ද වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න