චන්දන යනු මෙරටේ කවර අස්සක් මුල්ලක් තුළින් වුව සොයා ගතහැකි සුලභ පුද්ගල නාමයකි. අප පෙර පරම්පරාවේ කිසිදු අම්මෙක් හෝ අප්පෙක්, අලුත උපන් බිලිඳා හට චන්දන යැයි නම් තබන්නට පැකිලුනා යැයි සිතිය නොහේ. එනමුත් තම නම රටට ම හඬගා මම චන්දන (තිලකරත්න) යැයි කියු ඔහු, අද ද මයික්‍රෆෝනය අභියස අභ්‍යාසවෘද්ධ සම්ප්‍රවේශකයෙක් සේ සිටිනු දැක්ම අප සිත් පහන් කරන්නේය. දුහුණන් සිත් ද සමනය කරනු ඇත්තේය. චන්දන යනු සඳුන්ය. එය"සිඳිත මඩිත එක ලෙස සුවඳ පතුරන්නේ යැයි කියන්නේ සුභාශිතයයි. සිසිල යනු ඒ හා සබැඳි තවත් පර්යාය පදයකි. අප කතානායක චන්දන ද (තිලකරත්න) සතියේ සෑම ගුරු දා ම අප වෙත නිබඳව සිසිල ද, සැනසීම ද සදන්නේය. ඒ පත අට එකට කලතා, පෙරා සීරුවෙන් සම්මිශ්රිත බෙහෙත් වඩියක් දෙන්නා සේ නිරූපිත ස්වර්ණවාහිනී 'මාත්‍රා' ව මඟිනි.
උද්ධමනය, මුළුතැන්ගේ ආරක්ෂාව ද, නීතියේ ආධිපත්‍ය ද දැඩිව අනතුරට පත් මෙසමයේ නච්ච,ගීත, වාදිතාදියෙහි නිමග්නව ගිමන් හැරීමේ දොළක් හෝ අවකාශයක් නැති බව මුසාවක් නොවේ. කරුණු එසේ වුව දෙවන ලෝක යුධ සමයේ ලොවම යුධකාමීත්වයේ කරවටක් ගිළුණු යුගයක චාල්ස් ස්පෙන්සර් චැප්ලින් කල කාර්යය කිම? විපතට හා පීඩනයට පත් සත්වග වෙත අපේක්ෂා මාත්‍රයක් දැල්වූවා පමණක් නොවේ. යුධ රමණයේ නීරසත්වය ද කලාත්මකව මෙනෙහි කෙරුමට පෙරට ආයේය. එනයින් වෙන අන් කවරදාටත් වඩා අප විනෝදාස්වාදනයේ තත්පර විය යුතු වන්නෙමු. නැතහොත් බඩජාරි දේශපාලකයන් අහින පිළිබඳ වන පිළිකුල අප ද ආසාධනයට ලක්කරනු ඇත්තේය
චන්දන යනු කවුරුන්ද? දිගු කතාවක් කෙටියෙන් හකුළුවා දක්වන්නේ නම් ඔහු අභිමානවත් ගුවන් විදුලි ශිල්පියෙකි. ගුවන් විදුලියේ මහගෙදර හැඩකල හා පොබකළ අදීන සන්නිවේදක පරපුරේ අවසන් පුරුකේ උද්දීප්ත සොඳුරු පුරකයෙකි ඔහු. චන්දන වැඩසටහන් සම්පාදකයෙකු, සන්නිවේන ආයතන බළධරයෙකු හා ලේඛකයෙකු ලෙස දිගු පරාසයක විහිදෙන හැකියා කදම්භයක් සතු මානවකයෙක් වුව, අද ද ඔහු පිළිබඳ අප මතකය දැල්වෙන්නේ හෙතෙම ඔදවත් හා තෙදවත් ලෙසින් ප්‍රකාශිත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාගත ප්‍රවුර්ති ප්‍රකාශකයෙකු සේය. සම්ප්රදාය ලැදි, භාෂා ශික්ෂණයේ සුහුරු පැරණි ගුවන් විදුලි ශිල්පියා නූතන සන්නිවේදන සයුරේ වුව බුහුටිව පිහිණා යන්නේ යැයි යන්නට දියහැකි ජීවමාන සාක්ෂිය චන්දනයි.
මේ වෑයම චන්දන චරිතාපදානය නිරාවෘත කිරීම නොවේ. මාත්‍රාව පිළිබඳව වූ අප මාත්සර්යය එළිදක්විමටය. රටෙහි කවර අසානාසි සිදුවන්නේ වුවද, ගීතය පිළිබඳව වන සංලාප උදෙසා තම මාහැඟි ගුවන් කාලය වෙන්කොට වෙසෙස් කැපවීමක් කරන ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා අප පැසසුමට ලක්විය යුත්තේය. ඉසිඹු විරහිතව හැල්මේ දිවයන ජවාධික අපගේ දිවිය ගීතයෙන් නවතාලන අපූරුව නොදන්නෝ කවරහුද? අද ද කැළුම් ශ්‍රීමාල්, මහේෂ් නිශ්ශංක, මේකලා වසුන්දරා,වසන්ත කරුණාරත්න, වජිර ජයවර්ධන, ඉනුෂා වීබැද්ද, ජයන්ත චන්ද්‍රසිරි, වසන්ත දුක්ගන්නාරාල, මනුරංග විජේසේකර, චාමිකා වනසිංහ,තනුජා ජයවර්ධන, නාරද බක්මීවැව දිනුෂා වෙත්තසිංහ එවන් ගණයේ අමයුරු සදිසි ගීතාලංකාර විටින්විට අප වෙත විවිධ නාලිකා ඔස්සේ පිරිනමන්නෝය. එකී ගීතාලංකාර ගීත සමුච්ජ අතරේ දිසි නවමු හා අර්ථාන්විත වැඩසටහනක සොඳුරු අඬහැරය චන්දනගේය. වැඩසටහන 'මාත්‍රා' ය.
මාත්‍රා සැකසුම හා එහි පෙළ විමසීමේදී මනාව විශද ප්රමුඛ කරුණක් ඇත්තේය. ඒ ගිරිරාජ් නම් අසහාය චරිතාංග නළුවා හෙවත් 'පොඩ්ඩේ ගුරුන්නාන්සේ' නම් කපුවා නොමැති කල (ඔහු රෝගාතුරව කල් ගෙවයි)'සකල ගුරු' ටෙලිය නවතා දමන්නට සිදුවුවා සේ චන්දන නොමැති මාත්‍රාවක් ගැන සිතීම ද උගහට බවයි. මාත්‍රාව රසික සරතැස නිවනවා පමණක් නොවේ. එය දුහුණන් වෙත කදිම තක්සලාවක් ද නිමවා ඇත්තේය. සිතට නැඟෙන කවර වදනක් වුව කිසිදු ශික්ෂිත තිරිංගයක් දමා නවතා නොගෙන හලාහල විෂවන් වදන් ම බිණීමේ නවීන පන්නය පිළිබඳ කදිම හැඳිනුමක් ප්‍රවීන සන්නිවේදන ගුරු කරුණාරත්න අමරසිංහයන් පළ කළේය. ඒ වාචසික පාචනය - Verbal Diarrhea යනුයි. චන්දන එකි රෝගයෙන් මිදුණු ආදර්ශසම්පන්න නිවේදක මහත්මයෙක් යැයි නොමසුරුව දැක්වීමේ වරදක් නැත.
මාත්‍රා වේ ඔහු දක්වන හරඹ කිහිපයකි. දුහුණන් එය දකිනු -කියවනු මනාය. තමන් අභිමුවට එන්නා පිලිබඳ ප්‍රමාණික ගවේෂණයක් ඔහු සතුය. සබීතා පෙරේරා සපැමිණි මාත්‍රාවේදී දිගු අටුවාටීකාවලින් තොරව ඔහු ඇය හඳුන්වා දුන් විලාශය මනරම්ය. අපුරවාකාරය. ඓතිහාසික හා සමාජ සංසිද්ධීන් පිළිබඳ ඔහු සිටින්නේ සීරුවෙනි. එපණක් නොවේ. එවැනි සිද්ධීන් මත්තේ තම දිවි කැපකළ ඇත්තන් කෙරෙහි ඔහු සතු ගෞරවය ද විද්‍යමානය. වන්නියලැත්තන්ගේ සම්ප්‍රාප්තිය හා සමගාමිව ඔහු සිදුකරන කතාබහ ඊට නිදසුන්ය. අගති විරහිතව දක්වන්නේ නම් එකී සංවාදය සමාජ විද්‍යා පර්යේක්ෂකයෙකුගේ හෝරා දෙකක දේශනයක් පරදන්නේය. සංලාප බස සරලය. අදහස් ගැඹුරුය. ගැඹුරු දේ සරලව කීමත් හපන්කමකි. කෙටි වැකි තරම් නිවේදකයා සරසන වෙනත් අභරණක් කොයින්ද?
ඒ සියලු දෑ පසෙකින් තැබුවේ වුව එක් කරුණක් අරභයා චන්දන සම්මානිතය. ඒ සංවාද විරාම විෂයෙහිය. කෙතරම් රස මතක ඇවිස්සිය හැකිව තිබුණද, ඒ කිසිදු සංවාදයක් දිග පල් හෑල්ලක් කොට තම වැඩසටහන බාල්දු කරගැනීමේ සුලභ සන්නිය ඔහු තුළ නැත්තේය. ඊට ම සමගාමීව ඒ කවර කතාවක් වුව, රොකට් ලෝන්චරයක් ගැසුවා සේ නතර කිරීමද ඔහු නොකරන්නේය. ඒ වෙනුවට ඔහු කරන්නේ වෙනත් යමකි. යම් රසාංගයක් මැද්දේ තවත් රසාංගයක් සිහිකොට හෝ මීටත් වඩා දේ පසුවට කතා කරමු යැයි කියා ඔහු ආරාධිත අදහස් මඳකට නතර කොට ඊළඟ ගීතයට යන්නේය. එවන් ආකාරයේ ආරාධිත සිත නොතලන බඹර චෛතසිකයෙන් චන්දන පොහොසත්ය.
මාත්‍රාවට ගොඩවදින සමහර ඇත්තෝ ද ඉන් විපුල ඵල ලබන්නේය. ඊට අගයක් එක් කරන්නේය. මහින්ද දේශප්‍රිය හා ජැක්සන් ඇන්තනී යන දෙදෙනාගේ සංලාප දෙස ඔබේ විචාරක්ෂිය යොමන්න. මහින්ද දේශප්‍රියයන් ප්රජාතන්ත්රවාදය පිළිබඳ සියුම් පණිවුඩයක් දෙන අතරේ පනාපුත්‍ර කුහුඹු පැණියා තම ගීත වැඩකරන පංතිය වෙනුවෙන් කැපකළ අපූරුව ශෝභමානය. ආදර්ශාත්මකය.
අප කතානායක පූරකවරයාට අමතර වශයෙන් මාත්‍රා නිෂ්පාදකවරයා සතු නිර්මාණාවේශයද මෙහි නිරායාසයෙන් පවතීය යන්න අවිවාදිතය. එහිලා එකී සැම වෙත පහන් සිතින් දන්වා සිටිය යුත්තේ නවමු භද්‍ර යෞවන යෞවනියන් වූ ගයන්නන් හා ගයන්නියන් පෙරටුකොටගත් මාත්‍රා ව මේසා හැඩ වීමේ අනෙක් පරම රහස නම් අත්හදා බැලීම් කිරීම සඳහා වූ අදියුරන් සතු නොනිත් ආශාව වැඩසටහනෙහි න්‍යෂ්ඨිය වීමයි. ඊටම සරිලන සංගීත සමායෝජනය ද සිහිකටයුතුය.
ගීතයක සෞම්‍යත්වය හෝ ස්වර දැහැනක සිසිලස විඳිමින් ප්‍රමාණික චරිතයක (කැඳවන සියල්ලන්ම නොව) අලගිය මුලගිය තැන් විමසීමේ මාත්‍රා ප්රයත්නය අභියස යෝධයෙකු සේ නැඟී සිටින චන්දන තිලකරත්න උගනිමින් උගන්වන්නෙකු බව මෙහිලා පුනරුච්චාරණය කිරීම ඔහුට කෙරෙන ගෞරවයකි. මේ ඊට නිදසුනකි.
වරෙක මා ශ්‍රී FM සංවාදයක් සඳහා ඇරයුම් ලැබ එහි ගියෙමි. සංවාදය අවසන ලක්ෂි හා ගයාෂාන් යන යොවුන් පුරකවරුන් දෙදෙනා පැවසුවේ මා හමුවීමට භාෂිණී බලා සිටින බවයි. ප්‍රකට සන්නිවේදිකා භාෂිණී සමරසිංහය ඒ. ඇය පැවසුවේ ඔබ එනතෙක් නාලිකා ප්‍රධානියා බලා සිටින බවයි. ප්‍රධානියා කවුදැයි නොදන්නේ වුවද මා ඇයත් සමඟ කොරිඩෝව දිගේ යමින් කල්පනා කළේ මවිසින් විවේචනයට පත් දේශපාලකයෙක් ගැන හෝ එකී ප්‍රධානියා කම්පිතව මා අමතන බවයි. හේතුවනම් වෙනත් නාලිකා ප්‍රධානීන් සම්පත්එදායකයන් හා කතාබහ කරන්නේ කලාතුරකින් වීමයි. අවසන දුටුවේ චන්දනය. අපගේ සමස්ත වැඩසටහන ම අසා සිට ඇති ඔහු මාගෙන් ගිලිහුණු වචනයක වැරැද්ද පවා නිවැරදි කොට පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය උදෙසා ජනමාධ්‍ය උපයෝගී කරගත හැක්කේ කෙලෙස ද යනුවෙන් වන දිගු සංවාදයක් වෙත ද අවතීර්ණ වූයේය. එහි වඩාත් මා සිත්ගත් දේ එයම නොවේ. මාගේ එක් වදනක උච්චාරණය වැරදි යැයි පෙරකී බස ඔහු කීවේද මෙකී සංවාදය අවසන ඉමහත් කාරුණික ස්වරයෙන් වීමයි.
අවසන චන්දන ගැන කීමට ඇත්තේ ඔහු වැඩිවැඩියෙන් ඔහුගේ ප්‍රමාණික දැනුම බෙදා දීමට කලඑළි බැසිය යුතු බවයි. ඒ ලංකාවේ චන්දනලා බොහෝ සිටියද චන්දන තිලකරත්න ලා ඉන්නේ එක්කෙනෙක් බැවිණි. වරෙක චිර ප්‍රසිද්ධ පාපන්දු සන්නිවේදකයෙක් වූ ක්‍රිස් කොලින්ස්වර්ත් මෙලෙස පැවසීය. ''John Madden is arguably the greatest broadcaster of all time, but I don't want to be John Madden''. ඔබට දැන් පැහැදිලිද? ඔබ, ඔබගේ හැකියා මාත්‍රයෙන් දිවිසැරිය සකසා ගත යුතු විනා වෙන අන් කවරෙක් හෝ විය යුතු නැත. හරියටම චන්දන තිලකරත්න තමන් අභියස ගැවසුණු අසහාය පෞරුෂ හා සතතාභ්‍යාසයෙන් සුදිලුනා සේය.
අප පරපුරේ සුකුමාර කාව්‍යක්කාරයා වන කුමාර හෙට්ටිආරච්චි තම කවි පොතකට යෙදු නම ''දූරියන් ගහ යට බද්‍ර කල්පය ගෙවමි' යනුයි. එනයින් බලන කල දූරියන් ගසක්වන් රටක විඩා නිවන අපිට චන්දන මාත්‍රාව ද දිව්‍ය ඖෂධයක් හා සමය.
මංජුල ගජනායක
ෆේස්බුක් ගිනුමෙනි