සාර්ථක ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නේ කෙසේද? 

 සාර්ථක ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නේ කෙසේද? 

අද මැයි දින රැළි ගැන ගොඩක් පක්ෂවලට සතුටු ඇති. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ අය. මොකද ඒවාට විශාල ජනතා ආකර්ෂණයක් ලැබිල තියනවා කියල බැලු බැල්මට පේනවා. දිනපතා කඩා වැටෙන සාමාන්‍ය ජන ජීවිතය ඇතුලේ මිනිස්සු දැන් කවුරුහරි එක්ක හරි එකතු වෙලා මේ ආණ්ඩුව එළවල දාන්න අධිෂ්ඨාන කරගෙන ඉවරයි. ඒ වාසිය ඔවුන්ට ඉහින් කණින් ලැබිලා ඉවරයි.

අද හවස සහ හෙට වෙනකොට සියළු ජනමාධ්‍ය මේ දැවැන්ත සහ සාර්ථක ජනරැළි සහ ජනතා ඒකරාශීවීම් නියත වශයෙන්ම වාර්තා කරයි. ඒවා එක්තරා ආකාරයකට සමස්ත ජනතා නැගිටීම එක්ක සමාන්තරගත වෙනවා. ඒකත් හයියක්.

ඒ වගේම එතරම් ආකර්ෂණයක් නැතුව පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) මැයි රැළියකුත් තිබ්බ නුගේගොඩ. රෝග ලක්ෂණයක් වගේ. එක්කෙනා දෙන්න සෙට් වෙලා ඒකට එනවා ෆේස්බුක් වීඩියෝ එකක දැක්ක. කවුද තරුණයෙක් ඒකට නැගල මොකක්දෝ 'සෙල්ලමක්' දානවත් දැක්කා. ඒක දැක්කෙත් ෆේස්බුක් වීඩියෝ එකක් හැටියට. ඇත්තටම මොකක්ද ඒ උණේ කියල දන්නේ නැහැ.

හැබැයි පොහොට්ටුවේ රැළියට මොකද වෙන්නේ කියල හැමෝම බලන් හිටිය කියල මට හිතෙනවා. යම් විදියකින් හරි තවමත් මේ ආණ්ඩුවට මොනවා හරි ජනතා පදනමක් තියනවද කියල සංඥාවක් ඒකෙන් ගන්න පුළුවන්කම තිබ්බ නිසා ඒ ගැන බලාගෙන හිටියා වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලම අවසාන වශයෙන් මිලින උණා කියල හිතෙනවා.

2019 ගෝල්ෆේස් රැළියේ මහින්ද සුළඟට හිටපු අතිවිශාල 'ජනතාව' අද එතන නැහැ. එයාල හුඟක් දෙනෙක් මේ ආණ්ඩුවට ගෙදර යන්න කියනවා. රටපුරා හෝන් ගහනවා.

එදා ඒ ජනරැල්ල වෙනුවෙන් ගොඩ නගපු 'සංවර්ධන ෆැන්ටසි' එක දෙන්න නෙවෙයි ලාම්පුවට ලාම්පු තෙල් ටික් දෙන්නත් මේ ආණ්ඩුවට බැරි උණා. පෝලිම් වල මිනිස්සු මැරිලා වැටෙන තත්වෙට රට වැටුණා. පැනඩෝල් පෙත්තක් ගන්න නැතිවුණා. 2019 ජනරැල්ලේ ඩ්‍රෝන් ස්කයි ෂොට් එකයි අද නෝමල් ෂොට් එකයි ප්‍රපංච දෙකක් හැටියට ගත්තොත් කොච්චර ලොකු වෙනසක් මේ ප්‍රපංච දෙක අතරේ තියනවද?

අද ඒ ස්කයි ෂොට් එකේ ජනතාව ඉන්නේ අනික් පැත්තේ. තැන් වෙනස් වෙලා. තැන් දෙකක් උනාට ඉන්නේ එකම මිනිස්සු.

බහුජන මනස ඇතුලේ ෆැන්ටසි හදල ඒ ෆැන්ටසි උඩින් බලයට ආපුවම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ජනතාව කියන්නේ කොච්චර පරිස්සමෙන් ගණුදෙනු කරන්න ඕනි කොටසක් ද?

මිනිස්සු ස්වේච්චාවෙන් ම දැන් ඇවිල්ල ඉන්නවා තමයි. හැබැයි අදටත් කවුරුත් ඇත්ත ගැටළුව එක්ක පොර බදිනවා කියල මම හිතන්නේ නැහැ. අපේ ආර්ථිකය ඉදිරියට තිරසාර ද? IMF යනවද? නැත්නම් අධිරාජ්‍යවාදය නිසා ඒක එපා කියනවද? එහෙම නැත්නම් ප්‍රාග්ධනය සම්බන්දව විසඳුම මොකක්ද? හදිසි දේශීය උපක්‍රම තියනවද?

කවුරුත් ලොකු දෙයක් ඒ ගැන කියන්නේ නැහැ. උපක්‍රමශීලියි. එකම දේ කිසිම පක්ෂයක් මේ මොහොතේ ලොකු 'සංවර්ධන ෆැන්ටසි' එකක් ගැන නම් කියන්නේ නැහැ. කිව්වත් දැන් මිනිස්සු දන්නවා ඒවා අතේ රෝල් කියල. දැන් ආයෙත් ප්‍රශ්නේ මුලික අත්‍යවශ්‍ය දේවල් ටික.

එහෙම උනාට මිනිස්සු සූ ගාල ඉන්න ඩ්‍රෝන් ෂොට්වලින් නම් අඩුවක් නැහැ. හැමෝම හදනවා 2019 පොහොට්ටු ඩ්‍රෝන් ෂොට් එක ළඟට එන්න. අනිවා අද හෙටම ඒක පරාජය කරන්න පුළුවන් වෙයි. සුබ පැතුම්!

------------------------------------------------------
@මේ ලස්සන ඩ්‍රෝන් ෂොට් එක අනුර කුමාර දිසානායක මහත්මයාගේ ෆේස් බුක් පිටුවෙන්. විස්තරය සහ ඉමේජ් එක අතර සම්බන්දයක් නැහැ. ඉර බැසගෙන යනකොට ඒ රන්වන් පාට එක්ක විප්ලවීය රතුපාට ලස්සනට ගැලපෙනවා. ඒ එක්කම නෙලුම් කුළුණේ එක්සොටික් ලස්සනත්, යටත්විජිත කොටුවේ ස්ටේෂන් එකේ පරණ පෙනුමත් ඒ රතු පැහැයට එකතු වෙලා වලාකුළු එක්ක අමුතු කලර් ටෝන් එකක් ඉමේජ් එකට එකතු කරනවා. මරු.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

FB IMG 1651435469336

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න