සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නොවන බටහිර ගී ආරක් බිහි කළ ප්‍රමුඛයා; සී. ටී. ප්‍රනාන්දු

සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නොවන බටහිර ගී ආරක් බිහි කළ ප්‍රමුඛයා; සී. ටී. ප්‍රනාන්දු

සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති.

එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදාය සහ ගායනාලංකාර සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදාය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හැඳින් වූයේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය යි.

නවතම අත්හදා බැලීම

ජනප්‍රිය ගීත සම්ප්‍රදායයේ අවශ්‍ය අංගයක් වන ප්‍රාසංගිකත්වය පිළිබඳ ව පර්යේෂණ කළ අයකු ලෙස ද සී. ටී. හඳුනාගත හැකි ය. ඊට හොඳ ම නිදසුන ඔහු ගැයූ “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ” ගීය යි. එහි මුල් තැටිගත කිරීම ම සජීවී සංගීත ප්‍රසංගයෙක දී ගැයුණු ගීයක ස්වරූපය ගනී. ගීතය අතරතුර ප්‍රසංග වේදිකාවෙක උද්දාමයෙන් හඬ නඟන්නවුන් ගේ නොයෙක් කෑ ගැසීම් ඇසේ. මේ වනාහි මින් පෙර කිසිවකු ගේ ගීයක දක්නට නො ලැබුණු ලක්ෂණයෙකි. එවක පැවැති අවම ශිල්පීය පහසුකම් භාවිතයෙන් මෙ වැනි අත්හදා බැලීමක් කිරීම ප්‍රශංසනීය වේ. සී. ටී. ගේ සජීවී ගායනයේ තුබූ ප්‍රාසංගිකත්වය සහ එවක ඔහුට තුබූ ජනප්‍රියතාව කෙතෙක් ද යත් ඔහු ගේ සංගීත ප්‍රසංග බැලීම සඳහා ප්‍රසංග ශාලාවල දොරජනෙල් කඩා-ගෙන ජන ගඟ ගැලූ අවස්ථා ඕනෑ තරම් පැවැති බව ඔහු ගේ රසිකයෝ අදත් සිහි කෙරෙති.

 

ct fernando 1 gee padura

නෙවිල් ප්‍රනාන්දු වෙත සී. ටී. ගේ විරෝධය

එ කල ජනප්‍රියත්වයේ මුදුන් ඉමෙහි සිටි සී. ටී ගේ ජනප්‍රිය සංගීත අනන්‍යතාව ගුරු කර ගෙන නිර්මාණකරණයට අවතීර්ණ වූ ශිල්පීහු බොහෝ වූහ. ඒ අතර සිංහල කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා වූ ක්ලැරන්ස් විජේවර්ධන කැපී පෙනේ. ‘ලොස් කැබරලොස්’ නම් කැලිප්සෝ සංගීත කණ්ඩායමේ නායකයා වූ නෙවිල් ප්‍රනාන්දු ද ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූයේ සී. ටී. ගේ ගී ගයමිනි. ඔහු කලක් තිස්සේ අඛණ්ඩ ව සී. ටී. ගේ ගී ගැයූ නිසා වෘත්තීය ගායකයකු වූ සී. ටී. අපහසුතාවට පත් වූ අතර නෙවිල් ප්‍රනාන්දු ස්වතන්ත්‍ර ගීත ගැයීමට පෙලැඹූ ප්‍රධාන සාධකයක් වූයේ ද මේ අරබයා සී. ටී. ගෙන් එල්ල වූ විරෝධය යි. කෙසේ නමුත් ක්‍රිස්ටෝපර් පෝල්, සී. ඩී. ෆොන්සේකා (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා), කාන්ති වක්වැල්ල (දුර පෙනෙන තැනිතලා), සිඩ්නි ආටිගල (පැලේ වසන රන්මලී), රෝහිත ජයසිංහ (සෝබන සැන්දෑවේ සීතල මඳ පවනේ) යන ශිල්පීන් පෙරට ගෙන ගියේ සී. ටී. බිහි කළ සිංහල පොප් ගී ආර බව ඔවුන් ගේ නිර්මාණ විමසා බැලූ කල පෙනේ. පාසල් වියේ දී සී. ටී. ගේ ගී ගායනා කළ විජය කුමාරතුංග ගේ “රෝස සිහිනයේ සිනා රේඛා” ගීයෙන් සී. ටී. හඬේ ඡායාවක් ඇසෙන බවත් ජිප්සීස් සුනිල් පෙරේරා ගේ බොහෝ මුල් නිර්මාණ සී. ටී. ගේ ආභාසය පිළිබිඹු වන බවත් සුනිල් මිහිඳුකුල පෙන්වා-දෙයි. මේ අනුව සී. ටී. හුදු ගායකයකු ලෙස ලඝු කළ හැකි නො වේ. ඔහු සිංහල ගීත සාහිත්‍යයේ යුග කාරක පුරුෂයෙකි.

පදමාලාවෙහි බුහුටි බව

සී. ටී. ගේ ගීත ජනාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒවාහි සරල පදමාලාව සහ මධුර සංගීත සංයෝජනය යි. ඒ වන විට සිංහල ගීත සාහිත්‍යය ගිලගෙන පැවැති සංස්කෘත පද බහුල යාන්ත්‍රික භාෂාවකින් ලියැවුණු පද මාලා වෙනුවට සී. ටී. තෝරාගත්තේ ඉතා සෞම්‍ය වාංමාලාවකින් සෞම්‍ය අනුභූති ප්‍රතිනිර්මාණය කැරෙන පද මාලා බව පෙනේ. “කිම ද සුමිහිරියේ”, “ආනෙ ඩිංගක් ඉන්න කෝ”, “බේරෙන පැණි බිඳු”, “ලෝ අඩ නින්දේ”, “දවස ගෙවී දැන් ටික ටික” යනාදි බොහෝ පද මාලා මීට නිදසුන් ලෙස පෙළ ගැස්විය හැකිය. සුනිල් සාන්ත හැරුණු කොට ඒ වන විට හෙළ ගීයේ හද බස වටහා-ගෙන සිටි ශිල්පීන් කිහිප දෙනා ගෙන් අයකු ලෙස සී. ටී. හැඳින්වීම සාධාරණය. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ තවත් පැතිකඩකි.


පුද්ගල චරිත පිළිබඳ නිර්මාණ

සී. ටී. ගැයූ බොහෝ ගී ආනුභුතික හා ආකෘතික නව්‍යතාවෙන් ද අනූන විය. එ නම් වස්තු විෂයය හා ඉදිරිපත් කිරීම අතින් ඔහු ගේ බොහෝ නිර්මාණවල අපූර්වත්වය නොමඳ ව ගප් වී තිබිණි. “කැලෑ මල නො වේ”, “සරුංගලේ සරුංගලේ”, “මා බාල කාලේ”, “රෑ පැල් රැකලා”, “අපි ඇවිදිමු හඳ පානේ” යනාදි ගීත ඊට පොදුවේ නිදසුන් කළ හැකි ය. ඊට අමතර ව තම ජීවිතයේ සමීපතමයන් හා එදිනෙදා සමාජයේ නිතොර හමු වන පුද්ගල චරිත පිළිබඳ ව ගැයීම ද සී. ටී. ගේ විශේෂත්වයෙකි. “සමන් කැකුළු අතුරලා” ගීය සී. ටී. ගැයුවේ පිය බිරිය වූ ධනවතී වෙනුවෙනි. “බිළිඳා නැළැවේ” ගීය ඔහු ගැයුවේ ඔහු ගේ එක ම පුතු වූ ප්‍රියන්ත වෙනුවෙනි. උක්ත ගීත ද්වයයෙහි අන්තර්ගත මුදු හැඟුම් සහ සිලිටි බස් වහර නිසා එ වක මේ ගීත නොමඳ විචාරක අවධානය දිනී ය. අනෙක් අතට සැමියකු ගේ දෘෂ්ටියෙන් බිරිය ගැනත් පියකු ගේ දෘෂ්ටියෙන් බිළිඳු පුතු ගැනත් ගැයුණු ගී හැටේ දසකයට පෙර සිංහල ගීත සාහිත්‍යයේ කොපමණ තිබිණි දැ යි සොයා බැලිය යුතු ය. එසේ ම සී. ටී. “මගෙ සුදු මාමේ” ගීයෙන් ගැයුවේ රා මදින්නකු ගැන ය; “බරබාගේ” ගීයෙන් ගැයුවේ ගැල්කරුවකු ගැන ය; “එළවළු පලා කියා” ගීයෙන් ගැයුවේ එළවළු වෙළෙන්දියක ගැන ය. මේ ගී තුන ම බටහිර සංගීතය මුසු නිර්මාණ වුව ද ඇරැඹෙන්නේ සීපද ගායනාවලින් වීම විශේෂත්වයෙකි. ගැමි සුන්දරත්වය හා ගැමි චරිත පිළිබඳ ව ගැයුණු මෙ වැනි ඇතැම් ගීවල ඇත්තේ නාගරිකයකු ගම දෙස හෙළන දෘෂ්ටියක් බව බොහෝ විචාරකයන් ගේ මතයෙකි.

 

CTFernando97116863a3ef168361

සුන්දරත්වය උපරිමයෙන් ආස්වාදය කළ එපිකියුරියානුවා

හැටේ දසකයේ දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ගායකයකු වූ නමුත් සී. ටී. ගීත දහස් ගණනක් ගැයූ ශිල්පියෙක් නො වී ය. ඔහු ගැයූ ගීත සංඛ්‍යාව එකසිය හැත්තෑ පහ (175) නො ඉක්මවයි. ඒ අතුරින් “මී අඹ වනයේ”, “මී වදයකි ජීවිතේ”, “ලක්‍ෂ ගණන් වස්තු ලැබී”, “ඈත කඳු රැලි”, “හිමේ සමන් දෙවි පිහිටෙන්”, “සෝබන ලු කොළඹ”, “ළා තණ නිල්ල යි”, “නිසයුරු මුතු වැල්”, “අසරණයා දුගී” යනාදි ගීත දොළොසක් (12) පමණ චිත්‍රපට ගීත විය. සී. ටී. ගේ ගී ගොනුවේ දේශාභිමානී ගීත, කිතු බැති ගීත, මවු ගුණ ගීත, ප්‍රේම ගීත, ළමා ගීත, විනෝද ගීත, ආදි හැම ආරක ම ගීත දැකිය හැකි ය. ඔහු නො ගැයුවේ බුදු ගුණ ගී සහ විරහ ගී පමණි. බෞද්ධයකු නො වූ සී. ටී. බුදු ගුණ නො ගැයීම ගැන විස්මයයට පත් වන්නට දෙයක් නැත. එහෙත් ඔහු විරහ ගී නො ගැයුවේ ඔහු ගේ සෞන්දර්යවාදී ජීවන දර්ශනය හා එවැනි අනුභූතීන් නො පෑහුණු නිසා බව කිය හැකි ය. ඔහු ගැයූ “මී වදයකි ජීවිතේ”, “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ”, “අවදි වන්න අවදි වන්න”, “අද ද ඊයෙ වාගෙම සන්තොසින් ගෙවේ වා”, “රන මොනරයි රන මොනරියි විලාසේ” යනාදි ගීතවලින් පිළිබිඹු වන්නේ ඔහු ජීවිතයේ සුන්දරත්වය උපරිමයෙන් ආස්වාදය කළ එපිකියුරියානුවකු (Epicurean) වූ බව යි. ජීවිතයේ දුඃඛ පක්‍ෂය බදා-ගෙන විස්සෝප වීම සී. ටී. ගේ ජීවන දර්ශනය නො වූ බව මේ ගීත කිහිපයෙහි පදමාලා පිරික්සීමෙන් පැහැදිලි වේ.


C T Fernando
සී. ටී. පුංචි තිරයට නොපැමිණියේ ඇයි...?

ගුවන් විදිලියෙන් සරල ගී ගායනයට පිවිසි සී. ටී. 1951 වසරේ පටන් ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV), ‘ෆිලිප්ස්’ (Phillips), ‘ජෙම් ටෝන්’ (Gem Tone), ‘කොළොම්බියා’ (Colombia), ‘සූරිය’ (Sooriya), ‘සිල්වර් ලයින්’ (Silver Line) වැනි තැටි සමාගම් වෙතින් තම ගීත තැටි නිකුත් කෙළේ ය. එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල අග ‘ප්‍රියන්ත’ නාමයෙන් ද ඔහු ස්වකීය ගී තැටි කිහිපයක් නිෂ්පාදනය කර ඇත. මීට අමතර ව ‘සී. ටී. හඬ - 1’, ‘සී.ටී. හඬ - 2’, ‘සුවඳ රෝසමල්’ යනුවෙන් ස්වකීය ගීතවල පදමාලා රැගත් පොත් කීපයක් ම සී. ටී. විසින් පළ කර ඇත. ‘සී. ටී. හඬ - 1’ ගීත සංග්‍රහයට ප්‍රස්තාවනාව සැපැයූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එහි ලා සී. ටී. හඳුන්වනුයේ ‘වර්තමාන සිංහල සංගීතය නැංවීමට උපකාර වූවන් අතර ප්‍රමුඛ ස්ථානයක් දරන්නකු’ ලෙසිනි. සී. ටී. ගේ රුව කිසි දා පුංචි තිරයට නො නැඟුණේ මෙ රට රූපවාහිනී මාධ්‍යයේ ආගමනයට පළමු ව ඔහු මෙලෝ හැර ගිය බැවිනි. එ බැවින් සී. ටී. ගේ රුව දැක-ගත හැක්කේ ඔහු සුළු චරිත රැඟූ ‘දෙයියන්නෙ රටේ’, ‘ගම්පෙරළිය’, ‘පාරා වළලු’ යන චිත්‍රපට කිහිපයෙන් පමණි.


hqdefault
සිංහල උච්චාරණයට අසමත් වූ හේතුව

අපමණ ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පියකු වුව ද සී. ටී. හට ක්‍ෂේත්‍රය තුළ අඩන්තේට්ටම් සහ කෙනෙහෙලිකම් අතින් අඩුවක් තිබුණේ නැත. මුලින් ම සී. ටී. ප්‍රබුද්ධයන් ගේ ගර්හාවට ලක් වූයේ ඔහු ගේ උච්චාරණය නිසා ය. ඇතැම් සිංහල වදන් සී. ටී. හට උච්චාරණය වූයේ අසිංහල විලාසයකිනි. මෙය සී. ටී. හිතාමතා කළ වැඩක් නො වේ. ඔහු ගේ දත් දෙපෙළෙහි පිහිටීමත් ඉංගිරිසි උච්චාරණයෙන් ලත් ආභාසයත් නිසා අ, ඔ වැනි ස්වර ශබ්දත් ච, ජ, ස, ත, ද වැනි ව්‍යඤ්ජන ශබ්දත් ඔහුට උච්චාරණය වූයේ ඉංගිරිසි භාෂකයකුට මෙනි. මෙය ඇතැම් විචාරකයන් ගේ බරපතළ දෝෂ දර්ශනයට ලක් විය. එහෙත් එවක මොහිදීන් බෙග් “ටිකිරි මෙණිකෙ එම්බුල ගෙනල්ලා” යි ගයන විට නිහඬ ව පසු වූ ගුවන් විදිලියේ ප්‍රබුද්ධයන් සී. ටී. ගේ උච්චාරණය ගැන පමණක් කිපී ගෝරනාඩු කිරීම මධ්‍යස්ථ විචාරකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ගේ ඉමහත් විවේචනයට ලක් විය.

අමරදේවට සහ එච්. ඩබ්ලියු රුපසිංහට එරෙහිව සී. ටී. වෙනුවෙන් සුනිල් ශාන්ත

1977 දී හෘදයාබාධයක් වැළැඳී සී. ටී. මිය ගිය ද ඊට සිවු වසරකට පෙර 1973 දී ඔහු මානසික ව මරා දැම්මේ ගුවන් විදිලිය බව සුනිල් මිහිඳුකුල අවධාරණයෙන් පවසයි. ඒ වසරේ ගුවන් විදිලි ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීම සඳහා පැවැති කටහඬ පරීක්‍ෂණයෙන් සී. ටී. විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු බවට පත් වූයේ නැත. එ දා පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සුනිල් සාන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව, එච්. ඩබ්ලිව්. රූපසිංහ යන තිදෙනා අතරින් සුනිල් සාන්ත හැරුණු කොට අනෙක් දෙදෙනා ගේ ම මතය වූයේ, පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් සී. ටී. දුර්වල බව යි. ඔහු විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස ශ්‍රේණිගත නො කිරීමට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ මෙය යි. මේ තීරණයට විරුද්ධ වූ සුනිල් සාන්ත කියා සිටියේ, යම් කටහඬක ගායන ශක්තිය තීරණය කිරීමේ දී ඒ ගායකයාට පුරුදු ගායන සම්ප්‍රදායය අනුව කරන ලද ගායනයක් අනුව වර්ගීකරණය කළ යුතු බව යි. සී. ටී. හට සිදු වූ අසාධාරණය පිළිබඳ ව කතා කළ සුනිල් සාන්ත මෙසේ ද කියා තිබේ:

“අප ගේ කාර්යභාරය සම්ප්‍රදායයක් පිළිබඳ ප්‍රශ්නයක් නො ව ගායන හැකියාවක් පිළිබඳ ප්‍රශ්නයකි. සංගීතය නිල වසයෙන් කිසි යම් සම්ප්‍රදායයකට සීමා කළ නොහැකි ය. එ සේ කිරීම අසාධාරණයකි.” වරක් සී. ටී. ගැන ලිපියක් ලියූ ආචාර්ය තිස්ස අබේසේකර මේ සිද්ධිය මොනොවට විස්තර කොට ඇතැ යි සුනිල් මිහිඳුකුල වැඩි දුරටත් සඳහන් කරයි.


ඓතිහාසික අසාධාරණය

ජීවමාන ව සිටිය දී ම මෙතරම් අසාධාරණයට ලක් වූ සී. ටී. අභාවප්‍රාප්ත වූ පසු වත් නිසි ඇගැයුමකට හෝ හැදෑරුමකට හෝ විෂයය නො වූ බව අප ගේ නිරීක්‍ෂණය යි. සී. ටී. වූකලී සිංහල ගීත සාහිත්‍යයේ නව ආරක් බිහි කළ ශිල්පියෙකි; ළමා ගී සාහිත්‍යය සුපෝෂණය කළ වැඩිහිටියෙකි; ගීයේ හද බස සොයා ගිය රසවතෙකි; සංගීත විෂයයෙහි නව අත්හදාබැලීම් කළ පර්යේෂකයෙකි; සිංහල ගීය අන්තර්ජාතිකයට ගෙන ගිය දේශාටකයෙකි. එ මතු නො ව 1952 දී එංගලන්තයේ විණ්ඩ්සර් මාළිගයේ පැවැති එළිසබෙත් රැජිනිය ගේ මෞලි මංගල්‍යයේ දී ගීත ගැයූ සිංහල ගායකයා වූයේ ද සී. ටී. බව බොහෝ දෙනා නො දනිති. මෙ වන් අද්විතීය ශිල්පියකු වූ සී. ටී. ගේ වියෝවින් පසු තිස් පස් වසරක් තිස්සේ සී. ටී. පුත්‍ර ප්‍රියන්ත ප්‍රනාන්දුට දිවයින පුරා සංගීත ප්‍රසංග සඳහා ලැබෙන අඛණ්ඩ ආරාධනා සමුදාය ම සී. ටී. ගේ අවිච්ඡින්න ජනප්‍රියතාව පිළිබඳ අභේද්‍ය සාක්ෂ්‍ය යි. එහෙවු සී. ටී. පිළිබඳ විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයක් මේ දක්වා සිදු නොවීම නම් ඓතිහාසික අසාධාරණයක් බව සඳහන් කළ යුතු ම ය.

උපුටා ගත්තේ සිනමා රූ සේයා  face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න