හිටපු ජනාධිපති කොලම

හිටපු ජනාධිපති කොලම

'කාලෝ අයං තේ' සුදුසු කාලය පැමිණ ඇත; රනිල් පැහැදිලි කරයි

නව වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සුපුරුදු ලෙස පැවැත්වුණේ සිරිකොත එජාප මූලස්ථානයේ දී ය.

පක්ෂය යළි නගා සිටුවීමේ සම්පූර්ණ වැඩසටහනක්

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පැමිණ සිටියේ ලිපිගොනු කිහිපයක් ද රැගෙනය. රැස්වීම ආරම්භයේ දී ම කිසිවෙකුත් අපෙක්ෂා නොකළ ආකාරයට එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටුවීමේ සම්පූර්ණ වැඩසටහනක් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළේ ය. මේ වැඩසටහනෙහි මූලික අරමුණ වී තිබුණේ පක්ෂය සම්පූර්ණයෙන් ම යළි ගොඩනැංවීම ය. මෙම වැඩසටහනට සමගාමීව සමගි ජනබලවේගය සමග කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය යොමු කෙරිණි. එහි දී එක්සත් ජාතික පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා සමග මෑතක දී පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව කරුණු කෘත්‍යාධීකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළහ.

සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරියේදී එකමුතුව කටයුතු කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය පළ කළේ ය. ඒ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළට එකඟත්වය පළ කෙරුණු අතර ප්‍රධාන යෝජනා 6ක් සම්මත කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත්තේ ය. පළාත් පාලන ආයතන වන: මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බලවේගයේත් සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ගේ වැඩ කටයුතු සඳහා ඒකාබද්ධ ජාතික වැඩසටහන් කමිටුවක් පක්ෂ දෙකෙන් පත්කිරීමට පළමුවෙන් යෝජනා විය. දෙවැනි යෝජනාවෙන් කියැවුණේ එජාප සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් ඒකාබද්ධ වැඩසටහන් තුනකට එළැඹීම සඳහා කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව යි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත යෝජනා හයක්

දැනට වෙනත් දේශපාලන පක්ෂ සමග එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන අතර, ඒ පක්ෂවලට ද කරුණු පැහැදිළි කිරීමටත්, එමෙන්ම ඒ ගැන සාකච්ඡා කිරීමට පක්ෂ දෙකෙහි නායකයින් ගේ අනුමැතියෙන් කමිටුවක් පත් කිරීමටත් ඊළඟට යෝජනා කෙරිණි. මෙම වැඩසටහනට එකඟ වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක මුණ ගැසීමට ක්‍රියා කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සම්මත වූ තවත් යෝජනාවකින් කියැවිණි. පක්ෂ දෙකෙහි කෘත්‍යාධිකාරී මණ්ඩල ඒකාබද්ධය මුණ ගැසීමට තීරණය වූයේ ඉන් පසුවය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රමුඛ සන්ධාන අතර පවතින ගිවිසුම්, එජාපය සමග සම්බන්ධ වී කටයුතු කරන පක්ෂ, සමගි ජන බලවේගය සමග එකමුතුව ක්‍රියා කරනු ඇති බවට සියලු පාර්ශව දැනුවත් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු හය වැනි යෝජනාවෙන් ප්‍රකාශ විය.

මේ සුදුසු ම කාලය යි

සමාජ වෙළඳ ආර්ථිකය (Social Market Economy) අරමුණු කර ගත් එක්සත් ජාතික පක්ෂ මතවාදය එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ගේ මූලිකත්වයෙන් සැකසීම සඳහා ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය පළ කෙරිණි. සමාජය නවීකරණය, ආර්ථිකය, සමාජ රටාව, අධ්‍යාපනය, නව තාක්ෂණය සමග එදිනෙදා ජීවිතයට උසස් තත්ත්වයක් උදා කිරීම පොහොසත් රටක් - පොහොසත් පවුලක්, Hand phone එකක්, Crypto currency ආදී සංකල්ප යටතේ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම එජාප මතවාදයේ ප්‍රධාන අරමුණුව පවතී. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීත් ඉන් පසුවත් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නායකයින් අතර අදහස් රැසක් හුවමාරු විය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2025 රජයට එරෙහිව තදබල ක්‍රියාමාර්ග ගැනීමට සුදුසු කාලය නොවුනත් මේ වසර ඒ සඳහා සුදුසු කාලය වන බව යි. එහෙයින් 2026 දී පක්ෂය නගා සිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව කියා සිටියේ ය.

සජබ එජාප සාකච්ඡාවට තිදෙනෙක් පමණක් සහභාගි වීම...?

ranil 1සමගි ජනබලවේගය සමග සාකච්ඡා කිරීම සඳහා තිදෙනකු පමණක් යෑම පක්ෂ බහුතරය ගේ අනුමැතියට හේතු වී නැති බව එහි දී ප්‍රකාශ කෙරිණි. හිස් අතින් කිසිඳු වැඩපිළිවෙළකට අවතීර්ණ වීම තේරුමක් නැති බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා හැමවිටම ක්‍රියා කළ යුතුව තිබෙන්නේ වැඩපිළිවෙලක් සමග වැඩ කළ හැකි කණ්ඩායමක් ද එකතු කරගනිමින් බව පෙන්වා දුන්නේය.

සමගි ජනබලවේගයට ආණ්ඩු බලය ගෙන ක්‍රියා කිරීමට සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් එහි දී නම් වශයෙන් අවධානය යොමු කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂයේ සිටින එැවැනි කණ්ඩායම හඳුනාගැනීම ද සිදුවිය. මෙහි දී පැහැදිලිවම පෙන්වාදෙනු ලැබුවේ ආණ්ඩු බලය ගෙන ක්‍රියා කළ හැකි පළපුරුදු කණ්ඩායමක් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය තුළ බව ය.

පක්ෂ භේදයෙන් තොර විනෝදය

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව තවත් සුවිශේෂී අවස්ථාවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ ය. ඒ කොළඹ වන් ගෝල්ෆේස් හී පුළුල් තිරයේ ප්‍රදර්ශනය කෙරුණු හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගේ නිෂ්පාදනයක් වූ සඳ දඩයම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට ය.



භේදයකින් තොරව දේශපාලන නායකයින් කලාකරුවන්, මාධ්‍යවේදීන් රැසක් ඒ අවස්ථාවට සහභාගී වී සිටිම විශේෂයෙන් කැපී පෙනුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, ඇමති හිනිදුම සුනිල් සෙනෙවි, මහාචාර්ය ජී. එල්. පීරිස්, දිලිත් ජයවීර, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර ඇතුළු දේශපාලනඥයින් රැසක් ඒ අතර සිටින ආකාරය හඳුනාගන්නට ලැබිණි.
Untitled 3
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චිත්‍රපටය ආරම්භ වී කෙටි වේලාවකින් පිටව ගියත් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍රපටය නරඹ අවසන් වීමෙන් පසුවත් එහි රැඳි සිටිමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැමිණ සිටි කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සමග පිළිසඳරේ යෙදි සිටිනු දක්නට ලැබිණි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා සමග අදහස් හුවමාරු කර ගැනීමට ද රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේ ය.

වජිර අබේවර්ධන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර හමුවක්


මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනකු අතර සුහද හමුවක් පසුගිය අඟහරුවාදා කොළඹ දී පැවැත්විණි. රටේ ඉදිරි දේශපාලන ගමන් මග සහ ආර්ථික දිශානතිය සම්බන්ධයෙන් ඉතා හරවත් අදහස් හුවමාරුවක් මෙහිදී සිදුවිණි. විශේෂයෙන් ම මේ සිදුවීම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සතුව ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එම ක්‍රියාකාරීන් වජිරව දැනුවත් කළ අතර වජිර ඊට හොඳ ප්‍රතිචාරයක් දැක්වීම පැමිණ සිටි ක්‍රියාකාරීන්ගේ අගය කිරීමට ලක්විණි. එසේම ඔවුන්ට කුතුහලයක් ගෙන දෙන කාරණා ගණනාවක්ම වජිරගෙන් අසා නිරාකරණය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබුණි.



රනිල් ගේ කතාව රසවත් කළ වජිර

මීටත් අමතරව පසුගිය 2021 වසරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කර ජනාධිපතිධුරයට පත්වීම සම්බන්ධයෙන් බොහෝ රස මුසු තැන් මෙන්ම දේශපාලන කරුණු කාරණා ගණනාවක්ම වජිරගෙන් මේ පිරිසට දැනගන්නට ලැබිණි. විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැටුණු රට බාරගෙන ඉන්ධන, ගෑස්, ගෙන්වා ගැනීමට රට තුළ ඩොලර් නැති අවස්ථාවේ දී එය මනා ලෙස කළමණාකරනය කළ ආකාරය වජිර පැවසුවේ නව කතාවක කතාව ගලාගෙන යන ආකාරයට ය. කතාබහ ඉතාම රසවත් නිසා පැමිණ සිටි පිරිස ද එකදු වචනයක් හෝ කතාබහ නොකොට එකිනෙකා ගේ මුහුණ දිහා බලමින් නවකතාවක් රස විඳින ආකාරයට මේ දේශපාලන ගමන් මග රස විඳින්නට වූහ.

“සර්, ඇත්තටම අපි මේ පළවෙනි වතාවට තමයි සර්ත් එක්ක මේ තරම් වෙලාවක් සුහදව කතා බහ කරන්න ලැබුණේ. සර් කියපු කරුණු කාරණා අනුව සර්ගේ තියෙන දැනුම ඇත්තට ම අපට දැන් තමයි අවබෝධ වෙන්නේ. ඒ විතරක් ද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරලා මේ රට ගොඩගැනීම ඇතැම් අයට ලෙහෙසි පහසු කාර්යයක් වගේ පෙනුනත් ඒක මොන තරම් විශ්ව කර්ම වැඩකක් ද කියලා දැන් තමයි අපිට හරියට අවබෝධ වුණේ. බොහෝ අයට එළියේ ඉඳන් විවිධ දේ කියමින් විවේචනය කරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ දේවල් වෙන්නේ කොහොමද කියන එක ගැන කිසිම අවබෝධයක් නැති එකනේ ප්‍රශ්නේ.

එක් අයෙක් වජිරගේ මූණට ම කීවේ ය.

රනිල්ට ගහන්න වුවමනා වුනාම වජිරට ගැසීම

“ඒ විතරක්ද සර්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා කියලා බොරු කියමින් සර්ට ගහන මඩ ප්‍රමාණය බලන්නකෝ,'' යැයි තවත් අයෙක් කීය.

“හැබැයි ඉතින් එක අතකට මේ අය සර්ට ගහන එකෙත් කුමන්ත්‍රණයක් නැතුවම නෙමෙයි. අපි දැන් අහපු කියපු කරුණු කාරණා එක්ක සර්ව මේ අය ටාර්ගට් කරන්නේ ලොකු හේතුවකට. මොකද සර් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ළඟම කෙනා. ඒ වගේම එතුමාව ජනාධිපතිධූරය දක්වා ගෙන ඒමට ඔබතුමා කළ කාර්යභාරය දැන් අපිට කරුණු කාරණා ඇතිවම දැනගන්න ලැබුණා.

එහෙම බැලුවම ඉතින් රනිල්ට ගහන්න තියෙන තවත් එක විදිහක් තමයි වජිරට ගහන එක. ඒක ඉතින් පක්ෂයට පිටතින් වගේම පක්ෂය ඇතුළතිනුත් සිදුවෙනවා. ඒක තමයි කණගාටුව,” යැයිතවත් කෙනෙක් පැවසී ය.

නෙක්ස්ට් ලෙවල් පොලිටීෂන්


wajirajpg
“අපිට කවුරුත් මඩ ගහන එකෙන් වැඩක් නෑ. අපිට අවශ්‍ය කරන්නේ මේ රට සහ රටේ ජනතාව ආරක්ෂා කිරීම පමණයි. ඒක අපි එදත් කළා හෙටත් කරනවා. මේවා පිටිපස්සේ අපේ රටේ ජනතාව නොදැනුවත් උනාට ජාත්‍යන්තරය ඉන්න පුළුවන්. අපේ මහජනතාව ඒවා ගැන නොදැනුවත්ව ඇතැම් අවස්ථාවල දී ජාත්‍යන්තරයට අවශ්‍ය කරන විදිහට ඉන්නවා. කොහොම හරි කමක් නෑ, අවශ්‍ය වෙලාවට අපේ සහයෝගජය අපි දෙනවා.” වජිර මෙසේ කියමින් පැය දෙකකට අධික කාලයක් පැවැත්වුණු සහද සාකච්ඡාව නිමා කරන්නට සිදු වූයේ වජිරට වෙනත් කටයුත්තකට සහභාගී වීමට තිබුණු බැවිනි. කෙසේ වෙතත් වජිර ඔවුන්ට සමුදෙමින් පැවසුවේ තවත් දිනයක මෙලෙස යළි මුණගැසෙමු යැයි පවසමිනි.

පැය දෙකකට පමණ පසු වජිර පිටව යෑමෙන් පසු තවත් සුළු වෙලාවක් රැඳි සිටි මෙම පිරිස වජිරගේ මාධ්‍ය ලේකම්වරයා සමග පවසා තිබුණේ “මේ ඉන්නේ අපි හිතන් හිටපු වජිර නෙමෙයි. සමාජ මාධ්‍ය ඇතුළෙ බැලුවම අපි දකින්නේ වෙනම කෙනෙක්. ඒ උනාට මේ කතා බහ ඇතුළෙ අපි නම් දැක්කේ එකම එක දෙයයි, වජිර කියන්නේ නෙක්ස්ට් ලෙවල් පොලිටීෂන් කෙනෙක්...”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න