ප්‍රවීණ අංග රචනා ශිල්පී වසන්ත විට්ටච්චි මහතා අප අතරින් වෙන්ව ගොස් පසුගිය පෙබරවාරි 26වන දාට වසරකි. මතු පළ වන්නේ ඔහු ගේ වර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් ලියවුණු සටහනකි.
අංග රචනා කලාව බඳු සංකීර්ණ විශය පථයක් තුළ කටයුතු කරන ශිල්පීන් අතර සිටින ජ්‍යේෂ්තම සහ ප්‍රවීණතම සුවිශේශී චරිතයක් පිළිබඳ මෙහිලා සඳහන් කළ යුතුම ය. ඔහු ප්‍රවීණ අංග රචනා ශිල්පී, අංග රචනා කලාව පිලිබද කථිකාචාර්‍ය වසන්ත විට්ටච්චි මහතා ය.
විශිෂ්ටතම අංග රචනා ශිල්පියා ලෙස ජාතික මට්ටමේ සම්මාන 43ක්
අද වන විට ඔහු මෙරටට පමණක් නොව ලෝකයට ම විශේෂ පුද්ගලයෙකු බවට පත් වෙමින් සිටී. තම හැකියාවෙන් දශක කිහිපයක් පුරා ඔහු මෙරට කලාව තුළ තැබු සලකුණු සම කළ නොහැකි ය. වේදිකාව, රූපවාහිනිය, සහ සිනමාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයෙන් ම ජාතික මට්ටමේ සම්මාන 43ක් විශිෂ්ටතම අංග රචනා ශිල්පියා ලෙස ඔහු දිනා ඇත. එය මෙරට අන් කිසිවෙකුට බිඳ හෙලිය නොහැකි වාර්තාවකි. එසේම එය ලෝක වාර්තා අතරට යන්නක් ද යන්න සොයා බැලීමට කටයුතු කිරීම ද වටී.
රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පියෙකු ලෙස ද සම්මානයට පාත්‍රව
1984 වසරේ දී මුල් වරට යෞවන සම්මාන උලෙළක දී සම්මානයට පාත්‍ර වූ වසන්ත විට්ටච්චි මහතා එතැන් සිට පසුගිය වසර දක්වා ම වූ මෙරට ජාතික මට්ටමේ සම්මාන උලෙළ කිහිපයක ම විශිශ්ටතම අංග රචනා ශිල්පියා ලෙස මෙන්ම රංගන ශිල්පියෙකු සහ රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පියෙකු ලෙස ද සම්මානයට පාත්‍ර විය. ඔහු සම්මාන නොලැබූ හෝ සම්මන සඳහා නිර්දේශ නොවූ සම්මාන උලෙලක් ගෙවුණු වසර 35ක කාලයෙන් අපට සොයා ගත නොහැකි ය. ඔහු එතරම්ම විශිෂ්ටයෙකි. අංග රචනා ශිල්පීය දැනුම තවත් පිරිසකට ලබා දීම සඳහා ඔහු කටයුතු කරමින් සිටියේ ය. කොලඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්‍යවරයෙක්, රාජ්‍ය නාට්‍ය පාසලේ කථිකාචාර්‍යවරයෙක් සහ ජාතික තරුණ සේවා සභාව ආදී පිළිගත් ආයතන තුළ ඔහු අංග රචනා කලාව පිළිබඳ සිය දැනුම බෙදා දෙමින් සිටි යේ ය.
විට්ටච්චි ගේ අවංක උත්සාහය
මේ සියල්ලටම පරිබාහිරව මෙරට අංග රචනා කලාවට වෘත්තිමය පිළිගැනීමක් ලබා දීම උදෙසා වසන්ත විට්ටච්චි මහතා කළ කැප කිරීම සිහිපත් කළ යුතු ම ය. මෙරට ප්‍රථම වරට බිහිවූ ශ්‍රී ලංකා වෘත්තිය අංග රචන ශිල්පීන් ගේ සංගමයේ ආරම්භක සභාපතිවරයා වන ඒ මහතාට අඛණ්ඩව වසර කිහිපයක් එම නිලය හෙබවීමට සිදු වූයේ සියලු ශිල්පීන් ගේ ඉල්ලීම අනුවය. එම සංගමය තුළින් මෙරට අංග රචනා ශිල්පීන් ගේ වෘත්තිය ගරුත්වය රැක දීම උදෙසා ඔහු කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය වේ. කිසි විටෙකත් ආධුනික ශිල්පීන් පහළ නොහෙළුෑ ඔහු දක්ෂයින් අගය කිරීමට මැළි නොවන්නෙකි. නමුත් විෂය පිළිබඳ හැදෑරීමක් හෝ අත්දැකීමක් නොමැතිව ඒ වෙනුවෙන් කැපවීමක් හෝ නොකරමින් අංග රචනා කරන්නේ යැයි පවසන ඇතැමුන්ව විවේචනය කිරීමට ද විට්ටච්චි මහතා පසුබට නොවුණේ මෙම වෘත්තියේ වටිනාකම හා ගරුත්වය රැක ගැනිම උදෙසා ම ය. ඔහු ගේ ම වචනයෙන් කියන්නේ නම් "අපතයින්ට" නොව දක්ෂයින්ට අත දී මෙරට අංග රචනා කලාව ගෞරවනීය වෘත්තියක් බවට පත් කිරීමේ අවංක උත්සාහයක් ඔහු දරමින් සිටීම මෙම ක්ෂේත්‍රයේ වාසනාවකි. අදට ද, මතුවට ද, මෙම කලාවට පිවිසෙන වෘත්තිකයින් ගේ වාසනාවකි. එමෙන්ම වසන්ත විට්ටච්චි මහතා බඳු ප්‍රවීණයකු අංග රචනා කලාවට මෙන් ම අපේ රටට ද වාසනාවකි. ආධුනික, ජ්‍යේෂ්ඨ භේදයකින් තොරව ඔහු සියලු දෙනා අතර ප්‍රශංසාවට ලක්වන්නේ එබැවිනි.
අප සංගමයේ හිටපු සභාපතිතුමනි..., වසන්ත විට්ටච්චි ජ්‍යේෂ්ඨයාණනි..., ආදරණීය වසන්ත අයියේ
ඔබ අපේ හදවත් තුළ සැමදා ජීවමානයි...
නයන උජිත් ප්‍රනාන්දු - සභාපති, ශ්‍රී ලංකා වෘත්තීය අංග රචනා ශිල්පීන්ගේ සංගමය
නයන උජිත් ප්‍රනාන්දු

