2026 මැයි 17 වන දින, ඩී. බී. එස්. ජෙයරාජ් ‘ද මෝනිං’ (The Morning) පුවත්පතේ සිය අවසාන තීරු ලිපිය පළ කළේ ය. දශක හතරකට පමණ පෙර තමාට හැර යෑමට සිදු වූ රටක් ගැන කැනඩාවේ සිට ලියමින් සිටි පුද්ගලයකුගේ පරිස්සමෙන් සහ මනාව සිතා බලා ලියූ මාධ්‍ය වාර්තාවක්, ඔහුගේ පෙර ලිපි මෙන් ම කිසිදු ආන්දෝලනයකින් තොරව පළ විය. ඊට දින කිහිපයකට පසු ඔහු මෙලොවෙන් සමු ගත්තේය. ඔහු ගේ වියෝව ලාංකීය දෙමළ මාධ්‍ය කලාව තුළ: විනය, සදාචාරාත්මක බැරෑරුම්කම සහ එහි පුළුල් පරාසය අතින් අන් කිසිවකට සම කළ නොහැකි වූ කර්තව්‍යයක නිමාව සනිටුහන් කරයි.
විශ්වාසවන්ත බවට පත් කළ සූක්ෂ්ම කරුණු
බොහෝ දෙනකු අතර 'ඩීබීඑස්' (DBS) නමින් ප්‍රකට ඔහු 1970 දශකයේ අග භාගයේ දී, මුළු පරම්පරාවක් ම වෙළා ගත් ජනවාර්ගික ගැටුමකට ශ්‍රී ලංකාව හරියට ම ඇදී වැටෙමින් තිබූ අවධියක, වීරකේසරී දෙමළ දිනපතා පුවත්පතෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය. 1980 දශකයේ මුල් භාගයේ සිට The Island, The Hindu සහ පසුව බීබීසී (BBC) දෙමළ සේවයටත් සිය දායකත්වය ලබා දුන් ඔහු, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) අතර පැවති සිවිල් යුද්ධය පිළිබඳව වාර්තා කළේය. පුළුල් මූලාශ්‍ර ජාලයක් සහිතව, විශ්වසනීයත්වය දුර්ලභ මෙන්ම බොහෝ විට අනතුරුදායක වූ පරිසරයක ඔහු ගේ කටයුතු විශ්වාසවන්ත බවට පත් කළ සූක්ෂ්ම කරුණු පරීක්ෂාවකින් යුතුව ඉතා සමීපව සිටිමින් ඔහු වාර්තා කිරීමේ යෙදුනේය.
‘මහත්තයා’ සමග සම්මුඛ සාකච්ඡාවක්
අනතුර මනඃකල්පිත එකක් නොවීය. 1983 ජූලි මාසයේ ශ්‍රී ලංකාව කම්පා කළ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය ඔහුගේ මාධ්‍යවේදී හඬ හැඩ ගැස්වීය. සිදු වූ සැණින් සිදුවීම් වාර්තා කිරීමේ දැඩි අධිෂ්ඨානය සහිතව ඔහු යළි කොළඹ බලා ආවේය. ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම යටතේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 1987 ඔක්තෝබරයේ ඔහුව අත්අඩංගුවට ගැනුණේ, ඔහු සටන්කාමීන් කෙරෙහි දැක්වූ පක්ෂපාතිත්වයක් නිසා නොව, ඊට හාත්පසින් ම වෙනස් හේතුවක් නිසා, එනම්, ඔහු නිල ප්‍රකාශ ප්‍රතික්ෂේප කොට, එල්ටීටීඊ නායක ‘මහත්තයා’ සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ප්‍රකාශයට පත් කිරීම නිසා ය. ඔහු නිදහස ලද්දේ දැඩි ජනතා මැදිහත් වීමකින් පසුව පමණි. ඔහු 1988 දී හාවඩ් විශ්වවිද්‍යාලය බලා පිටත් ව ගොස් අවසානයේ කැනඩාවේ පදිංචි වූ ඔහු, වඩාත් ආරක්ෂිත දුරක සිට, එහෙත් නොසැලුනු කැපවීමකින් යුක්තව ශ්‍රී ලංකාව පිළිබඳව දිගින් දිගටම තොරතුරු වාර්තා කළේය.
ප්‍රචණ්ඩකාරී පහර දීම් සහ මූල්‍ය පීඩා හමුවේ වසා දැමූ 'මංජරී'
පිටුවහල් ව සිටියදී, 1990 දශකයේ මැද ඔහු ස්වාධීන දෙමළ සතිපතා පුවත්පතක් වූ 'මංජරී' ආරම්භ කළේය. බොහෝ විට දැඩි අවදානමක් මැද, එය ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳව අපක්ෂපාතී ව වාර්තා කළේය. ප්‍රචණ්ඩකාරී පහර දීම් සහ මූල්‍ය පීඩා හමුවේ 1995 දී එය වසා දැමීමට සිදු විය. එහෙත්, ඔහු නොකඩවා ලීවේය. ඉන්දියාවේ දේශපාලන ගැටලු සහ දෙමළ ජනප්‍රිය සංස්කෘතිය විමර්ශනය කරමින් ඔහු, දේශපාලන ඉතිහාසය සහ ශ්‍රී ලංකාව සමඟ පවතින පවුල් සබඳතා පිළිබඳව කරුණු සොයා බලමින් සතිපතා තීරු ලිපියක් ලීවේය. ඔහු විශ්‍රාම ගියේ නැත; ඔහු තම ස්ථාවරයන් ලිහිල් කළේ ද නැත; ඔහු අවසානය තෙක් ම ලිව්වේ ය.
'ද්‍රෝහී කරණය' (traitorisation) ලේබලය
ඩීබීඑස්. ඔහුගේ සමකාලීනයන් බොහෝ දෙනෙකුගෙන් වෙන් කර දැක්වුණේ ඔහු සතු කැපී පෙනෙන ධෛර්යය නිසාම පමණක් නොවේ; තම ප්‍රජාව කෙරෙන්ම නිසි වගවීම ක් ඉල්ලා සිටීමට ඔහු දැක්වූ දැඩි ස්ථාවරය යි. ඔහු ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ සංවිධානය කළ අපරාධ එක හා සමාන විමර්ශනාත්මක නිවැරදිතාවකින් යුතුව ලේඛනගත කළේය. ඔහු 'ද්‍රෝහී කරණය' (traitorisation) ලෙස හැඳින්වූ සංසිද්ධිය, "භයානක ගොබෙල්ස් පන්නයේ ක්‍රියාවලියක්[i]" ලෙස ඔහු විස්තර කොට, ඔහු එහි මූල හඹා ගියේය. ඒ සාක්ෂි මත පදනම් නොවී, ප්‍රචාරක බලය යොදා ගනිමින් දේශපාලන ප්‍රතිවාදීන් අභූත ලෙස ද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසීමේ ක්‍රියාවලියකි. ඔහු ජී. ජී. පොන්නම්බලම් යුගයේ සිට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නැඟ ඒම හරහා, වෙනත් දේශපාලන මාවතක් යෝජනා කළ ඕනෑම අයකු ක්‍රමානුකූල ව විනාශ කර දැමීමේ එල්ටීටීඊ ක්‍රියාවලිය දක්වා ද වූ මෙම ක්‍රියාවලියේ ගමන් මග සොයා බැලීය.
ඔහුගේ අභාවයෙන් පසු බහුලව උපුටා දක්වා ඇති එක් ඡේදයක, ඔහු මෙම ගමන් මග තියුණු අන්දමින් සහ උපහාසාත්මක ව මෙසේ සිතියම් ගත කළේ ය.
"හතළිස් ගණන්වලදී, 'පනහට පනහ' (fifty-fifty) ප්‍රතිපත්තිය පිළි නොගත් ඕනෑම දෙමළ ජාතිකයෙක් ද්‍රෝහියෙකු විය. නිදහසින් පසු, ෆෙඩරල් වාදය ප්‍රතික්ෂේප කළ ඕනෑම දෙමළ ජාතිකයෙක් ද්‍රෝහියෙකු විය. පසුව වෙනම දෙමළ රාජ්‍යයකට විරුද්ධ වූ ඕනෑම දෙමළ ජාතිකයෙක් ද්‍රෝහියෙකු බවට පත් විය. ඉන් පසුව, සන්නද්ධ අරගලයට එරෙහිව විරෝධය පෑ ඕනෑම දෙමළ ජාතිකයෙක් ද ද්‍රෝහියෙකු බවට පත් විය.''
එම ලේබලය ඇල වූයේ කුමන පාර්ශ්වයකින් ද යන්න නොසැලකූ ඔහු ගේ මාධ්‍යවේදය මෙම සෑම වින්දිතයෙක් පිළිබඳව එකම නිවැරදිතාවකින් හා සදාචාරාත්මක බැරෑරුම් කමකින් යුක්තව වාර්තා කළේය.
විශ්වසනීයත්වය ජනවාර්ගික සීමාවලින් ඔබ්බට
ඉදිරි මාවත වැටී ඇත්තේ සාකච්ඡා සහ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් බව විශ්වාස කළ දෙමළ නායකයින් ගේ දේශපාලන පිළිගැනීම සහ ජාත්‍යන්තර කීර්තිය, දෙමළ ජනතාවගේ එකම නීත්‍යානුකූල නියෝජිතයා තමන් බවට එල්ටීටීඊ සංවිධානය කළ ප්‍රකාශයට අභියෝගයක් එල්ල කළ බැවින් එම සංවිධානය විසින් ඝාතනය කරන ලද නායකයින් කෙරෙහි ඔහු විශේෂ අවධානයක් යොමු කළේ ය. ඩීබීඑස්. සදාචාරාත්මක නිරවුල් බවකින් යුක්තව එම ඝාතන දෙස බැලුවේ ය. එල්ටීටීඊ සංවිධානය ඔවුන්ව ඝාතනය කළේ ඔවුන් දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි නිසා නොව, ඔවුන් තුළ ඒ වෙනුවෙන් වූ කැප වීම නිසා ම බව ඔහු තේරුම් ගත්තේය. පෞද්ගලික අවාසිදායක තත්ත්ව මැද්දේ ඔහු යළි යළිත් එසේ කියා සිටියේය.
හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සහ ක්ෂමා ජාත්‍යන්තරය (Amnesty International) යන සංවිධාන ඔහුගේ වැඩ කටයුතු ගැන විශ්වාසය තබා කටයුතු කළහ. විදේශගත ප්‍රජාවේ බොහෝ පාඨකයන් ඔහු වෙත යොමු වූයේ, වෙන කිසි තැනකින් සොයා ගත නොහැකි වූ කරුණු, එනම්, තනි මතයකට පමණක් සීමා නොවූ, කරුණුවල සංකීර්ණත්වය පිළිගත් සහ ප්‍රජාවට ම තම ක්‍රියාකලාපය පිළිබඳ වග වීමක් ලබා දුන් මාධ්‍යවේදයක් ඔහු ගෙන් ලැබුණ බැවිනි. ඔහුගේ විශ්වසනීයත්වය ජනවාර්ගික සීමාවලින් ඔබ්බට පැතිරී ගියේය. සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යන සියළු ශ්‍රී ලාංකිකයෝ ඔහුව කියවූහ. ඔහුව විශ්වාස කළහ. ඒ විශ්වාසය දිනා ගත්තේ දශක ගණනාවක් තිස්සේ තොරතුරු විකෘති කිරීමෙන් තොරව වාර්තා කිරීමෙනි.
ලේඛනාගාරයක උරුමකරුවා
සැම දෙනා ම පිළි ගන්නා අන්දමට, ඔහු තමන්ට තහවුරු කර ගත නොහැකි වූ කිසිවක් ප්‍රසිද්ධ නොකළ කෙනෙකි. කරුණු තහවුරු කිරීම සඳහා ඔහු අනුගමනය කළ සූක්ෂ්ම ක්‍රමවේදය ඔහු සතු සුවිශේෂ ලක්ෂණයක් ලෙස ඔහුගේ සගයෝ විස්තර කළහ; ඔහුට අවශ්‍ය වූයේ පුවතක් මුලින් ම වාර්තා කිරීමට නොව, එය නිවැරදිව වාර්තා කිරීමට ය. විවිධ පැතිවලින් එළඹෙන ප්‍රචාරණවලින් පිරී ඉතිරී ගිය පරිසරයක, එම විනය හුදෙක් වෘත්තීමය ගුණාංගයක් පමණක් නොවී ය. එය එක්තරා ආකාරයක විරෝධය දැක්වීමක් ද වූයේ ය. ඔහු ගේ උරුමය ලේඛනාගාරයකි: එනම්, දෙමළ දෘෂ්ටිකෝණයකින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම පිළිබඳව ලියැවුණු වඩාත් පුළුල් ම මාධ්‍ය වාර්තා, විවරණ සහ විශ්ලේෂණවලින් සමන්විත දශක ගණනාවක වාර්තාකරණයකි. අනාගත ඉතිහාසඥයෝ එය පරිශීලනය කරනු ඇත. එය ප්‍රචණ්ඩත්වය සහ දේශපාලන අසාර්ථකත්වයන් පමණක් නොව, ඝාතනයට ලක් වූ පුද්ගලයින් සහ නායකයින්, අවතැන් වූ ප්‍රජාවන් මෙන්ම අත්හැර දැමීමට සිදු වූ අපේක්ෂා පිළිබඳව ද ලේඛනගත කර ඉදිරිපත් කර ඇත්තේ එම සමාජය තුළම ගැඹුරින් නියැළී සිටි අයකුට පමණක් සැපයිය හැකි සුවිශේෂී නිවැරදිතාවකින් යුක්තව ය. දෙමළ ප්‍රජාව ඔවුන්ගේ ඓතිහාසික වාසස්ථානවලින් ස්ථිර අන්දමින් විසිර යෑම සහ ඒ සමග බැඳුණු දේශපාලන ඛේදවාචක, වෙන කිසිවකුට ළඟා විය නොහැකි තරමේ දැඩි නිවැරදි බවකින් යුතුව ඔහු වාර්තා කළේය.
මාධ්‍යවේදයක තිබිය හැකි උපරිම ගුණාංගය
ඔහු සිය වැඩ කරන ජීවිතයෙන් වැඩි කලක් ගත කළේ රටින් බැහැරව මෙන් වුව ද, ශ්‍රී ලංකාව කෙරෙහි ඔහු තුළ තිබූ ආදරය හා එහි ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය වෙනුවෙන් ඔහු දැක්වූ කැපවීම කිසිදා හීන නොවීය. සිය පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය නොතකා, සිය අවසන් කාලය වන තෙක් ම තම වැඩ කටයුතු වෙත කැප වී සිටි ඔහු, මිය යාමට ටික කලකට පෙර දී ද තීරු ලිපි ලිවීමේ නිරත ව සිටියේය. එම නොසැලෙන බව, එම පසුබට නොවීම, මාධ්‍යවේදයක තිබිය හැකි උපරිම ගුණාංගය පිළිබඳව ම කරන ලද ප්‍රකාශනයකි. ඩීබීඑස්, දශක හතරක් පුරා, තම ප්‍රජාවට ආදරය කරමින් ම, ඒ ප්‍රජාව ගැන සත්‍යය පැවසීමට ද හැකි බව පෙන්වා දුන්නේය. එම සදාචාරාත්මක ධෛර්යය යනු අන්‍යෝන්‍ය සහයෝගය පාවා දීමක් නොවේ; එහි උත්තරීතර ප්‍රකාශනයකි. අවංකභාවය ඉල්ලා සිටින අයට එරෙහිව ඉතා පහසුවෙන් යුතුව 'ද්‍රෝහියා' යන ලේබලය ඇලවීම, එය අලවන පුද්ගලයන්ගේ ස්වභාවය ගැන සියල්ල හෙළිදරව් කරන නමුත් එයින් එයට ඉලක්ක වන පුද්ගලයන් ගැන කිසිවක් නොකියවේ.
අපගේ හද පිරි ශෝකය
ඔහු ජීවිතය සැමරුවේ සත්‍යය අවධාරණය කිරීමෙනි. ඔහු එසේ කළේ තම ආරක්ෂාව ද පරදුවට තබමිනි. ඔහු එසේ කළේ තම පුවත්පත අහිමි වන බව ද දැන දැනම ය. ඉන් පසුව දශක ගණනාවක් තිස්සේ රටින් බැහැරව සිටිමින් එසේ කළ ඔහු, ඒ තුළින් මාධ්‍යවේදය මෙන්ම සාක්ෂියක් ලෙස ද වැජඹෙන විශිෂ්ට කෘති සම්භාරයක් ගොඩ නැගුවේ ය. ඔහුගේ හැර යාමෙන් ඇති වූ අවකාශය පිරවීම අතිශයින් දුෂ්කර වනු ඇත. ඇතැම් විට එය කිසිදා පිරවිය නොහැකි ද වනු ඇත. ඔහුගේ බිරිඳට සහ පවුලේ සැමට මෙන්ම ඔහු දැන සිටි සියලු දෙනාට අපගේ හද පිරි ශෝකය පළ කර සිටිමු. එසේම, ඔහු අපේක්ෂා කළ පරිදි සන්සුන්ව, අවංකව සහ ඔහු ඉතිරි කර ගිය සේවය වෙනුවෙන් කෘතවේදී වෙමින් අපි ඔහුට උපහාර දක්වන්නෙමු.

ලයනල් බෝපගේ
[i] නාසි පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරකයා මෙන්ම පසුව 1933 සිට 1945 දී සිය දිවි නසා ගන්නා තෙක් ජර්මානු රාජ්‍යයේ ප්‍රචාරක ඇමතිවරයා ද ලෙස කටයුතු කළ ජෝසෆ් ගොබෙල්ස් ගෙන් (Joseph Goebbels) පැවත එන, මහජන මතය පාලනය කිරීමට ක්‍රමානුකූල ව නොනවත්වා යොදා ගන්නා වංචනික පණිවිඩ සහ උපක්‍රමශීලී ප්‍රචාරණ ශිල්ප ක්‍රම.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
