Image

ඉන්ද්‍රජාලික කවිකාර උන්මාද සම්භාෂණය

ඉන්ද්‍රජාලික කවිකාර උන්මාද සම්භාෂණය

"විචාර රාමුවලට, අච්චුවලට හෝ විචාරක දඬුකඳන්වලට කොටු නොවූ කවියන් තිදෙනෙකි. පළමුවැන්නා විමලරත්න කුමාරගම ය; දෙවැන්නා මහගම සේකර ය; තුන්වැන්නා අන් කවරකුවත් නොව, කුමාර හෙට්ටිආරච්චිය..."

ඩබ්ලිව්. ඒ. අබේසිංහ

කවියට පෙම් බඳින, මිනිස්කමට ළැදි සහෘද මානවයන් ගේ ගෞරවණීය හමුවීමෙන්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය අතුරු සිදුරු නැතිව ඉතිරී ගිය ඒ අසිරිමත් සාහිත්‍යමය සැඳෑව ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන්ගේ හරබර ප්‍රඥා පූර්ණ දේශනාවලින් ද, ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්දිකා උපමාලි ඇතුළු ගායන වෘන්දයේ මධුර මනෝහර ස්වර විහිදීම්වලින් ද රසාලිප්ත වූ ඒ සැඳෑව සැබවින්ම සුන්දර කාව්‍යමය උන්මාදයක්ම විය.

ප්‍රවීණ ලේඛක ඩබ්ලියු.ඒ. අබේසිංහ විසින්, සිංහල කවියේ මේ අපූර්ව මානවවාදියාගේ ආත්මීය චාරිකාව නොමැකෙන ලෙස සලකුණු කළ "කුමාර හෙට්ටිආරච්චි මානවවාදී කවියකු සමඟ සංසාරික චාරිකාව" සුවිශේෂී කෘතිය ජනගත කෙරුණු "ඉන්ද්‍රජාලික කවිකාර උන්මාද සම්භාෂණය" එලෙස අතිසාර්ථකව නිමාවට පත්වුණා.

නමුත්... කවුද මේ විචාරකයන්ගේ දඬුකඳන්වලට අසු නොවූ, රසික හදවත් කවි රසයෙන් මත් කළ කුමාර හෙට්ටිආරච්චි නූතන කාව්‍ය රසිකයන් මෙන්ම නවක කවියන් ද අනිවාර්යයෙන්ම කියවිය යුතු, ඔහු ගේ ජීවිතයේ නොඇසූ අපූර්ව කතාංග කිහිපයක්.

1. කෘෂිකර්මයෙන් පිපුණු "සක්මන් මළුව"

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවකුව සිටියදී, 1985 වසරේ දී ඔහු තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන "සක්මන් මළුව" එළිදක්වනවා. පස සහ වගා ගැන විද්‍යාත්මකව හදාරන අතරතුර, ඔහුගේ සංවේදී සිත නිරන්තරයෙන් ම අස්වැද්දුවේ සාහිත්‍යයේ සියුම් මිනිස් හැඟීම් ය.

2. මහා ප්‍රාඥයන් ගේ අත්සන සහ සංසාර පුරුද්ද

කවිය පිළිබඳ මුල් කාලයේ ඇතිවූ චකිතය නිසා ම, ඔහු තම කවි එකතුව රැගෙන පේරාදෙණිය සිංහල අධ්‍යයනාංශයට ගිය මොහොතේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ ආරිය රාජකරුණා යනාදි විද්වතුන් ඔහුව මහත් හරසරින් වැලඳගත්තා. එපමණක් නොව, අපේ යුගයේ මහා ප්‍රාඥ එදිරිවීර සරච්චන්ද්‍රයන් එදින මේ ළාබාල තරුණයාට පැවසුවේ සදාතනික අනාවැකියකි "කවි ලිවීම තමුසෙ ගේ සංසාර පුරුද්දක්, මේක දිගටම කරගෙන යන්න." ප්‍රවීණ කවි සිරි ගුනසිංහ ද ඔහුගේ මුල් කෘතියට පෙරවදන් සපයමින් මග සලකුණු පෙන්වා දුන්නා.

3. කවි පොත් පහට කැපූ කොස් ගස් පහේ අභිමානය

ඔහුගේ කාව්‍ය ජීවිතය පිටුපස සඟවා ඇති, ඇසට කඳුළු උනන අතිශය සංවේදී කතාවක් තිබෙනවා. කුමාර හෙට්ටිආරච්චි කවියා පවසන පරිදි, ඔහුගේ ප්‍රථම කවි පොත් පහ මුද්‍රණය කරවා ගැනීම සඳහා ඔහුගේ ආදරණීය පියා තම වත්තේ තිබූ වටිනා කොස් ගස් පහක් කපා විකුණා මුදල් සොයා දී තිබෙනවා. එදා පියා කළ ඒ උදාර කැපකිරීම, අද මුළු මහත් ලංකාව ම හඳුනන මහා කවියෙකු බිහිකිරීමේ මුල්ගල වුණා.

4. දින කිහිපයකින් උපදින කාව්‍යාවේශයimages 3

ඔහු මාස ගණන් මරමින්, වචන පීරමින් කවි ලියන කවියකු නොවේ. සිතට නැගෙන වේගවත්, ප්‍රචණ්ඩ ආවේශයකින් එක රැයින් ඔහු අතින් මහා කෘති බිහිවෙයි.  ඔහුගේ දෙවැනි කවි පොත "භෂ්මාවශේෂ" ලියා ඇත්තේ දින දෙකකිනි, තුන්වැනි පොත "මහද්වීපය" දින හතරකිනි, 1992 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් "සදාකාලික මධ්‍යහ්නය" කෘතිය ඔහු රචනා කළේ දින තුනක කෙටි කාලයකිනි. මෑතකදී පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පත් වූයේද ඔහුගේ "බොහීමියන් සාංකාවේ ලුම්පන් සහ බුර්ෂුවා" කෘතියයි. ඔහු මේ වන විට කාව්‍ය ග්‍රන්ථ 30කට අධික ප්‍රමාණයක් සාහිත්‍ය ලෝකයට දායාද කර ඇත.

5. "වෑල්ඩින් කවියා" සහ "මැර කවියා"

ලේඛක උපුල් ශාන්ත සන්නස්ගලයන් පවසන පරිදි, කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් එදිනෙදා ඔහුව හැඳින්වූයේ "වෑල්ඩින් කවියා" යන ආදරණීය නමිනි. ඩබ්ලිව්. ඒ. අබේසිංහ වරෙක ඔහුව හඳුන්වා ඇත්තේ "මැර කවියෙක්" ලෙසයි. ඒ, සමාජය දිරවා ගැනීමට අපහසු නිරුවත් ඇත්ත, කිසිදු බියකින් හෝ ආත්මාර්ථයකින් තොරව කවියෙන් අපගේ හෘද සාක්ෂියට සෘජුවම එල්ල කිරීමට ඔහුට ඇති සහජ ප්‍රහාරාත්මක ශෛලිය නිසා ය.

6. සමාජ ප්‍රකම්පන කවියට නැඟීම

ඔහුගේ කවි බොහෝ විට 88-89 භීෂණ සමයේ ලේ වැකුණු අත්දැකීම් සහ පීඩිත පන්තියේ මිනිසුන්ගේ ආත්මීය කතාවන් නිරූපණය කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නුග ගස අසල ලියවුණු, භීෂණයෙන් මියගිය දරුවන් වෙනුවෙන් මව්වරුන් ගේ විලාපය දැක්වෙන "නුග ගසේ කතාව",  පිටකොටුවේ බෝ ගස අසල සිටි ගැබිණි අබිසරු ලියක් දැක ලියූ "බෝධිසත්ව ගබ්සාව", භීෂණ සමයේ පන්සලක ඝණ්ටාර හඬත් සමගම ඇසුණු වෙඩි හඬ මුසු කර ලියූ, "ඩෝං... ඩෝං... ඩෝං..." යන කෙටි ම කවිය එකල සමාජය දැඩි ලෙස කම්පා කළ නිර්මාණ ය.

රසික ප්‍රබෝධය සඳහා කවියාගෙන් ම උපතලත් "කවියට ආභරණ එල්ලන්න ලේසියි, විදග්ධ කවිය ලේසියි. හැබැයි කවියක අමාරුම දේ සරල බව ලබා ගැනීමයි. කවියා පුදුමාකාර ලෙස අව්‍යාජ විය යුතුයි."

කුමාර හෙට්ටිආරච්චි

ඔහුගේ කවිය තුළ ඇත්තේ ඇතුළාන්තය කම්පා කරවන, කියවන රසිකයාව මොහොතකට තිගැස්මකට ලක් කරන අපූර්ව උත්ප්‍රාසයකි. නූතන පරපුරේ කවියන්ට ඔහුගේ භාෂා භාවිතය සහ අව්‍යාජත්වය කවිය පිළිබඳ කදිම මඟපෙන්වීමකි.

කවියට පෙම් බඳින සහෘදයිනි..., සම්ප්‍රදායේ දඬුකඳන් බිඳ දැමූ, හදවතින්ම ලියැවුණු ඒ අසිරිමත් කවි ලෝකය අත්විඳින්න.

ප්‍රවීණ ලේඛක ඩබ්ලිව්. ඒ. අබේසිංහයන් ලියූ "කුමාර හෙට්ටිආරච්චි මානවවාදී කවියකු සමඟ සංසාරික චාරිකාව" කෘතිය අදම කියවා බලන්න.

ක් රිශාන්ත ඩබ්. ඒ්. අබේසිංහ

 

 

 

 

 

 

සටහන - Crishaantha Subhaash

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න