පහත පළවන්නෙ තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ තෙනාම්පෙට්හි වාමාංශික දේශපාලන සාහිත්‍ය සඳහා ඇති ප්‍රමුඛතම පොත් අලෙවි සැලක් සේ සැළකෙන "තිසෛ පොත්හල" හා සම්බන්ධ අවෛයම් පාඨක කවය (அவையம் வாசிப்பு வட்டம்) විසින්, ඉන්දු-ලංකා හවුල් නිර්මාණයක් වූ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ 'පැරඩයිස්' සිනමාපටය පිළිබඳ 2024 වසරේ සිදුකළ සංවාදයේ දී භාෂණ අබේවර්ධන විසින් පළකළ අදහස් ය.
තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රමුඛ සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු සහ මැයි 17 ව්‍යාපාරයේ ප්‍රධාන සම්බන්ධීකාරක තිරුමුරුගන් ගාන්ධි විසින් මෙහෙයවන ලද සාකච්ඡාව සඳහා තමිල්නාඩුවේ ප්‍රකට සිනමා විචාරකයකු හා මාධ්‍යවේදියකු වන යමුනා රාජේන්ද්‍රන් සහ මාධ්‍යවේදී රාජසංගීතන් යන අය දෙසුම්වලින් දායක වූහ.
භාෂණ සහෝදරයා ගේ අදහස් දැක්වීම ආරම්භ වන්නේ මිනිත්තු 47.57 සිටයි.
තිරුමුරුගන් ගාන්ධි: භාෂණ සහෝදරයා, අපි අපේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ දැන් සම්බන්ධවෙලා ඉන්නේ. ඔබේ අදහස් දැන් ප්‍රකාශ කරන්න කැමතිද? ඔබ ඒ තත්ත්වයන් ගැන හොඳින් දන්නවා. එය අපට ඉතා වැදගත් වේවි, ශ්‍රී ලාංකික දෘෂ්ටිකෝණයෙන් හෝ විකල්ප දෘෂ්ටිකෝණයෙන් එය දෙස බැලීම. මොකද අපෙන් බහුතරයකට ශ්‍රී ලාංකික විකල්ප දෘෂ්ටිකෝණයෙන් දේවල් දෙස බලන ආකාරය ගැන සෘජු අත්දැකීමක් නැහැ. සමහරවිට ඔබට අපව දැනුවත් කරන්න පුළුවන් වේවි. ඔබ ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කරන බවත් අපි දන්නවා. ඒ වගේම ආර්ථික අර්බුදයෙන් සහ පාලන තන්ත්‍රය වෙනස් වීමෙන් පසුව දැන් එහි තත්ත්වය කෙසේද යන්න සහ එහි වර්තමාන ගතිකත්වයන් ගැන ඔබ දන්නවා. සමහරවිට චිත්‍රපටය තුළ දිගහැරෙන ක්ෂේත්‍ර ඔස්සේ ඔබට අපව දැනුවත් කළ හැකියි.
මගේ පසුබිම
භාෂණ: ඔව්, චිත්‍රපටයේ සීමාවන්ගෙන් ඔබ්බට යන ප්‍රශ්න මතු වුණොත්, ඒ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න මම අවසාන භාගයේ දී යම් කාලයක් ඉතිරි කරන්න කැමතියි. නමුත් ආරම්භයේ දී, මම චිත්‍රපටයට පමණක් සීමා වී චිත්‍රපටය ගැන මගේ අදහස් ඔබලා සමග බෙදා ගැනීමට උත්සාහ කරනවා. මොකද මම ඇත්තටම මේ චිත්‍රපටය නැරඹුවේ දින කිහිපයකට කලින්. ඒ නිසා චිත්‍රපටය ගැන මගේ අදහස් තවමත් ඉතා නැවුම්. මම එය දෙවැනි හෝ තුන්වැනි වතාවට නරඹන විට එම අදහස් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා මම කරුණු කිහිපයක් සූදානම් කරගෙන තිබෙනවා. කාලය ඉතිරි කර ගැනීම සඳහා මම සූදානම් කළ කරුණු ටික ඉදිරිපත් කරන්නම්. අවසානයේ දී, සැමදෙනාටම ඇති ප්‍රශ්න මත පදනම්ව අපට වඩාත් විධිමත් දේශපාලන සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්. පළමුවෙන්ම, මෙම සාකච්ඡාවට මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව සංවිධායක කමිටුව ඇතුළු සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.
ප්‍රසන්නගේ අලුත්ම චිත්‍රපටය වන 'පැරඩයිස්' (Paradise) පිළිබඳව මගේ අදහස් බෙදා ගැනීමට මට ඉඩ දෙන්න. ඊටත් වඩා, ප්‍රසන්නගේ චිත්‍රපටය මගින් උත්තේජනය වූ කලාව සහ දේශපාලනය පිළිබඳ චෙන්නායි හි වැදගත් විචාරාත්මක සහ ගැඹුරු අදහස්වලට සවන් දීමට මට ලැබීම, මා වැනි පුද්ගලයෙකුට ලැබුණු දුර්ලභ වරප්‍රසාදයක්. මට දෙමළ භාෂාවෙන් දේශනයක් කිරීමට නොහැකි වුවත්, මට දෙමළ බස හොඳින් තේරෙනවා. මට දෙමළ බසින් කතා කිරීමට හා සංවාදයේ යෙදීමට හැකි නමුත් දෙමළ පාඨක පිරිසක් ඉදිරියේ දේශනයක් පැවැත්වීමට තරම් එම භාෂාව භාවිතා කිරීමේ ශක්‍යතාවය ගැන මට විශ්වාසයක් නැහැ. ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.
සම්ප්‍රදායක් ලෙස, මම මුලින්ම මගේ පසුබිම ගැන කෙටියෙන් විස්තර කරන්නම්. එවිට ඔබ සම්පූර්ණයෙන් ම ආගන්තුකයකුට සවන් දෙනවා යැයි ඔබට නොසිතේවි. කලින් ඔබ පැවසූ පරිදි, මම දිවයිනේ දකුණේ ඉපිද හැදී වැඩුණු සිංහලයෙක්. මුලින්ම මම සමාජානුයෝජනය වූයේත්, දේශපාලනීකරණය වූයේත් දිවයිනේ සිංහල සමාජය තුළ පැවති දේශපාලන හා සමාජීය කැළඹීම්වල ගතිකත්වයන් තුළිනුයි. මට වයස අවුරුදු 20 සිට මම මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරනවා. එයින් අදහස් කරන්නේ දශක තුනකට වැඩි කාලයක්, ප්‍රධාන වශයෙන් සිංහල පාඨකයන් වෙනුවෙන් සිංහල භාෂාවෙන් ලියමින් ක්‍රියාකාරිව සිටින බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මීට වසර 17කට පමණ පෙර මට රටින් පිටවීමට සිදුවුණා තවත් එවැනිම පිරිසක් සමග. ඒ නිසා දැනට මම වැටෙන්නේ ස්වයං පිටුවහලේ සිටින ක්‍රියාකාරී මාධ්‍යවේදීන් ගේ ගනයටයි. දිවයිනෙන් පිටත සිටින මගේ සෙසු සහෝදරවරුන් සහ මාධ්‍යවේදීන් සමග මම මාධ්‍යකරණයේ මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරීත්වයන්හි නියැළී සිටිනවා. 2009 වසරේ සිට මම 'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' (Journalists for Democracy in Sri Lanka) හෙවත් පොදුවේ 'JDS' ලෙස හැඳින්වෙන පිටුවහල් කළ මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. කෙටියෙන් කිවහොත් මගේ පසුබිම ගැන කියන්න තියෙන්නේ එපමණයි.
චිත්‍රපටයේ ගුරුත්ව කේන්ද්‍රය
මම දැන් 'පැරඩයිස්' (Paradise) චිත්‍රපටය වෙත යොමු වෙන්නම්. මම හිතනවා හැමෝම එකඟ වෙයි, 'පැරඩයිස්' චිත්‍රපටය එහි විශිෂ්ට සිනමාරූපී දෘෂ්‍යකරණය මගින් නරඹන්නන්ව විස්මයට පත් කරනවාට සැකයක් නැහැ. ඒ අතරම, එය ඔවුන් තුළ භාවමය කම්පනයක් ඇති කරනවා. පාරාදීසය යටින් පවතින දුක්ඛිත හා පීඩිත යථාර්ථය, එහි මතුපිටින් පෙනෙන සුන්දරත්වය සහ පාරාදීසය වටා ගෙතී ඇති මිථ්‍යා කථාන්දර මඟින් ගොඩනගා ඇති ව්‍යාජ මුහුණුවර විනිවිද දැකීමට එය ඔවුන්ට දේශපාලනික වශයෙන් අභියෝග කරනවා.
මෙම අන්තර් ජාල රැස්වීමට සම්බන්ධ වීමට සූදානමක් ලෙස, ඉන්දීය විචාරකයින් විසින් යූටියුබ් හරහා මෙම චිත්‍රපටය ගැන බෙදාගත් විවේචනාත්මක අදහස් කිහිපයකට මම සවන් දුන්නා, ඉන්දීය වෙබ් අඩවිවල පළ වූ ලිපි ගණනාවක් කියෙව්වා. ඉන්දීය වෙබ් අඩවිවල පළ වූ බොහෝ ලිපි කැරකෙන්නේ 'කේෂව්' සහ 'අම්රිතා' යන ඉන්දීය යුවළගේ ආදරය සහ විවාහ සම්බන්ධතාවයේ පවතින ගැටුම් හා අර්බුද වටායි. ඔවුන් ගේ පස්වැනි විවාහ සංවත්සරය සැමරීමේ ආශාව, ඔවුන් ගේ බිඳ වැටෙන සබඳතාවයේ සහ වියැකී යන භාවමය බන්ධනයේ දරුණු යථාර්ථය සමඟ ඛේදජනක ලෙස සමපාත වෙනවා.කෙසේ වෙතත්, මේ ආකාරයේ අදහස් දරන්නේ ඉන්දීය විචාරකයින් පමණක් නොවෙයි. දිවයිනේ සිටින සමහර සිනමා විචාරකයින්, ප්‍රධාන වශයෙන් සිංහල විචාරක පිරිස් පවා, අම්රිතා සහ කේෂව්ගේ ජීවිත තුළ ඇති ගැටුම චිත්‍රපටයේ ගුරුත්ව කේන්ද්‍රය ලෙස සලකමින් සමාන අදහස් දරන බවක් පෙනෙන්නට තිබෙනවා. දිගහැරෙන අවශේෂ සිදුවීම් සහ චරිත කැරකෙන්නේ ඒ වටායි.
උදාහරණයක් ලෙස, මීට සතියකට පමණ පෙර කොළඹදී පැවැත්වුණු, චිත්‍රපටය නිකුත් කිරීම නිමිත්තෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයක් මම අන්තර්ජාලය ඔස්සේ නැරඹුවා. එහිදීත් වැඩිමනත් විචාරකයින් අවධාරණය කළ කරුණු අනුව චිත්‍රපටයේ වැදගත්කම ගැන අඩු වැඩි වශයෙන් සමාන අදහස් දක්වා තිබුණා.
ප්‍රසන්න ගේ නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ දේශපාලන නිරාකූලතාව
නමුත් මට නම්, එහි පසුබිම් සිදුවීම් ලෙස පෙනෙන දේවල් පසුබිමේම තිබෙන්නට බැරි තරම් බලවත්. එබැවින් ඒ පසුබිම් සිදුවීම් වශයෙන් ඇති සිද්ධි සැබෑ ගුරුත්ව කේන්ද්‍රය බවට පත්වන අතර, ඇත්ත වශයෙන්ම අම්රිතා සහ කේෂව්ගේ ජීවිත ක්‍රියාත්මක කරවන්නේ සහ තීරණය කරවන්නේ ඒ හරහායි. මෙයින් අදහස් කරන්නේ, අපට වඩා විශාල යථාර්ථය තේරුම් ගැනීමට කවුළුවක් විවෘත කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවන අර්බුදය නොවන බවයි. ඊට ප්‍රතිවිරුද්ධව, ඔවුන්ගේ පෞද්ගලික ජීවිත තුළ පැසවමින් පවතින, අවසානයේ ඛේදජනක සිදුවීමකින් කෙළවර වන අර්බුදය තේරුම් ගැනීමට අපට කවුළුවක් විවෘත කරන්නේ එම පසුබිමේ ඇති බව පෙනෙන, නමුත් වඩා විශාල පීඩිත යථාර්ථය විසිනුයි. එබැවින් මට අනුව, පැරඩයිස් (පාරාදීසයේ) පරස්පර විරෝධී බව නිරාවරණය වන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණි ඉන්දීය යුවළ වන අම්රිතා සහ කේෂව්ගේ ජීවිතවල අර්බුදය තුළින් නොවෙයි. ඒවා බැලූ බැල්මට ඉදිරියෙන්ම පෙනෙන්නට තිබුණත්, ඇත්ත වශයෙන්ම පරස්පර විරෝධී බව නිරාවරණය වන්නේ පසුබිමේ සිදුවන බිහිසුණු සිදුවීම් මගිනුයි. මම හිතන්නේ පරිණත සිනමාකරුවෙකු ලෙස ප්‍රසන්න ගේ නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ දේශපාලන නිරාකූලතාව සුවිශදව මතු වී පෙනෙන්නේ ඔහු පසුබිම සහ පෙරබිම එකිනෙක මුසු කරන ආකාරය තුළිනුයි.
සියවස් ගණනාවක් පැරණි ජාතික ස්වෝත්තමවාදී ආධිපත්‍යයේ කෲරත්වය
මගේ අදහසට අනුව, චිත්‍රපටය අවසානයේදී පසුබිම පෙරබිමට පැමිණෙන අතර, අප පෙරබිම ලෙස වටහාගෙන සිටි දෙය පසුබිමට තල්ලු වෙනවා. මම මෙය තවදුරටත් පැහැදිලි කරන්නම්. චිත්‍රපටය ආරම්භයේ සිටම, පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ලංකා දූපත් වැසියන් ගේ අතිශය දුක්ඛිත ජීවිතයත්, අම්රිතා සහ කේෂව් ගේ ජීවිතවල උත්කර්ශවත් මොහොතත් එකිනෙකට ප්‍රතිපක්ෂව ඡේදනය කොට පෙන්වනවා. මෙම යුවළ, සිය හිස් ගෑස් සිලින්ඩර ඔසවාගෙන මාර්ග අවහිර කරමින් සිංහ ධජය වනන කෝපාවිෂ්ට ජනතාව පසුකර යමින්, දෙමළ වතුකරයේ කම්කරු පන්තියේ ස්ථිර දුක්ඛිත ජීවිතවලින් වට වූ, නෙත් සිත් පැහැරගන්නා සුළු කඳුකර සංචාරක ස්ථානය වෙත ළඟා වෙනවා. අම්රිතා සහ කේෂව්ගේ ජීවිතවල අලුත් වූ හැඟුම්බර උද්යෝගය මායිම්ව ඇත්තේ, වසර දෙසියයකට වැඩි කාලයක් තිස්සේ පීඩාවට පත් වෙමින් සිටින, ඉඩම් නොමැති, සාහසික සූරාකෑමට ලක් වූ, අර්ධ වහල් ජීවිත ගත කරන දෙමළ වතු කම්කරුවන්ගේ පතුලක් නොමැති දුක්ඛිතභාවයෙනුයි. යටත්විජිතවාදය විසින් ස්ථාපිත කරන ලද වර්ග කේන්ද්‍රීය ධනේශ්වර ක්‍රමය මඟින් පෝෂණය කර ශක්තිමත් කරන ලද, සියවස් ගණනාවක් පැරණි ජාතික ස්වෝත්තමවාදී ආධිපත්‍යයේ කෲරත්වය තමයි අම්රිතා සහ කේෂව්ව මවිතයට පත් කරන මේ සුන්දර පාරාදීසය යටින් විහිද පැතිර පවතින්නේ. මුළු චිත්‍රපටය පුරාම, පීඩිත, අව-වරප්‍රසාදිත, සමාජීයව ආන්තීකරණයට ලක් කරන ලද ජනතාවගෙන් සමන්විත මෙම පිරිස අවසානයේ දඩයමෙ ගොදුරු බවට පත්වීමට පෙර, ඔවුන් වෙනුවෙන් උයමින්, ඔවුන් වෙනුවෙන් දඩයම් කරමින්, යටත් භූමිකාවන් රඟපාමින් පසුබිමේ අවතාර මෙන් සැරිසරනවා.
වතුකරයේ ඉතිරිව සිටින පීඩිතයන් ගේ කෝපයට මැෂින් තුවක්කු ප්‍රහාර
මම හිතන්නේ චිත්‍රපටය ඉතා විශිෂ්ට ලෙස පෙන්වා දෙන්නේ, ජනවාර්ගික හෝ ආගමික පසුබිම නොතකා මුළු මහත් ජනගහණය ම මුහුණ දෙන සාමූහික විරෝධතා සහ සාමූහික දුක්ඛිත තත්ත්ව වර්ධනය වෙමින් පැවතිය ද, පීඩාකාරී ව්‍යුහ තවමත් එලෙසම පවතින බවයි. කෙසේ වෙතත්, මට ඇතැම් උදාහරණ පෙන්වා දිය හැකියි. උදාහරණයක් ලෙස, කුසගින්නෙන් පෙළෙන සිංහල ජනතාව වාර්ගික බැහැරකිරීමේ සහ වර්ග සංහාරක ක්‍රියාවලියේ සංකේතයක් වන සිංහ කොඩි වනමින් පාරට බසියි; ඉන්ධන අවසන් වී බිඳ වැටෙමින් පවතින පද්ධතියක් බේරා ගැනීමට දැඩි ලෙස උත්සාහ කරන, විඩාවට පත් සහ ආර්ථික වශයෙන් බිඳුණු තත්ත්වයක පසුවන සිංහල පොලිස් නිලධාරීන්, තමන්ට අවශ්‍ය පරිදි දඩයම් කළ හැකි දෙමළ සහ මුස්ලිම් මිනිසුන් සොයයි; කුසගින්න, දරිද්‍රතාවය සහ දැඩි දුක්ඛිතභාවය හේතුවෙන් සිදු වූ මංකොල්ලකෑම්වලට සම්බන්ධ අය, ඔවුන්ගේ ජනවාර්ගික අනන්‍යතාවය මත පදනම්ව පහසුවෙන්ම කොටු කරගනු ලබන අතර, විදේශීය සංචාරකයින් සහ දේශීය වැසියන් ඉදිරියේදී ම අමානුෂික වධහිංසාවලට ලක් කර, පසුව පහර දී මරා දමනු ලබයි; තම පවුලේ සාමාජිකයන් අහිමි වූ, යළි යළිත් සූරාකෑමට පාත්‍ර වූ දෙමළ වැසියන්ව, සන්නද්ධ පොලිස් භටයන් විසින් වටලා තර්ජනයට ලක්කරනු ලබයි; වර්ග කේන්ද්‍රීය, පරාධීන ධනේශ්වර රාජ්‍යයක් නියෝජනය කරන සන්නද්ධ පොලිස් නිලධාරියා විසින් දිගින් දිගටම එල්ල කරන තර්ජන තුළ, හඬා වැලපෙන මවකගේ ශෝකය ගිළී යයි. චිත්‍රපටය අවසානයේ අප දකින්නේ, එම වතුකරයේ ඉතිරිව සිටින පීඩිතයන් ගේ කෝපයට මැෂින් තුවක්කු ප්‍රහාරවලින් පිළිතුරු දෙන ආකාරයයි.
ආර්ථික අර්බුදය විසින් උත්ප්‍රේරණය කරන ප්‍රතිවිරෝධතා
දැන් මම හිතන්නේ පසුබිමේ සිදුවන බව පෙනෙන මේ සියලු දේ විසින්, පෙරබිමේ සිටින මුඛ්‍ය චරිත අතර ඇති භාවමය නොගැළපීම සහ වර්ධනය වන ගැටුම තීරණය කොට, තීව්‍ර කරනු ලබන බවයි. අපිට පෙනෙන ඉදිරිපස බිම්කඩෙහි සිටින අම්රිතා සහ කේෂව් යන චරිත දෙකෙහි ජීවිත සහ වටිනාකම්වල ඇති නොගැළපීම නිරාවරණය කරන්නේ ඔවුන්ට පසුබිමේ සිදුවන ආර්ථික අර්බුදය, වර්ග කේන්ද්‍රීය රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික බහුතරවාදයේ උදාසීනත්වය මිස එහි අනෙක් පැත්ත නොවෙයි. එබැවින්, ආර්ථික අර්බුදයෙන් හටගත් සාමූහික දුක්ඛිතභාව පන්ති රේඛාවන් ඔස්සේ සමුච්චය වන නමුත් වාර්ගික රේඛා ඔස්සේ පුපුරා යන ආකාරය චිත්‍රපටය මගින් ඉතා විශිෂ්ට ලෙස මතු කර පෙන්වනවා . මම මෙතැනදි අදහස් කළේ ආර්ථික අර්බුදය විසින් උත්ප්‍රේරණය කරන ප්‍රතිවිරෝධතා පන්ති රේඛාවන් ඔස්සේ රාශීභූත වුවද, ඒවා පුපුරා යන්නේ පන්ති රේඛාවන් ඔස්සේ නොව, ජනවාර්ගික රේඛාවන් ඔස්සේ බවයි. එයින් ප්‍රධාන වශයෙන්ම බිඳ වැටෙන්නේ දිවයිනේ වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජනයා ගේ ජීවිතයි. ජනවාර්ගික පීඩනයේ මර්දනකාරී යාන්ත්‍රණයන් ක්‍රියා කරන්නේ ආරක්ෂක කපාටයක් ලෙසයි. අතීතයේදීත් එය සැමවිටම ක්‍රියා කළේ පන්ති පරස්පරතාවයන් ඔස්සේ ගොඩනැගෙන පීඩනය මුදාහරින ආරක්ෂක කපාටයක් ලෙසයි. පන්ති පරස්පරතාවයන් ඔස්සේ පීඩනය ගොඩනැගෙන විට, පාලක පන්තිය—සිංහල පාලක පන්තිය—එම පීඩනය මුදාහැරීමට සහ එය ජනවාර්ගික පසමිතුරුකමක් බවට පත් කිරීමට මෙම ජනවාර්ගික පරස්පරතාවයන් ආරක්ෂක කපාටයක් ලෙස භාවිත කරනවා.
කේෂව් සහ අම්රිතා ගේ ජීවිතවල පරස්පරතා වියා පෙන්වීම
එබැවින්, ප්‍රසන්න මෙම චිත්‍රපටය හරහා 2022 සහ 2023 වසරවල සිදු වූ මහජන නොසන්සුන්තාවයේ සිදුවීම් අම්රිතා සහ කේෂව්ගේ ජීවිත වටා වියන බවක් මතුපිටින් පෙනෙන්නට තිබුණත්, ඇත්ත වශයෙන්ම චිත්‍රපටයෙන් සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. එයින් කරන්නේ පසුබිම් සිදුවීම් වටා කේෂව් සහ අම්රිතාගේ ජීවිතවල පරස්පරතාවයන් වියා පෙන්වීමයි. චිත්‍රපටය අවසානයේදී අපට වැටහෙන්නේ පසුබිමෙහි අප දකින සමාජ-දේශපාලනික ප්‍රතිවිරෝධතා ඇත්ත වශයෙන්ම චිත්‍රපටයේ කේන්ද්‍රයේ පවතින බවත්, මෙම ඉන්දීය යුවළගේ සබඳතාවය තීරණය කරන්නේ එය විසින් බවත්ය. පසුබිම් සිදුවීම්වල බලපෑම සහ එම පසුබිම් සිදුවීම් කෙරෙහි ඔවුන් දරන පරස්පර විරෝධී ස්ථාවරයන් තුළින්, ඔවුන් අතර ඇති ආකල්පමය භාවමය නොගැලපීම සහ ඔවුන් අතර ඇති සදාචාරමය හා දේශපාලනික වටිනාකම්වල ඇති නොවිසඳිය හැකි පරස්පරකම් අප දකිනවා.එබැවින් මගේ අදහසට අනුව, 'පැරඩයිස්' යනු ඉන්දීය යුවළක ගෙ බිඳවැටෙන විවාහයක සංකීර්ණතා පිළිබඳ චිත්‍රපටයකට වඩා, ව්‍යුහාත්මක ජාතිවාදය, ගැඹුරු වන ආර්ථික අසමානතාවයන් සහ බිඳ වැටෙමින් පවතින ඉන්දියන් සාගරයේ දූපත් රාජ්‍යයක පවතින වාර්ගීකරණය කළ රාජ්‍ය ප්‍රචණ්ඩකාරී පිළිවෙත් පිළිබඳ ඉතා බලවත් දේශපාලනික චිත්‍රපටයක්. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත තුළ අප දකින වර්ධනය වන ධ්‍රැවීකරණය විසින් පෙන්නුම් කරන්නෙ, පසුබිමේ සිදුවන වඩාත් මූර්ත සංකීර්ණ සමාජ හා ආර්ථික ධ්‍රැවීකරණය පිළිබඳ වඩා තීව්‍ර ප්‍රතිබිම්භයක්.
ප්‍රසන්න ගේ සිනමාකරණයේ පූර්ණ පරිණතභාවය සංකේතවත් කරන චිත්‍රපටයක්
අවසාන අදහසක් ලෙස මම හිතන්නේ, ප්‍රසන්නගේ සිනමාත්මක පරිකල්පනයේ බලය තීරණය කෙරෙන්නෙ, මිනිස් දුක්ඛිතභාවයත්, ආර්ථික වශයෙන් සිදුකෙරන ආන්තීකරණය සහ නිමක් නැති ජාතිවාදී පීඩනය මත පදනම්වූ 'පාරාදීසය' පිළිබඳ ව්‍යාජ උත්කර්ශවත් ගොඩනැංවීම් විනිවිද දැකීමට ඔහුට ඇති හැකියාව මතයි. මම ඔබ සමඟ බෙදා ගැනීමට අදහස් කළ කරුණු එතැනින් අවසන් වන බව මම හිතනවා.
මම ප්‍රසන්න සමඟ සමීපව කටයුතු කර තිබෙනවා. ඔහු ගේ ඇතැම් චිත්‍රපට පිළිබඳ මම විවේචනාත්මකව ලියා තිබෙනවා වගේම ඇතැම් චිත්‍රපට මුහුණ දුන් වාරණයන්ට එරෙහිව ප්‍රචාරක කටයුතුවලත් මම සම්බන්ධ වී තිබෙනවා. උදාහරණයක් ලෙස, යමුනා රාජේන්ද්‍රන් සහෝදරයා පැවසූ 'පුරහඳ කළුවර' (Death on a Full Moon Day) චිත්‍රපටය තහනම් කළ අවස්ථාවේ දී, රට තුළ විරෝධතා ව්‍යාපාර පවත්වමින් එම වාරණයට එරෙහිව අපි කටයුතු කළා. එමෙන්ම මා එතරම් සාධනීයව නොදැකපු වෙනත් චිත්‍රපට තිබෙනවා. නමුත් ඔහු ගේ සියලුම චිත්‍රපට නරඹා ඇති කෙනෙකු ලෙස මගේ අදහස නම්, 'පැරඩයිස්' චිත්‍රපටය මඟින් මූලිකවම දේශපාලන සිනමාකරුවෙකු ලෙස ප්‍රසන්නගේ සිනමාකරණයේ පූර්ණ පරිණතභාවය සංකේතවත් කරන බවයි.
මගේ අදහස් දැක්වීම මෙතැනින් අවසන්. චිත්‍රපටයේ අන්තර්ගතය තුළ හෝ චිත්‍රපටය මඟින් බෙදාගන්නා අදහස්වලින් ඔබ්බට යන ඕනෑම සංවාදයකට මෙතැන් සිට සම්බන්ධ වීමට මම කැමතියි.
මෙම වැදගත් අවස්ථාවට දුරස්තව හෝ සම්බන්ධ වීමට මට ආරාධනා කළ තිරුමුරුගන් ගාන්ධි සහෝදරයා ඇතුළු සියලු ම සහෝදරවරුන්ට නැවත වරක් බොහෝම ස්තූතියි...!

පරිවර්තන සටහන - Mandis Murrukkuwadura
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
