Image

යහපත් රටක් උදෙසා යතිවර ලකුණ; මාදුළුවාවේ සෝභිත නායක මාහිමි

යහපත් රටක් උදෙසා යතිවර ලකුණ; මාදුළුවාවේ සෝභිත නායක මාහිමි

අද අප සිටින්නේ අපගේ ශ්‍රේෂ්ඨ උරුම සහිත ජාතික ජීව ගුණය පිළිබඳව අවලෝකනය කරමින් අනාගතය නිවැරදි ලෙස ගොඩනගා ගත යුතුව ඇති අවධියක ය. වසර 2500කට අධික පැහැදිලි උරුමයක් හිමි එමෙන් ම මහා සංස්කෘතින්හි රැස් වළලු ඉදිරියේ පවා අප සතු අනන්‍යතා සුරක්ෂා කර ගනිමින් ඉදිරියට ආ ජාතියක් ලෙස නූතන ලෝකයේ අප පෙනී සිටිය යුත්තේ ඉදිරි දැක්මකින් යුතුව ය. එහි දී අප රැක ගත් සාර පුරුෂාර්ථ ආරක්ෂා කරගැනීම අපගේ පරම වගකීම බවත් ජාතියක් ලෙස අප සිහිපත් කර ගත යුතුව තිබේ.

මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් බඳු අසහාය මහා සංඝ පිතෘන් වහන්සේ නමක් අපට මහා ප්‍රදීපස්ථම්බයක් වන්නේ එහි දී ය. ආර්ථික, සමාජීය, ආගමික හා සංස්කෘතික ආදි සෑම පරාසයක් තුළ ම සිදුවෙමින් පවතින විපරීතයන් සලකා බැලීමේ දී උන්වහන්සේ  දිවමන්ව සිටිය දී අපට පෙන් වූ මඟ එතැන දි කිසිසේත්ම මඟහැර යා නොහැකි ය.

මාදුළුවාවේ සෝභිත නායක මාහිමි චරිතය සැලකිල්ලට ගැනීමේ දී  පළමු කොට බුද්ධ පුත්‍රයකු වශයෙන් ද දෙවනුව සාර සමාජයක් උදෙසා කැප වූ සංස්කෘතික පුනර්ජීවකයෙක් ලෙසට ද තෙවනුව විශේෂයෙන් ම මේ රටේ දේශපාලන සංස්කෘතියෙහි දැවැන්ත පරිවර්තනයක් සඳහා යෝධ මග පෙන්වන්නකු ගේ කාර්ය භාර්යයකට උර දුන් මහරු  චරිතයක් ද හඳුනා ගත හැකි ය.

උන්වහන්සේ ඒ සියලු කාර්යයන්ට නායකත්වය දෙන ලද්දේ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට පාදක වූ සංස්කෘතික හර හා ඒ තුළ දැවැන්තම ගාමක බලවේගයක් ද වූ භික්ෂු චරිතයට හිමි විය යුතු වු ගරුත්වය උපරිම අන්දමට ආරක්ෂා කරගනිමිනි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක ලෙස තමන් වහන්සේ සතු වූ වගකීම ඉහළින් ම සැලකිල්ලට ගනිමිනි. උන්වහන්සේ බණ පදයක් නොකී පන්සලක්, ගමක්, නගරයක් සොයාගැනීමට අපහසු වන්නේ එහෙයිනි. සිය සැදැහැවතුන්ගෙන් ලැබෙන දාන මාන පවා මේ රටේ දුෂ්කර ගම් දනව්හි වැඩවසන භික්ෂුන් වහන්සේලාට හා විහාරස්ථානවලට පමණක් නොව පීඩාවට පත් බොහෝ ගිහියන් වෙත ද ප්‍රතිදානය කළ අවස්ථා ගිණිය නොහැකි තරම් ය.

රටේ සමාජ සාරධර්ම වර්ධනය පිණිස ද අධ්‍යාපන ක්ෂත්‍රය තුළ ද උන්වහන්සේ කර ඇති මැදිහත්වීම කොතරම් ද යන්න වටහා ගැනීමට ඇති හොඳම සාධකය උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු සමාජය තුළ දැකිය හැකි නායකත්ව රික්තයෙහි පරිමාවයි. පරිවේණාධිපතිවරයෙක්, අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය දුන් දැවැන්ත චරිතයක්, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නැගී සිටි අරහත් ධජයක්, දේශීය ආර්ථිකයකට මග පෙන්විය හැකි ව්‍යවසායකත්ව ප්‍රජාවක් ගොඩනැගීමට උර දුන් ආර්ථික වරප්‍රසාද අපේක්ෂා නොකළ චරිතයක් යනාදි වශයෙන් උන්වහන්සේගේ සමාජ භූමිකාව ක්ෂත්‍ර ගණනාවක් පුරා විහිදී ගිය එකකි.

උන්වහන්සේ තුළ වූ සමාජ අරමුණ, ගොඩනැගීමට අපේක්ෂා කළ යහපත් රට, නිර්මාණය කරගැනීමට ඇති බලගතුම බාධකය උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සමස්ත ජාතියට ම කඩා පාත් වූ “මහහෙණය” ලෙසට ය. එය ඉතා පැහැදිලිවම උන්වහන්සේ රට හමුවේ ප්‍රකාශ කළේ සිය 70 වන ජන්ම දින දා තමන් වහන්සේට ආශිර්වාද කිරීමට හා සුභ පැතීමට එක්රැස් වූ මහා සංඝරත්නය සහ ගිහි ප්‍රජාව හමුවේදීය. උන්වහන්සේ එහිදි අවධාරණය කළේ රට තුළ බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන තුරු මේ රටට සුගතියක් අත් නොවන බවය. එකී අනතුරින් රට ගලවාගැනීමට තම ඉදිරි ජීවිත කාලයම කැපකරන බවට උන්වහන්සේ ප්‍රතිඥා දුන්නේ එදා ය.

විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් 1978 වසරේ සිට විවිධ දේශපාලන හා ව්‍යවස්ථා විශාරදයින් කීර්තිමත් දේශපාලන නායකත්වයන් හා මේ රටේ සියලු ම දේශපාලන පක්ෂ පාහේ විධායක ජනාධිපති ක්‍රමයෙහි ඇති ආදීනව පෙන්වා දී ඇතත් ඒ සඳහා ම තම කැපවීම ප්‍රකාශයට පත් කළ සහ එකී කැපවීම අඛණ්ඩවම ප්‍රදර්ශනය කළ ප්‍රථම චරිතය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ය.

උන්වහන්සේගේ එකී කැපවිම තුළ අත්තනෝමතික ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් තිබූ වර්ධනයට සීමාවන් ගණනාවක් ම සනිටුහන් කිරිමට සමත් විය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය එහි එක් තීරණාත්මක පියවරක් විය. එහෙත් ජාතියේ අභාග්‍යයකට උන්වහන්සේගේ අපවත්වීම තුළ එහි අවසන් අරමුණ කරා යොමු වන්නට උන්වහන්සේට නොහැකි විය. එකී වගකීම අප හමුවේ ඉතිරි විය.

ඒ අනුව උන්වහන්සේගේ එකී දැක්ම හා අධිෂ්ඨානය අද දවසේ අප ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ. විශේෂයෙන් ම ලංකා ඉතිහාසයේ කිසි ම කාලයක නොවූ ආකාරයෙන් ශ්‍රී ලංකාව විවිධ අභියෝගවලට මුහුණ පා ඇති පරිසරයක ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේ වගකීම සමාජයක් ලෙස අප වෙත පැවරී තිබේ.

ශ්‍රි ලංකා රාජ්‍යයේ අද වන විට පැවැත්ම ආරක්ෂා කළ යුතු වු ද, සක්‍රීය කළ යුතු වූ ද ආණ්ඩුකරණයේ පදනම වශයෙන් සැලකිය හැකි විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව  විවරණය කළ ව්‍යවස්ථා විශාරදයින්, දේශපාලන විචාරකයින් සහ කෘතහස්ත දේශපාලඥයින් බොහෝ දෙනකු පෙන්වා දී ඇති අහිතකර තත්ත්ව ගණනාවකි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්මුඛ කිරීම අධිකරණ ස්වාධිනත්වයෙහි අඛණ්ඩතාවයට සිදු කරන්නා වූ හානිය,  දූෂිත ආර්ථික බලවේග ශක්තිමත් වීමෙන් තිරසර ආර්ථික සංවර්ධනයකට එල්ල කරන බලපෑම යනාදි කරුණු ඒ අතරින් ප්‍රධාන ය. එවැනි තත්ත්වයක් යටතේ මෑත දශක කිහිපයක කාලය තුළ රටට අත් වූ ඛේදණීය ඉරණම අද වන විට ඉතාමත්ම පැහැදිලිය. සාමුහිකත්වයකට කිසිදු ඉඩක් නොතබා එක් පුද්ගලයකුට අත්තනෝමතික හා හිතුවක්කාරී ආකාරයෙන් තීන්දු ගැනීමට ලබා දී ඇති ඉඩකඩ සහ එවැනි තීන්දු රටේ පරිහානියට හේතුකාරකයන් වී ඇති අන්දම තේරුම්ගැ නීම තුළ පමණක් එකී අනතුරේ ගැඹුර අවබෝධ කරගත හැකි ය.

ඒ අනුව අද අප සිටින්නේ මාදුළුවාවේ සෝභිත මාහිමි බඳු මහා යතිවරයන් ප්‍රමුඛ ජාතියට ජීවය ලබාදිය හැකි යෝධ ජාතික ප්‍රතිරූප ශක්තිමත් කළ යුතුව ඇති යුගයක ය. එවැන්නන්ගේ ආගමනයට සාදරයෙන් ආරාධනා කළ යුතු කාලයක ය. ජාතියක් ලෙස එවැනි මගකට පිවිසිම මාදුළුවාවේ සෝභිත නායක මාහිමයන්ට කල හැකි ඉහළ ම උපහාරය වනු ඇත.

(මැයි මස 29වන දිනට යෙදෙන  අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි.)

කරු ජයසුරිය - සභාපති, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න