Image

සසුන සහ රාජ්‍යය

සසුන සහ රාජ්‍යය

පහත දැක්වෙන්නේ 'ලංකාලෝකය' වෙබ් පුවත්පත සඳහා අද දින ( 27) මවිසින් ලියන ලද ලිපියකි. එය පළ කිරීමට යැවීමෙන් පසු මා දුටුවේ ශාසන ශෝධන ධර්මසංගායනාවක් සඳහා මැදිහත් වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ වෙත යවා තිබෙන ලිපියත්, ජනාධිපති අනුර දිසානායක මහතා ධර්මාධිකරණයක් පිහිටුවීම සඳහා කර තිබෙන යෝජනාවක් පිළිබඳ ප්‍රවෘත්තියත්ය. මේ දෙකම මාගේ ලිපියේ මුලික අදහසට එකඟ ය; අගයමි.

ලංකාව අනාගමික රාජ්‍යයකි

නෛතික වශයෙන් ගත් කල ලංකාවේ රාජ්‍ය ආගමක් නැත. බුද්ධාගම පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකට වගන්ති තිබිය දී ම ලංකාවේ ශ්‍රේෂ්ටාධිකරණය (ශබ්ද දූෂණ නඩුව - සරත් සිල්වා, ව්‍යවස්ථා සංශෝධන - ශිරාණි තිලකවර්ධන සහ ආයුර්වේද පනත - ත්‍රිපුද්ගල) පෙන්වා දී තිබෙන්නේ ලංකාව අනාගමික රාජ්‍යයක් බව ය. එහෙත් මේ නෛතික පසුබිමට වඩා බලවත් ඓතිහාසික සාධකයක් ලංකා රාජ්‍යය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවේ එනම්, "බුද්ධ ශාසනය පිරිහෙන විට ලංකා රාජ්‍යය පිරිහේ" යන්නය. එය හුදෙක් ව්‍යවස්ථාවකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. රාජ්‍යයයෙන් ආගම වෙන් කළ යුතු යැයි විශ්වාස කරන නිරාගමික ලෞකිකවාදීන් කෙතරම් අසතුටට පත්විය හැකි වුව ද ඉහත උපුටා දැක්වූ වැකිය බහුතර ජනයා සිංහල බෞද්ධයන් වූ ශ්‍රී ලංකා රාජ්‍යය සම්බන්ධයෙන් යථාර්ථයකි.

බුද්ධශාසනයේ උන්නතිය වෙනුවෙන් මැදිහත් නොවී ලංකාවේ රාජ්‍යය ස්ථාවරව පවත්වාගත හැකි නොවේ. මෙය කවර ලෞකිකවාදී අදහස් දරණ ආණ්ඩුවක් බලයට පත්වුව ද මුහුණ දීමට සිදුවන යථාර්ථයකි. හින්දුත්ව අදහස සම්බන්ධයෙන් ඉන්දියාවේ තත්ත්වය ද මෙයට තරමක් සමාන ය.

සමාජයේ හෘද සාක්ෂිය බරපතළ ලෙස තුවාලයි

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ සිදුවීම ශාසන පරිහාණියේ දරුණු බව දැඩිව ඉස්මතු කර තිබෙන සිදුවීමකි. මේ නායක හිමිනමට එල්ලවී තිබෙන චෝදනාව ඉතාමත් බරපතළ ය. සාමාන්‍ය භික්ෂුවකට නොව ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ ප්‍රමුඛස්ථානයක වැජඹුන උන්වහන්සේට එල්ලවී තිබෙන චෝදනාව සමාජයේ හෘද සාක්ෂිය බරපතළ ලෙස තුවාලකර තිබෙන චෝදනාවකි. එහෙයින් මේ නායක හිමි සම්බන්ධ නඩු විභාගය සිදුවන ආකාරය සහ එහි තීන්දුව කුමක් වුවත් එම තීරණය සමාජ හෘද සාක්ෂිය රිදුම් දෙන්නක් බව සැකයක් නැත. එහෙයින් මේ අධිකරණ විමර්ශනය අගති විරහිතව සිදුකිරීම සඳහා යුක්තිය පසිඳලන අධිකරණයට දිය යුතු සහය විනිවිද පෙනෙන අයුරින් සිදුකිරීම රජයේ වගකීමය.

දැනටමත් රජයට චෝදනා දෙකක් එල්ලවී ඇත. පළමුවන චෝදනාව එල්ල වන්නේ රජය බලයට පත්කීරීමට වෙහෙස මහන්සි වුණ, විශේෂයෙන් මෙවන් රජයක් පිහිටුවීම වෙනුවෙන් සමාජය තුළ හිතකර මතවාදයක් නිර්මාණය කළ පාර්ශ්ව වෙතිනි. ඔවුන් ගේ චෝදනාව වන්නේ රජය වින්දිතයා අමතක කර බලවන්තයා ගේ පැත්ත ගෙන ඇති බවත්, චෝදනාලාභී හිමිනමට වාසි සහගත ලෙස කටයුතු කරමින් තමන් ලද ජනවරමට පිටුපාමින් තිබෙන බවත් ය. අනෙකුත් පාර්ශ්වයක් පවසන්නේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක් බවත් බුද්ධශාසනයට හානිවන හැම සිද්ධියක්ම උලුප්පා ඉස්මතු කරමින් ආණ්ඩුව සුළුතර ආගම් හමුවේ දීන වන්නටත් බහුතර ආගම හමුවේ නිරාගමිබවක් ආරූඪ කරගනිමින් බහුතර ජනයාගේ සංස්කෘතියට පහර දෙමින් සිටින බවත් ය. ආණ්ඩුව මේ චෝදනාව දෙකින් එකකටවත් සාර්ථකව පිළිතුරු දී නැති බැවින් මේ චෝදනා දෙකම ඇසුරින් නව දේශපාලන ආඛ්‍යාන ගොඩනැගෙමින් තිබෙන බව පෙනේ.

භික්ෂුන් වහන්සේ මෙන්ම රජය ද පුරෝගාමීව මැදිහත් විය යුතු මොහොතක්

ශාසනයේ විනය පිරිහීම බුදුන්වහන්සේගේ කාලයේ සිටම පැවතෙන කලින් කලට ඉස්මතු වන සිදුවීමකි. එසේම ශාසන පරිහාණිය දුරුකර සසුනේ උන්නතිය වෙනුවෙන්ද කලින් කලට භික්ෂු සමාජය තුළින් මෙන්ම රාජ්‍යය තුළින් ද විවිධ පියවර ගෙන ඇත. මේ එළඹී ඇත්තේ බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේ මෙන්ම රජය ද පුරෝගාමීව මැදිහත් විය යුතු මොහොතකි.

ශාසන පරිහාණිය වළක්වා ගැනීම භික්ෂූන් වහන්සේට තනිවම කළ හැකි කටයුත්තක් නොවේ. සිංහල බුදු සසුන තවමත් සංවිධානය වී තිබෙන්නේ දැඩි මධ්‍යගත ආකෘතියකින් මෙහෙය විය නොහැකි ලිහිල් ආයතන පද්ධතියක් ලෙස ය. එහෙයින් එම ලිහිල් භාවයේ බාධාව ජයගත හැකි ආයතනයක මැදිහත්වීම අත්‍යවශ්‍ය ය; එම ආයතනය රාජ්‍යයි.

රටේ පොදු නීතියටත්, ශාසන නීතියටත් දෙකට ම යටත් ඒ දෙකට ගරුකරන භික්ෂුන් වහන්සේ නමක් බිහිකර ගැනීමට රජය අනිවාරයෙන් ම මැදිහත් ව්ය යුුතු ය. එම හැකියාව ඇත්තේ රජයට පමණි. මෙය තමන්ට අයත් කටයුත්තක් නොවන්නේ යැයි රජයක් පහසුවෙන් අතපිස දමාගත හැකි වුව ද ශාසන පරිහාණිය නිසා සිදුවන රාජ්‍යය පරිහාණිය දේශපාලන පරිහාණියක් ලෙස මතුවන විට එම දේශපාලන ප්‍රශ්නයට පිළිතුරු නොසොයා රජයකට පැවතිය නොහැකි ය.

යහපාලන ආණ්ඩුවේ නායකත්ව දුර්වලතාව සහ ථෙරවාද භික්ෂු කථිකාව

ශාසනයේ උන්නතිය වෙනුවෙන් රජය මැදිහත් වීමට උත්සාහග ගත් මෑත කාලීන එක් වැදගත් අවස්ථාවක් වන්නේ ථෙරවාද භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතයි. එය භික්ෂූන්ගේ විනය පිරිහිීම පිළිබඳ ගැටලුව විසඳීම අද පවතින තත්ත්වයට වඩා පැහැදිලිවම සාධනීයව ඉදිරියට ගෙන ගිය ක්‍රියාමාර්ග යෝජනා කළ පනත් කෙටුම්පතකි. එහි සමහර තාක්ෂණික දෝෂ තිබු බව ඇත්තකි. එහෙත් එයට රටේ බහුතර භික්ෂූන් වහන්සේ සහයෝගය තිබෙන බව පැහැදිලිවම පෙනෙනන්ට තිබුණි.

විරුද්ධ වුයේ බලවත් භික්ෂු පාර්ශ්ව කිහිපයක් පමණි. විශාලම අඩුපාඩුව වුයේ එවැනි ඉදිරිගාමී පනත් කෙටුම් පතක් සමිබන්ධයෙන් අවශ්‍ය භික්ෂු සහයෝගය ලබා ගැනීම සඳහා පිළිගත හැකි මැදිහත්කරුවකු එම රජය තුළ නොසිටීමය. දේශපාලන විරෝධතා මතුවෙද්දි එය ඉදිරියට ගෙන යෑමට තරම් ධෛර්යයක් යහපාලන ආණ්ඩුවේ නායකත්වයට නොතිබිණි. එම පණත් කෙටුම්පත නිර්මාණය කළ විජේදදාස රාපක්ෂ මහතාද විරෝධතා හමුවේ හුදෙකලා වී පනත් කෙටුම්පත අත්හැර දමන ලදී.

තත්කාලීන රාජ්‍ය වගකීම

නමුත් මේ වන විට තත්ත්වය එදාටත් වඩා බෙහෙවින් උඩුදුවා ඇත. මේ සංකීර්ණ ගැටලුව වෙනුවෙන් කුමක් හෝ කළ යුතුය යන ඉල්ලීම භික්ෂූන් වෙත ද රජය වෙත ද ඉතා දැඩිව යොමුවෙමින් තිබේ. එදා විරුද්ධ වුවන් ද අද මෙවැන්නක් අවශ්‍යය යැයි හඬ නගන්නට පටන් ගෙන ඇත.

එහෙයින්,තමන් දරමින් සිටින ඒකාකෘතික මතවාදවලින් බිමට බැස, රාජ්‍යයේත් ශාසනයේත් උන්නතිය වෙනුවෙන් භික්ෂු කථිකා පනත් වැනි නීතියක් හා එයට අදාළ ආයතන පද්ධතියක් ගොඩ නැගීමට රජය කටයුතු කළ යුතුව තිබේ.

 Karu Paranawithana

 

 

 

Karu Paranawithana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න