Image

පමා වී පැමිණි වසන්තයක්; අවුරුදු 9ක පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපරාධයක් කළ භික්ෂුවකට වසර 10ක සිර දඬුවම්

පමා වී පැමිණි වසන්තයක්; අවුරුදු 9ක පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපරාධයක් කළ භික්ෂුවකට වසර 10ක සිර දඬුවම්

පසුගිය 26වන දා අධිකරණය විසින්, අවුරුදු 9ක පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපරාධයක් කළ භික්ෂුවකට වසර 10ක සිර දඬුවම් ස්ථිර කරන ලදී. ඒ, ඇල්පිටිය තපෝවන ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති උඩුවිල සුජාත භික්ෂුවට එරෙහිව. මේ ලිපිය, නඩු තීන්දුව ගැන සවිස්තරාත්මක සටහනකි.

මේක අහස පොළොව නූහුලන තවත් අපරාධයක්; සංවේදී සිදුවීම් සහිත විස්තර අඩංගුයි. අකැමැති අය නොකියවා මඟහරින්න.

පසුගිය 26වන දා අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද අංක CA Case No. HCC/0210/23 දරන නඩුවේ විස්තරය තමයි මේ.

හැමදේම පටන් ගන්නෙ 2009 දි

මේ සිදුවීමට මුහුණ දුන්නු පුංචි පිරිමි ළමයා ගෙ අම්මා මානසික ආබාධ සහිත කෙනෙක්. ඉතින් ළමයාව බලාගන්න ඒ හැටි හැකියාවක් නෑ. මේ හේතුව හින්දා පුංචි පිරිමි ළමයාත් එක්ක එයාගෙ අම්මා, ළමයාගෙ ලොකු අම්මාගෙ ගෙදර නවතින්න ගියා. ලොකු අම්මලගෙ ගෙදර ළඟ පන්සලක් තිබුණා. ඒකෙ විහාරාධිපති තමයි මේ උඩුවිල සුජාත හිමි කියන්නෙ.

මොකක්ද වුණේ...?

මේ පන්සල ළඟ තිබුණා ඉස්කෝලයක්. පුංචි පිරිමි ළමයා මේ ඉස්කෝලෙට තමයි ගියෙ. ඒ කාලෙදි පුංචි පිරිමි ළමයා, අසල්වැසි පන්සලේ හාමුදුරුවරුත් එක්ක හිතවත් වුණා. දවසක් එක හාමුදුරු කෙනෙක් (සිදුවීමට අදාළ කෙනා නෙවෙයි) මේ ළමයාට මහණ වෙමු කියලා යෝජනා කෙරුවා. ළමයා කැමති වුණා. ගෙදර තත්ත්වයත් එක්ක, මේක කරන්න බොහොම පහසු වුණා. ඊට පස්සෙ මහණවරය ලබාගන්න කලින් ගිහින් පන්සලේ ආවතේව එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා. තාත්තා නැති, අම්මා මානසික ආබාධයක් සහිත, ආර්ථික වශයෙන් අසරණ, පුංචි පිරිමි ළමයා, පන්සලක ලොකු හාමුදුරුවන් ගෙ  භාරකාරීත්වය යටතට පත් වුණා.

පන්සලේ දි මොකද වුණේ...?

පළමු සිද්ධිය වෙන්නෙ 2009 අගෝස්තු 21වෙනි දා.

එදා උඩුවිල සුජාත, පුංචි පිරිමි ළමයාට තමන් ගෙ කාමරයට එන්න කිව්වා. මේ වෙලාවෙ වෙච්ච දේවල් පසුව වෛද්‍ය පරීක්ෂණ වලිනුත් තහවුරු වුණා.

වයස අවුරුදු 9ක දරුවෙක්ට පහත දේවල් අධිකරණය ඉදිරියේ නැවත නැවත කියන්න සිද්ධ වුණා.

උඩුවිල සුජාත විසින් මේ කාමරයේ ජනෙල් දොරවල් සේරම වැහුවා. පුංචි පිරිමි ළමයාව ඇඳේ වාඩි කෙරෙව්වා. ඊට පස්සෙ උඩුවිල සුජාත පුංචි පිරිමි ළමයාගෙ ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සෙ පුංචි පිරිමි ළමයා ගෙ ගුද මාර්ගයට, උඩුවිල සුජාත සිය පුරුෂ ලිංගය ඇතුළු කෙරුවා. පුංචි පිරිමි ළමයා අධික වේදනාවකින් කෑ ගැහුවා. එපා නවත්තන්න මට රිදෙනවායි කිව්වා. ඊට පස්සෙ උඩුවිල සුජාත මේක නවත්තපු බව, පුංචි පිරිමි ළමයා අධිකරණයේ දි සාක්ෂි දෙමින් කිව්වා. පුංචි පිරිමි ළමයා මේක දරාගෙන කාමරයෙන් පිට වුණා. කාටවත් කිව්වෙ නෑ. නොකියා හිටියෙ බයට සහ ලැජ්ජාවට බව පසුව එයා අධිකරණයට කිව්වා.

ඊට පසුව මොකක් ද වුණේ...?

මේක එතැනින් නැවතුනේ නෑ. දෙවැනි සිදුවීම උනේ 2009 අගෝස්තු 25වෙනි දා.

එදා උඩුවිල සුජාත මේක කෙරුවෙ පුංචි පිරිමි ළමයා ගේ කළවා අතර. ඒ වෙලාවෙ තමන් “ශුක්‍රාණු“ දුටු බව පුංචි පිරිමි ළමයා අධිකරණයට කිව්වා. දෙවැනි සිදුවීමෙන් පස්සෙ පුංචි පිරිමි ළමයා පන්සලෙන් පැනලා, ලොකු අම්මලගෙ ගෙදරට ගියා. ඊට පස්සෙ මේ වෙච්ච දේ කිව්වා; ලොකු අම්මා පොලිසියට කිව්වා.

සිදුවීමට මාසයකට විතර පස්සෙ තමයි පුංචි පිරිමි ළමයාව වෛද්‍ය පරීක්ෂණයකට දැම්මෙ. ඒ 2009 සැප්තැම්බර් 21 වැනිදා. එදා පුංචි පිරිමි ළමයාව කරාපිටිය රෝහලට (අද ගාල්ල ජාතික රෝහලට) ඇතුළත් කෙරුවා. රෝහලේදි මේ පුංචි පිරිමි ළමයාව අධිකරණ වෛද්‍ය නිළධාරී කේ.එස්. දහනායක මහතා විසින් පරීක්ෂා කෙරුවා. එහි දී දහනායක මහතා නිරීක්ෂණය කෙරුවා, පුංචි පිරිමි ළමයා ගේ ගුද මාර්ගය රතු පැහැ වී ඇති බව. ළමයා කියපු දේවලුත් එහි දී සටහන් කරගත්තා. (සිදුවීමට මාසයකටත් පසුව මේ)

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වාර්ථා සමග, පුංචි පිරිමි ළමයාගේ කතාව ගැළපුණා; ගුද මාර්ගය තුවාල වෙලා තිබුණා. තුවාලය සනීප වෙමින් තිබුණා. සිදුවීම වූ දින වකවානු මේකෙන් නිගමනය කරන්න හැකි වුණා.

මෙය සිදුවී ඇතැයි නිගමනය කළ හැකි බව වෛද්‍යවරයා අධිකරණයට කිව්වා. ඊට අමතරව, මේ සිදුවීමෙන් පස්සෙ පොලිසියෙ දි උඩුවිල සුජාතව දැකපු පුංචි පිරිමි ළමයා, මෙයා තමයි ඒක කෙරුවේ බව අඳුනාගෙන තිබුණා. පොලිස් පරීක්ෂණ අතරතුර, නීතියට නොයා මේක ගොඩින් බේරාගන්න, උඩුවිල සුජාත කීප වරක්ම උත්සාහ ගත්තා. හැබැයි පොලිස් පරීක්ෂණ පුරා කිසි වෙලාවක මේක තමන් නොකළ බවක් කිව්වෙ නෑ.

අධිකරණයේ දි මොකද වුණේ...?

සිදුවීම ගොඩින් බේරගන්න උඩුවිල සුජාතට ඉඩ ලැබුණෙ නෑ. නඩු අංක CRI/2449/19 යටතේ, බලපිටිය මහාධිකරණය තුළ අපරාධ චෝදනා ගොනු වුණා. ඒ, “පුංචි පිරිමි ළමයාට“ බරපතළ ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත.

මොනවද හරියටම චෝදනා...?

දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ආ) (2) (ආ) : බාලවයස්කාරයකු සමග බරපතළ ලිංගික අපයෝජනය සිදු කිරීම (මේක අවුරුදු 10-20 අතර හිර දඬුවම් ලැබෙන වරදක්) උඩුවිල සුජාත බලපිටිය මහාධිකරණයේ දි ප්‍රකාශයක් කරමින් සියලු ම චෝදනා ප්‍රතික්ෂේප කෙරුවා. ඊට පස්සෙ plea of alibi කියා සිටියා.

මොකක්ද මේ plea of alibi?

මේකට කියන්නෙ නොතැනියාවේ විත්තිවාචකය කියලා. ඒ කියන්නෙ අදාළ අපරාධය වුණා යැයි කියන වෙලාවේ තමන් එැතන හිටපු නැති බව. මේ අනුව උඩුවිල සුජාත කිව්වා, මේ කාලසීමාවේ තමා පන්සලේ හිටපු නැති බව. (වෙන කොහේ හෝ හිටියා කියන එක තමයි මේ වචනයේ ලතින් තේරුම) ඉන්පසුව සාක්ෂි සාධක සලකා බැලුවා.

මහාධිකරණ තීරණය මොකක්ද...?

2009 වෙච්ච සිදුවීමෙ තීන්දුව දුන්නෙ 2023 දි. අවුරුදු 14කට පස්සෙ. බරපතළ ලිංගික අපරාධයකට ගොදුරු වූ වයස අවුරුදු 9ක පුංචි පිරිමි ළමයා ඒ වෙද්දි වයස අවුරුදු 23ක තරුණයෙක්. මේ අනුව බාලවයස්කාරයකුට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීමේ වරදට උඩුවිල සුජාත වැරදිකරු බව අධිකරණය තීන්දු කෙරුවා. අධිකරණය විසින් උඩුවිල සුජාතට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුවා. ඊට අමතරව රුපියල් 20,000 ක දඩයක් නියම කෙරුවා. ඒක නොගෙව්වොත් තව මාස 6ක සිර දඬුවම් පැනෙව්වා. පුංචි පිරිමි ළමයාට (දැන් තරුණයාට) රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසත් නියම කෙරුවා. ඒක නොගෙව්වොත් තවත් වසර 2ක සිර දඬුවම් පැනෙව්වා.

ඊට පස්සෙ මොකද වුණේ?

උඩුවිල සුජාත, මේ මහාධිකරණ තීන්දුව අභියාචනය කෙරුවා. ඒ, නඩු අංක CA HCC/0210/23 යටතේ. උඩුවිල සුජාත මේ අභියාචනය කෙරුවෙ හේතු කීපයක් දක්වමින්. ඒ අතර නොතැනියාව ගැන නිසි අවධානයක් දුන්නැති බව, වෛද්‍ය නිර්දේශ නිවැරදි ලෙස සලකා බලා නැති බව, පුංචි පිරිමි ළමයා ගේ ප්‍රකාශ පරස්පර වීම් ආදිය කියමින්.

මේ අනුව, 2024 නොවැම්බර් 15 වැනිදා අභියාචන කරුණු ගොනු කෙරුවා. 2025 අගෝස්තු මාසයේ දී මීට අදාල ලිඛිත ප්‍රකාශ ඉදිරිපත් කෙරුවා. 2026 මාර්තු 27වෙනි දා අභියාචනය විභාග කෙරුවා. 2026 මැයි 26 වෙනිදා අභියාචනාධිකරණය විසින් සිය තීන්දුව ලබාදුන්නා.

මෙම අභියාචනා නඩු විභාගය සිදු වුනේ ගරු අභියාචනාධිකරණ විනිසුරුවන් වන සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන් ඉදිරියේ. මුලින්ම අභියාචනාධිකරණයට පෙනී ගියපු දෙයක් තමයි, එදා පුංචි පිරිමි ළමයා සහ, අද තරුණයාගේ ප්‍රකාශවල තිබුණු සමහර පරස්පරතා. ඒ අනුව අධිකරණයට සිද්ධ වුණා මේ ගැන සලකා බලන්න.

වෙනත් නඩු තීන්දු සලකා බැලීම

එහි දී අධිකරණය Bhoginbhai Hirjibhai vs. State of Gujarat කියන ඉන්දියානු නඩු තීරණය උපුටා දක්වමින් යම් නිගමනයන්ට ආවා. මේ නඩු තීරණයේ දි කියැවුණේ මෙවැනි වෙලාවක සාක්ෂිකරුවකුගෙ මතකය, වීඩියෝ ටේප් එකක් වගේ වැඩකරන්නෙ නෑ කියන එක. ඉතාම ශොක් වෙන සිදුවීමක්, කෙටි වෙලාවක් තුළ සිද්ධ වීම, කාලයත් එක්ක මතකයේ වෙනස්කම් ඇතිකරන්න පුළුවන්. මිනිස්සු කියන්නෙ සෑම සියලු කුඩා කාරණයක් ම නිසි ලෙසම මතකයේ තියෙන පිරිසක් නෙවෙයි. මේ ගැන අධිකරණය සලකා බැලුවා. ඉතා කුඩා පරස්පරතාවයක් තිබීම පුංචි පිරිමි ළමයා බොරු කිව්වා යැයි උපකල්පනය කරන්න හේතුවක් නොවන බව අධිකරණය තීරණය කෙරුවා.

මෙහිදී අධිකරණය තවත් ශ්‍රී ලංකා නඩු තීන්දුවක් වන, Tikiri Banda Kulasekara v. The Republic of Sri Lanka නඩුවත් උපුටා දැක්වුවා. මේ නඩුවේ දී සිසිර ද ආබෘ විනිසුරුතුමා සඳහන් කෙරුවේ, 100% ක්ම නිවැරදි විදිහට ගණිතමය ආකාරයකින් ඔප්පු කිරීමක් චෝදකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නෙ අධිකරණය, සාක්ෂිකරුවන් ගෙන් ගණිතමය නිවැරදිභාවයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක. මේ අනුව, පුංචි පිරිමි ළමයා (අද තරුණයා) දුන් ප්‍රකාශවල පැවති පරස්පරතා ඉතා සුළු බවත්, ඒ මත නඩුව ඉවත නොයන බවත් අභියාචනාධිකරණය තීරණය කෙරුවා.

සිදුවීම වෙද්දි පුංචි පිරිමි ළමයාට වයස අවුරුදු 9 යි. එයා වයස අවුරුදු 23දිත් එකම සිදුවීම ගැන අධිකරණයේ දි සාක්ෂි දුන්නා. මේක ලොකු කාලයක්. වචනයක් ගානේ එකම සාක්ෂිය දෙතැයි බලාපොරොත්තු වීම ඉතාම අසාධාරණ බව අධිකරණය කිව්වා. ඊට අමතරව, දශකයක් පුරාම මේ පුංචි පිරිමි ළමයා childhood trauma (ළමා වියේ වූ අධික කම්පනයකින්) එකකින් ජීවත් වෙලා තිබුණා.

ඊට පස්සෙ අධිකරණය අවධානය යොමු කෙරුවෙ වෛද්‍ය වාර්තා සහ නිරීක්ෂණ ගැන.

අධිකරණ කටයුතුවල දි වෛද්‍ය පරීක්ෂණ හරහා ගන්න සාක්ෂිවලින් කරන්නෙ, එකකින් අනෙක සනාථ කරගැනීම. මේ අනුව වෛද්‍ය පරීක්ෂාවෙන්, පුංචි පිරිමි ළමයා ගේ කතාව සනාථ වෙලා තිබුණා. කිසිඳු අස්ථිර බවක් වෛද්‍ය පරීක්ෂණය තුළ වෙලා තිබුණෙ නෑ.

නොතැනියාවට මොකද වුණේ...?

මහාධිකරණ නඩුවෙදිත් උඩුවිල සුජාත, තමන් පන්සලේ හිටියෙ නෑ කිව්වට ඒක ඔප්පු කරන්න කිසිම ආකාරයකින් සමත් උනේ නෑ; ඒ වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කෙරුණෙ නෑ; සනාථ කෙරුවෙ නෑ.

අභියාචනාධිකරණය මේ වෙලාවෙදි තවත් ශ්‍රී ලංකා නඩුවක් වූ Jayatissa v. AG නඩුව උපුටා දක්වමින් කිව්වා, නොතැනියාවේ විත්ති වාචකයේ පිහිට ලබනවා නම්, ඒ බව නඩුවේ ඉතාම මුල් අවස්ථාවේ කියන්න ඕන බව. උඩුවිල සුජාත පොලිස් පරීක්ෂණවල දී උත්සාහ කෙරුවේ මේක ගොඩින් බේරාගැනීමට. මේ උත්සාහය ඔහුගේ වරදකාරීබව පේන සාධකයක් වුණා.

පොලිස් ස්ථානාධිපතිවරයා උසාවියෙදි කිව්වා, උඩුවිල සුජාත පොලිසියට ආපු බව. ළමයා විසින් ඔහුව හඳුනාගත්තු බව. උඩුවිල සුජාත විසින් මේක බේරුම් කරලා දෙන්න ඉල්ලපු බව. නිර්දෝෂී මනුස්සයෙක් මේ විදිහට පොලිසියට ඇවිත් නොකියන බව අධිකරණය කල්පනා කෙරුවා. මේ අනුව අභියාචනාධිකරණය විසින් මේ සියලු කාරණා නැවත සලකා බැලුවා.

මොකක්ද තීරණය...?

සියලු කාරණා අවසානයේ දී අභියාචනාධිකරණ විනිසුරු සසී මහේන්ද්‍රන් විසින් තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව උඩුවිල සුජාතගේ අභියාචනය ප්‍රතික්ෂේප වුණා; බලපිටිය මහාධිකරණය විසින් දුන් තීරණය ස්ථිර වුණා.

ඒ කියන්නෙ මොකක්ද...? මොනවද දඬුවම්...?

  • පූජ්‍ය උඩුවිල සුජාත, බාලවයස්කාරයෙකුට බරපතළ ලිංගික අපරාධ සිදු කිරීමේ වරදට වැරදිකරු වුණා. ඒ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ)(2)(ආ) වගන්තිය අනුව.
  • ඔහුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වුණා.
  • රුපියල් 20,000 ක දඩයකුත්, එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඬුවමත් ස්ථිර වුණා.
  • පුංචි පිරිමි ළමයාට රුපියල් ලක්ෂ 2ක වන්දියකුත්, එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක සිර දඬුවමත් ස්ථිර වුණා.

මේක ලංකාවේ අපරාධ නීතියේ වැදගත් නඩු තීන්දුවක්. අපි ටිකක් ඒ ගැනත් කතා කරමු.

මේ නඩුවෙදි සාක්ෂි දෙන්න පටන් ගත්තෙ වයස අවුරුදු 9ක පුංචි පිරිමි ළමයෙක්. නඩුව අවසන් වෙද්දි එයා තරුණයෙක්. අතිශය දීර්ඝ කාලයක් මේ ළමයා එකම සාක්ෂිය එක්ක පොර බැදුවා. ඒ අනුව, මෙවන් අවස්ථාවක, වීඩියෝ පටයක මෙන් සුපැහැදිලි මතකයක් බලාපොරොත්තු නොවන බව අධිකරණය තීරණය කෙරුවා. ළමා සාක්ෂිකරුවකු ගේ සාක්ෂි දිහා මානුෂිකව බලන්න අධිකරණය පෙලඹුණා.

ඒ වගේම මේ නඩුවෙදි උඩුවිල සුජාත නිකම්ම පුරුද්දට වාගේ “නොතැනියාවේ“ පිහිට ඉල්ලුවා. තමන් පන්සලේ නොසිටි බව කිව්වා. මේ නිදහසට කාරණය ඉල්ලන්න පුළුවන් නඩු කටයුත්තේ අතිශය මුල් අවස්ථාවේ දී පමණක් බව මේ නඩුවෙන් නැවත තහවුරු කෙරුවා.

යම් වරදකට පසුව, චූදිතයා ගේ හැසිරීමෙන් ම බොහෝ දේ පැහැදිලි වෙනවා. මෙහිදීත්, චූදිතයා පොලිසියට ගිහින් ගොඩින් බේරාගන්න දරපු උත්සාහය, මහාධිකරණයත්, අභියාචනාධිකරණයත් ඉතාම වැදගත් ලෙස සලකා බැලුවා. අන්තිමට ඒක චූදිතයාට ම පාරා වළල්ලක් වුණා. මෙවැනි සිදුවීම් ගොඩින් බේරාගන්න වාසි තකා වැඩකරන විවිධ ආයතන තියෙද්දීත්, එය නොකිරීම වෙනුවෙන් පොලිසියට ස්තුතියක් (ඒක ලියුම්කරුගෙ පෞද්ගලික ප්‍රකාශයක්) හිමි වෙන්නත් ඕන.

මෙහි දී වින්දිතයා ගේ සාක්ෂිය එක්ක අධිකරණ වෛද්‍ය සාක්ෂිය ඉතාම හොඳින් ගැළපුණා. අන්තිමේ දි: පියා නොමැති, මව මානසික ආබාධ තත්ත්වයක් සහිත, වයස අවුරුදු 9ක පුංචි පිරිමි ළමයෙක්ව, පන්සලේ කාමරයක ජනෙල් දොරවල් වහලා අඳුරේම බරපතළ ලෙස අපයෝජනය කිරීමට විරුද්ධව යුක්තිය නම් හිමි වුණා.

යුක්තිය ප්‍රමාද වීමේ වගකීම කාගේ ද...?

හැබැයි, පමාවෙලා ඉටුවෙන යමක් වේ නම් ඒක යුක්තිය ම ද? ළමා වියේ දී අපයෝජනයට ලක් වෙලා, තමන්ගෙ සම්පූර්ණ යොවුන් වියත්, තාරුණ්‍යයත් එහි වේදනාවෙන් යුක්තිය ඉල්ලමින් අධිකරණයක් ගානේ යන්නට සිදුවීම යුක්තිය ද?

පුංචි පිරිමි ළමයෝ. ඔයා වෙනුවෙන් අපි සමාව ඉල්ලනවා. අපි සමාජයක් විදිහට අසමත්. මේ අපරාධ අනුමත කරමින් ඊට උඩගෙඩිදෙන මාමලා නැන්දලා තවම ඉන්නවා. අපි අසමත්.

වැඩිදුර කියවන අයට අභියාචනාධිකරණ නඩු අංකය: CA Case No. HCC/0210/23

(සැ.යු: අධ්‍යාපනික අරමුණකට හෝ දැනුවත් කිරීමට මේ ලිපි ඕනෑ තරම් භාවිත කරන්න. ෆේස්බුක් පිටුවල අවසර නැතිව කොපි පේස්ට් කොට විකෘති කිරීමෙන් සහ වින්දිතයින්ගේ ඡායාරූප එක් කිරීමෙන් වළකින්න.)

නුවන් ඉෂාර මහගමගේ

 

 

 

 

Nuwan Ishara Mahagamage

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න