දින ගණනක් මුහුණු පොතේ එහා මෙහා යන, අවුරුදු 12 කුඩා දියණියක්, වයස 70ක් වයෝවෘද්ධ ඉංදියාවේ අගමැති පවා පෙරළි පෙරලිළි වැඳ නමස්කාර කළ, අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශ ලද විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය බාර හිමිනම, රටේ ම මිනිසුන් නොමගහරිමින් හැත්තෑ වසරක් ජීවත්වී 55 වසරක් පැවිදි වී, 50 වසරක් උපසම්පදාව ලබා ඇත්තෙක් විදියට කුඩා දියණියක් දූෂණය කිරීම කියන කාරණය ඉතාම බරපතළ සමාජ, ශාසනික ව්‍යසනයක පෙරමග සලකුණු බව කිවයුතු ය.
මේ මහපොළොව මත ජීවත්වන මිනිසුන් ලෙස තේරුම් ගතයුතු දෙයක් ඇත. අප රහසින් මොනදේ කළ ද මේ ස්වභාව ධර්මයෙන් අපට ගැලවීමක් නොවන බව මෙන්ම බුද්ධ දේශනාවේ ඇති ආකාරයට අප වපුරාගන්න දේ අප විසින් නෙළා ගන්නා බව ය. මේ ඒ අවස්ථාවකි. ඒවගේම චේතනාහං භික්කවේ කම්මං වදාමී. කර්මයට සිත මුල්වන වග ය.
වැරදිකරුවන්ට දඬුවම් දීම සසුන පිරිසිදු කිරීමකි
මේ ආකාරයට හාමුදුරුවෝ කී වතාවක් සිත යොදාගෙන ඇති ද, මින් පෙර මෙවැනි සිදුවීම් කීයක්නම් සිදුවන්නට ඇති ද, සමාජයේ කියන ආකාරයට ගණිකාවන් කීදෙනෙක් මේ සමජයට එකතුක රන්නට ඇති ද? මෙය ඔහුගේ පළමු වගේම අවසාන අවස්ථාව නොවන බව අප තරයේ මතක තබා ගතයුතු ය. මීට ඉහත ඔහුගේ 55 වසරක පැවිදි ජීවිතය තුළ මෙවැනි සිදුවීම් කීයක්නම් වෙන්නට ඇද්ද. අපි වන්දනාමාන කරන්නේ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මය ප්‍රචාරය කර රැක ගන්නවායයි සිතන සංඝයා වහන්සේලාට ය. මෙහි කිවයුතු එක් දෙයක් ඇත. දුස්සීල හිමිනමකට වරද දැක දැක නොදැක්කා ලෙස සිටීමට නොහැකි ය. ඒකට එක් හේතුවක් ඇත. එනම් අප වදින්නේ චීවරයට ය. චීවරය විවේචනය කළොත් අප අපාගත වෙනවා. සංඝ භේදය නැමති ආනන්තරීය පාපකර්මය සිදුවෙනවා යන්න අනියත බියක් ඇති කරගෙනය. එසේ නොවන බව කිවයුතු ය. මන්ද 'සිවුර' යනු උතුම් රහතන් වහන්සේලා ගේ ධජය යි. නමුත් ඒ සිවුර පොරවාගෙන ළමා අපයෝජන යනාදි ම්ලේච්ඡ අපරාධ කරන පුද්ගලයන් 'සංඝරත්නය' නොවේ. වැරදිකරුවන්ට දඬුවම් දීම සසුන පිරිසිදු කිරීමකි. වැරැද්දට වැරැද්ද කීමට බිය නොවන්න. බුදුරජාණන් වහන්සේද දුශ්ශීලයන්ට 'මෝග පුරුෂයා' යැයි වදාළ සේක.
සැඟවූ විට කුණු වේ; විවෘත කළ විට පිරිසිදු වේ
එමෙන්ම අන්ධ විශ්වාසයෙන් බොහෝ දෙනෙක් සිතන්නේ වැරදි කරන හිමිවරුන් විවේචනය කිරීම 'සංඝ භේදය" කියායි. එය සම්පූර්ණ වැරදි මතයකි. සැබෑ බුදු දේශනාව සංඝ භේදය යනු උපසම්පදා , ධර්මවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් (අවම වශයෙන් පස්නමක්) එකතු වී ධර්මය අධර්මය ලෙසත්, විනය අවිනය ලෙසත් දක්වමින් පොහොය කර්ම ආදී විනය කර්ම වෙන වෙනම සිදුකරමින් සංඝයා බෙදා වෙන් කිරීමයි. එය ගිහියන්ට කළ හැකි දෙයක් නොවේ. වැරදි වැඩ, අපරාධ කරන පුද්ගලයන්ව හෙළා දැකීම හෝ ඔවුන්ට විනයානුකූලව සහ නීත්‍යානුකූලව දඬුවම් පැමිණවීම "සංඝ භේදයක්" නොවේ. එමෙන්ම, විනය පිටකය බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පැනවූයේ ම වැරදි කළ භික්ෂූන් පදනම් කරගෙන ය. වැරදි කළ භික්ෂූන් වහන්සේලා අමතා බුදුන් වහන්සේ "මෝග පුරුෂයා" (හිස් මිනිසා) යන වචනය පවා භාවිත කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කළ සේක. අලගද්දූපම සූත්‍රය / කීටාගිරි සූත්‍රය වැරදි මත දරන, විනය කඩන අයව බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක. වැරැද්ද වසා ගැනීම බුදුදහමට එකඟ නැත. "සැඟවූ විට කුණු වේ; විවෘත කළ විට පිරිසිදු වේ" යන්න බුදුදහමේ මූලධර්මයකි.
'අපි වඳින්නේ සිවුරට' යන අදූරදර්ශී ක්‍රියා පිළිවෙත
එමනිසා අප සිතිය යුත්තේ මෙවැනි සිදුවීම් මේ ධර්මධීපය තුළ මොනතරම් කහ සිවුරු අස්සෙ සිදුවෙනවා ඇති යන්නය. තව දෙයක් කිව යුතුය. මෙවැනි ම්ලේච්ඡ සිවුරු ධාරීන් කොපමණ සිටියත්, විනය ගරුක සාසනය රකිමින් නියම ධර්මානුකූල ජීවිතයක් ගතකරන සිල්වත් සංඝයා වහන්සේලා අපේ රටේ මේ මහපොළොව මත වැඩ වසන බව මෙන්ම, නැතිවීයන ධර්ම විශ්වාසය රැකගනිමින් අරගලයක යෙදේ. එමෙන්ම පිරුණු කළ නොසෙලවෙන බවත් උන් වහන්සේලා දනී. උන්වහන්සේලාට නමස්කාර වේවා...!
බුද්ධ දර්ශනය යනු තර්කානුකූලව උපේක්ෂාවෙන් සහ අන්ධ විශ්වාසයෙන් තොරව අනුගමනය කළයුතු දර්ශනයකි.
අපි වඳින්නේ සිවුරට යන අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසා මේ අවිහිංසාවාදී නිමල බුදු දහම රැකෙනවා නොව වැනසෙන බව ගිහියන් වන අප මතකතබා ගත යුතුය. උපසම්පදාව ලැබූ හාමුදුරුවෝ නමක් මොනම හේතුව සදහා හෝ විවේචනයට ලක් කිරීම ආනන්තරීය පාපකර්මයක් ලෙස සලකන බවයි.බුදුන්වහන්සේගේ කහ සිව්‍රරට මුවා වෙලා. මැරකම් කරන. ජඩකම් කරන .හොරකම් කරන.ස්ත්‍රී දූෂණ කරන හාමුදුරුවන් ළඟ ඇති සීලය කුමක්ද...? මේ තරම් උත්තරීතර ධර්මයක් දේශනා කළ බුදුන් වහන්සේ මෙවැනි අපරාධකාරයින් චීවරෙන් වසා රැකීමට ඉඩක් තියයි ද... නැත, කිසි සේත් ම නැත.
බුදුදහම පවතින්නේ රාජ්‍ය නීතියට ඉහළින් ද...?

යම් දෙයක් සාම්ප්‍රදායික වූ පළියට, තමන් ගේ ගුරුවරයා වූ පළියට හෝ ප්‍රසිද්ධ වූ පළියට පිළිගන්න එපා. ප්‍රඥාවෙන් විමසා බලන්න යැයි කාලාම සූත්‍රයේ සඳහන් වේ. උතුම් අටමස්ථානය වුව ද, එහි සිටින මේ පුද්ගලයා ධර්මයට සහ විනයට පටහැනි නම්, ඔහුව අන්ධ ලෙස වන්දනා කිරීම ධර්ම විනය නොදන්නාකමකි. අප අන්ද විශ්වාසය රකිමින් වරදකාරී පුද්ගලයන් රකින්නේනම්. එතනදී අප බෞද්ධයන් ලෙස කරන්නේ ශාසනය විනාශයට උදව් කිරීමක් නොවේ ද...?
බුදුදහම පවතින්නේ රාජ්‍ය නීතියට උඩින් නොවේ. බුදුරජාණන්වහන්සේ පවා දේශනා කළේ 'රාජානං අනුවත්තිතුං '(රටේ නීතියට අනුකූල වන්න) කියා යි.
කුඩා දැරියක අපයෝජනය කිරීම බඳු සාහසික අපරාධයක් කළ අයෙකු සිවුර පිටුපස සැඟවී සිටිය ද ඔහු සාමාන්‍ය අපරාධකාරයෙකි. ඔහුව සුරැකීමට උත්සාහ කිරීම ධර්මයට කරන ලොකුම විනාශය යි. එමනිසා අප සමාජයක් ලෙස මේ කරන්නේ අපරාධයට දැරියට දැරියට මෙන් ම සමස්ත පරපුරටම කරන අපරාධයක් බව සිහියට ගතයුතු ය. ප්‍රශ්නය තමන් ගේ නොවනතාක් කල් පිළිතුර දාර්ශනිකය.
එම නිසා හුස්ම නවතිනකල් ජීවත්වන මිනිසුන් ලෙස මිස අප සදාකාලිකව මෙලොව ජීවත් නොවේ. එම නිසා තවත් අසරණ ජීවිත සමග කරන සෙල්ලම් දැක දැක අන්ධයින් ගොළුවන් ලෙස නොයිඳ, වරද වරදක් ලෙස දකිමින්, අහස පොළොව නුහුලන අපරාධවලට වචනයකින් හෝ සිතිවිල්ලකින්වත් දායක නොවී සිටිමු.

Nisansala Wijekoon
කාටූන් නිර්මාණය : නාමල් අමරසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
