දිලිත් ජයවීරව දඩයම් කර, කොටු කර, නිහඬ කර දැමිය හැකි යැයි ඔවුන් සිතන්නට ඇත. නමුත් ඔවුන්ට වැරදුණේ දරුණු ලෙස ය. ඔවුන් කළේ තමන්ටම පාරාවළල්ලක් කරගත් ඛේදවාචකයක් ළඟා කරගැනීම පමණි.
ඔහුගේ දේශපාලන ගමන සහ විශ්වසනීයත්වය සහමුලින්ම සුන් කර දැමීම සඳහා ඔවුන් මහා ඉහළින් සමාජගත කළ "ඇන්ටිජන් දූෂණ චෝදනාවල" අවසානය කුමක්ද? දෛවයේ සරදමකට මෙන්, ඔහුව විනාශ කරන්නට හැදූ සතුරන් ගේ ම දෑතින්ම එම චෝදනා සියල්ල නීතිය ඉදිරියේ දියවී නිල වශයෙන් ම නිෂ්ප්‍රභ වී ගියේ ය. සතුරන් අන්දමන්ද වෙද්දී දිලිත් කළේ පසුබැසීම නොවේ. ඔහු සිය දේශපාලන මෙහෙයුමේ වේගය තවත් වැඩි කළේ ය.
මෙල්බර්න් නුවර පැවැති සුවිශේෂී මහජන හමුව, දේශපාලන දඩයම් හමුවේ සුරේෂ් සලේ වෙනුවෙන් නොසැලී පෙනී සිටීම, ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අයිතිය වෙනුවෙන් හඬ නැඟීම සහ තමන් වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකුත් නැති අසරණ රාජ්‍ය නිලධාරීන්ගේ එකම හෙවණැල්ල බවට පත්වීම ඒ අතර විය.
එහෙත්, මේ සියල්ල මැද සාම්ප්‍රදායික දේශපාලන පංතිය තවමත් හඳුනා නොගත්, ඔවුන්ට මඟහැරුණු සුවිශේෂී මානයක් දේශපාලන කරළිය තුළ ඉතිරිව පැවතිණි. ඒ, දිලිත් ජයවීර සතු අතිදැවැන්ත භූ-දේශපාලනික පරාසය යි. දිලිත්ව දැක්කාට, දිලිත්ගේ හෙවැණැලි පෙනෙන්නේ නැත. ගහ දැක්කාට, මුල් දැක නැත.
එම සුවිශේෂී සලකුණ දේශපාලන කරළියට පැමිණියේ කිසිදු හොරණෑවකින් තොරව ය. කොළඹ සුඛෝපභෝගී හෝටල්වල පවත්වන මාධ්‍ය සංදර්ශන හෝ ශ්‍රී ලාංකේය දේශපාලනයේ අප දැක පුරුදු සාමාන්‍ය නාට්‍යමය මවාපෑම් කිසිවක් එහි නොවීය. එය ඉතා නිහඬව, එහෙත් ප්‍රබලව සනිටුහන් විය. ඒ අසිරිමත් පණිවිඩය රැගෙන ආවේ 'අඟුළුගහ' නමැති දකුණේ සුන්දර, කුඩා ගම්මානයෙනි. ඒ, දිලිත්ගේ ආදරණීය මෑණියන් වසර තිහක් තිස්සේ, කිසිවක් ම නැති නමුත් රටක් වෙනස් කළ හැකි අතිදැවැන්ත විභවයක් පපුවේ දරා සිටි අහිංසක දරුවන්ට අකුරු කරවූ, ජීවිතය කියා දුන් ගම්මානය යි. දේශපාලන බල අරගලවලට වඩා මිනිස් මුල් ගැඹුරට විහිදුණු තැනකි. කැමරා කාච, දේශපාලන රැලි හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනවලට බොහෝ කලකට පෙර, සැබෑ මිනිසෙකුගේ ජීවිත කතාවේ අත්තිවාරම වැටෙන්නේ මෙවැනි බිම්වලිනි.

දිලිත් නැවත වරක් ගමේ පාසල වෙත පිය නැඟුවේය. එහෙත් මෙවර ඔහු එතැනට ගියේ හුදකලාව නොවේ. ඔහු අසලින්ම නොසැලී සිටියේ ලෝක බලවතකු වන චීන මහජන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ය. ලෝක දේශපාලනය දන්නා ඕනෑම අයෙකු දන්නා සත්‍යයක් ඇත. ඒ, චීන තානාපතිවරුන් සාමාන්‍යයෙන් මෙරට විපක්ෂයේ සිටින දේශපාලනඥයන් සොයා මෙලෙස පෞද්ගලිකව ගම් දනව් පීරා ගොස් ගෞරවය පුද කරන්නේ නැති බවයි. රාජ්‍ය බලය අතේ නැති චරිතයන් උදෙසා මෙවැනි දෘශ්‍යමාන පියවරක් තැබීමට ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් ඉඩ දෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නමුත් ඔවුන් එවැනි පියවරක් තබන්නේ නම්, එහි ඇතුළත් පණිවිඩය ඉතා සවිඥානිකය, මැනවින් ගණනය කරන ලද්දකි, කිසිසේත්ම වැරදියට වටහාගත නොහැක්කකි.
ලෝක බලවතුන් දැන් දිලිත් ජයවීර නමැති නායකයාව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කර හමාරය. ඔවුන්ට අවශ්‍ය වූයේ මුළු ශ්‍රී ලංකාවට ම ඒ බව දැන ගැනීමට සැලැස්වීමයි. මෙය භූ-දේශපාලනික සන්නිවේදනයේ අප දුටු ඉතාමත් සියුම්, සන්සුන් සහ ප්‍රශස්ත අවස්ථාවකි. එහි කිසිදු ආක්‍රමණශීලී ප්‍රකාශ හෝ කුපිත කරවන සුලු දේශපාලන සටන් පාඨ නොතිබුණි. එහි තිබුණේ එකම එක දසුනක් පමණි. දිනෙක උතුම් ගුරු මාතාවක් අනාගත නායකයෙකු හැඩගැස්වූ ගමේ, පාසලකට කළ නිහඬ සංචාරයක් සහ එම නායකයා අසලින් හිඳිමින්, ඔහුගේ මුල්වලට ගෞරවය පුද කළ ලෝක බලවතෙකුගේ නිල නියෝජිතයෙකු පමණි. මෙම ප්‍රබල පණිවිඩය නිකුත් වූයේ කොළඹ සිසිල් කාමරවල බල කේන්ද්‍රවලින් නොවේ. ගාලු මුවදොරින් හෝ පාර්ලිමේන්තු සභා ගර්භයෙන්ද නොවේ. එය මතු වූයේ දිලිත්ගේ පෞරුෂයේ අත්තිවාරම දැමූ, අඟුළුගහේ සැබෑ පස්වලිනි.

දේශපාලනයේ සැබෑ සත්‍යය එයයි. සැබෑ බලය සැමවිටම අගනුවරවල්වල සිට හොරණෑ තලන්නේ නැත. සමහර විට එය ගම්දනව්වල සිට මෘදුව මුමුණයි. සමහර විට එය පැමිණෙන්නේ තමන්ගේ ගමෙන් සහ මවකගේ නොමැකෙන මාතෘ උරුමය තුළිනි. ලෝක සිතියම තුළ දිලිත් වටා ගොඩනැගෙන භූ-දේශපාලනික චිත්‍රය ඉතා නිහඬව, සවිඥානිකව, එකින් එක හැඩගැසෙමින් පවතී. ඉදිරියට මෙවැනි පණිවිඩ තව තවත් පැමිණීමට නියමිතය.
වත්මන් රජය ඔහුව දඩයම් කළේ ඔහු බිය වී යටත් වනු ඇතැයි යන පටු අපේක්ෂාවෙනි. නමුත් ඔවුන් නොදැනුවත්වම නිර්මාණය කර ඇත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, ප්‍රබල ප්‍රතිභාවකි. දිලිත්ට දැන් අවශ්‍ය, තමුන්ගේ දෑතට, ආන්ඩුවට කියා, මාංචු දමා ගැනීමටය. ඊට පෙර, ඔහු මේ කරන්නේ, තමුන්ට ඕනෑ විදිහට පිටය සකසා ගෙන, ත්‍රාසයේ කතාව නිර්මාණය කිරීමයි. දඩයමට සහ ත්‍රාසයට දිලිත් කැමති ය. ඒ, දඩයම් හමුවේ සිය විශ්වසනීයත්වය තව තවත් ශක්තිමත් කරගන්නා, ජාත්‍යන්තර සබඳතා පුළුල් කරගන්නා, ඕනෑම දේශපාලන කුණාටුවකට ඔරොත්තු දිය හැකි තරම් මුල් ගැඹුරට විහිදුණු නායකයෙකි.
සැබෑ සටන දැන් ආරම්භ වී ඇත. ඒ කොළඹින් නොවේ.
එය ආරම්භ වූයේ අඟුළුගහෙනි.
නවම් මීගොඩ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
