Image

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ කාන්තා විනිසුරුවරියන්ට අවස්ථාවක් නෑ - සුවන්ති වීරසේකර

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ කාන්තා විනිසුරුවරියන්ට අවස්ථාවක් නෑ - සුවන්ති වීරසේකර

ලංකාවේ ඉහළ උසාවි සම්පූර්ණයෙන් ම පාහේ පුරුෂ පාර්ශවයෙන් පුරවා ඇති බවත්, කාන්තාවන්ට දැන් දැන් එහි ඉඩක් ඇත්තේම නැති තරම් යැයි ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානයේ කැඳවුම්කාරිනී සුවන්ති වීරසේකර පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ ඊයේ (16) කුරුණෑගල පැවති රැස්වීමක් අමතමිනි.

එම රැස්වීමේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුවන්ති වීරසේකර…

අධිකරණ කේෂ්ත්‍රයේ ලොකු පුටු කාන්තාවන්ට ඇකැප ද…?

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ දැන් විනිසුරුතුමන්ලා 29 ක් සේවය කරනවා.  එයින් එකම එක කාන්තා විනිසුරුවරියයි ඉන්නේ.  ලංකාවේ පළාත් සහ රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සම අවස්ථා තියෙනවා. හැබැයි අධිකරණ කේෂ්ත්‍රයේ විනිසුරුවරියන්ට ඉඩ හොඳමට සීමා කරලා තියෙනවා.

වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17 ක් සිටිය යුතු නමුත්,  දැනට සේවයේ යෙදෙන්නේ 13 දෙනෙකු පමණයි.  හැබැයි බො‍හෝ දෙනා කතා කරන්න අකමැති කාරණය තමයි, අද ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන්නේ එකම එක කාන්තා විනිසුරුවරියක් පමණයි කියන එක. ශ්‍රේෂ්ඨාධිකණයේ කාන්තාවට තියෙන්නේ 7.6.% ක් පමණයි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන ගත්තාම අභියාචනාධිකරණය විනිසුරුවරියන්ට තනිකරම ඛේදවාචකයක්.  සේවයේ යෙදිය යුතු විනිසුරුවරුන් විස්සෙන් දැන් ඉන්නේ විනිසුරුවරුන් 16 ක් විතරයි. එකම කාන්තා විනිසුරුවරියක් වත් නෑ.

අධිකරණ විනිසුරුවන් ගැන සමාජ කථිකාවක් සිද්ධ වෙන අවස්ථාවක වුනත් කිසිම පාර්ශවයකින් මේ කතාව කියන්නේ නෑ. ජනතාව අතර මතයක් තියෙනවා, අධිකරණ කේෂ්ත්‍රය ලොකු පුටු කාන්තාවන්ට ඇකැපයි කියලා. එකේ සත්‍යතාවයක් නැතුවාම නෙවෙයි. උදාහරණයකට  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) ඉතිහාසයේ මෙතෙක් කිසිදු කාන්තාවක් සභාපති තනතුරට පත් වෙලා නෑ.

 

නීති කේෂ්ත්‍රයේ බැබළෙන කාන්තාවන්ට බලවත් අසාධාරණයක් 

මේ තත්වය ඉහළ උසාවියට පමණක් සීමා වෙලා නෑ. 2021 වසරේ දත්ත අනුව මහාධිකරණ, වාණිජ්‍ය මහාධිකරණය, සිවිල් අභියාචනා මහාධිකරණයන් හි කාන්තා විනිසුරුවරියන් හිටියේ 21.2% යි. දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණයන් හි කාන්තා විනිසුරුවරියන් සිටියේ 34.8% ක් විතරයි. ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම නොකර ඉදීමෙන් රටට ම අගතියක් වෙනවා. විශේෂයෙන් ම නීති කේෂ්ත්‍රයේ බැබළෙන කාන්තාවන්ට බලවත් අසාධාරණයක් වෙනවා. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය මගින් තහවුරු කර ඇති සමානාත්මතාවයේ අවස්ථාව,ඔවුන්ගේ පත්වීම් බලධරයා විසින් මේ වන විටත් අහිමි කරලා තියෙනවා.

අගවිනිසුරු ප්‍රමුඛ ඉහළ උසාවිවල විනිසුරුවන් කිහිප දෙනෙකුට සේවා දිගුවක් දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන ආණ්ඩුව, කිසිම වියදමක් නැතුව නීත්‍යානුකුලව කරන්න පුළුවන් අවම දේවල් ටික වත් කරන්නේ නෑ. අධිකරණ සේවය අද පවතින තත්වයෙන් වෙනස් කරන්න නම් අනිවාර්යයෙන් ම විනිසුරුවරුන් අතර ‘ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පරතරය’ අවම කිරීමට වත් පියවර ගත යුතු යි.''

සුවන්ති වීරසේකර/කැඳවුම්කරු - නිදහසේ කාන්තාවෝ සංවිධානය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න