Language Switcher

V2025

ධනපාලගේ අමරදේව සිට ඛේමාගේ කොලුවාගේ හාවඩ් කොලුවා දක්වා කතාවක්..!

ඒ 1984 හෝ 1985 වසර විය යුතුය. ඩබ්.ඩී.අමරදේව ශූරීන්ගේ සංගීත දිවියට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් උපහාර උත්සවයක් සූදානම් කර තිබිණ. ඒ උත්සවයේ සංවිධායකයන් අතර පුවත්පත් කලාවේදී නැසී ගිය ධර්මසිරි ගමගේ කතුතුමන් ද විය.

උත්සවයේ දී එළිදැක්වීමට ‘අමරදේව ප්‍රතිසංවේදය’ නමින් කෘතියක් සම්පාදනය කිරීමට සංවිධායකවරු කටයුතු කළහ. එවක සරසවි සිසුවන් සේ ම ධර්මසිරි ගමගේ මහතාගේ මෙහෙයැවීමෙන් ගොඩ නැගූ ‘පහන් වැට’ නිර්මාණ සමූහයේ (‘පහන් වැට’ යනු ගමගේ මහතාගේ කර්තෘත්වයෙන් 80 දශකයේ මුද්‍රිත යොවුන් ජනතා පුවත්පතේ නිර්මාණ පළවූ තරුණ තරුණියන්ගේ එකතුවකි) සාමාජිකයන් ද වූ අමරකීර්ති පළිහපිටිය, ප්‍රණීත් අභයසුන්දර දෙදෙනා එකී කෘතියේ සම්පාදකවරුන්ගේ නම් අතරට එකතු කරන ලද්දේ ධර්මසිරි ගමගේ මහතා විසිනි.

කොලුවෙකුගේ භාග්‍යය :

මේ උපහාර උත්සවය වෙනුවෙන් ගමගේ මහතා තවත් අලුත් අංගයක් එකතු කෙළේය. ඒ නම් අමරදේව මහතාගේ ජීවිතයේ වැදගත් අවස්ථා සම්බන්ධ පුවත් පත් ලිපි, ප්‍රවෘත්ති, සේයාරූ අඩංගු ප්‍රදර්ශනයක් උළෙලට සමගාමීව කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වීමටයි.

මෙම ලියුම්කරු තරුණ කාලයේ දී ලියූ කවි කිහිපයක් යොවුන් ජනතා පුවත් පතේ පළවීම නිසා පහන් වැටේ කටයුතු වලට ද ආවා ගියා මෙන් සම්බන්ධ වී සිටි බැවින් එකී ප්‍රදර්ශන සංවිධානයට ගමගේ මහතා විසින් මේ ලියුම්කරුවද ඇතුලත් කිරීම වාසනාවක් විය.

ප්‍රදර්ශන සංවිධානයේ ලොක්කා වූයේ වර්තමානයේ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන ඉන්ද්‍රනාථ තේනුවරයන් ය. එකම පාසැලක උගෙන ගත් ඉන්ද්‍රනාථ සහ ලියුම්කරු කුඩා කළ සිටම මිතුරන් වීම නිසා ප්‍රදර්ශන සංවිධානයේ මුල සිට අග දක්වාම බරට කර ගැසීමට සිදුවිය.

අමරදේව නම් ඒ මහා ගාන්ධර්වයාගේ නිවසේ නතර වී, ඔහුගෙන් කා බී, ඒ වන විට ඔහු රැක ගෙන සිටි සබ්බ සකලමනා ඉතිහාසයම අවුස්සමින් තොරතුරු එකතු කිරීමට අවුරුදු 22 ක පමණ කොලුවෙකුට ලැබීම කෙතරම් භාග්‍යයක් ද?

දිනක් ඒ ඇවිස්සීමේ දී අති පැරණි ලංකාදීප පුවත්පතකින් කපා වෙන් කර ගත් ලැයිස්තුවක් හමුවිය. මිනිසුන්ගේ නම් ලැයිස්තුවක් සහ ඔවුන් ආධාර වශයෙන් දුන් මුදල් එහි සඳහන් විය. බොහෝ දෙනා පරිත්‍යාග කර තිබුනේ රුපියල, දෙක, සත පනහ ආදී වශයෙනි.

මෙවැනි ආධාර ලැයිස්තුවක් අමරදේවයන් කපා වෙන්කරගෙන ආරක්ෂා කරගෙන තිබුනේ ඇයිදැයි ඔහුගෙන් විමසුවෙමු. ඒ නම් අමරදේවලාට ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට වියදම් කිරීම සඳහා ලංකාදීප පුවත්පතේ එවක කර්තෘ ඩී.බී. ධනපාල මහතා මහජනතාවගෙන් එකතු කළ මුදල් ලැයිස්තුවක් බව අමරදේවයන් විසින් අතීත පවත් හෙළිකරමින් පැවසීය. ධනපාල මහතා ඒ මහජන මුදල් ලැයිස්තු පුවත්පතේ ප්‍රසිද්ධ කර තිබිණ. කවර නම් විනිවිද භාවයක්ද?

 අමරදේව නිවසින් හමුවූ අසාමාන්‍ය පත්තර කෑල්ල !

 අමරදේව, චිත්‍රසේන, සෝමබන්ධු, ආදී ලංකාවේ දක්ෂ නමුත් මිල මුදල් ප්‍රමාණවත් නොවූ තරුණ කලා ශිල්පීන්ට ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තම පුවත්පත හරහා අරමුලක් එකතු කළ ඩී.බී.ධනපාල කතුවරයා දීර්ඝ දැක්මකින් යුක්ත මිනිසෙකු විය. වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ‘අමරදේව’ නමින් විද්වත් ගාන්ධර්වයෙකු කෙළේ ද, අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස්, ‘චිත්‍රසේන’ නමින් විද්වත් නර්තන ශිල්පියෙකු කෙළේ ද ධනපාල මහතා සිය පුවත්පත හරහා ගොඩ නැගූ අරමුදලිනි. ඔවුන්ගේ නම් ගම් එවක නැගී ආ දේශීයත්වයට ගැලපෙන ලෙස වෙනස් කෙළේ ද ධනපාල මහතා විසිනි.

ධනපාල මහතාගේ දුර දක්නා නුවණ කොතෙක්ද යත් ඔහු එදා වැඩි දුර අධ්‍යාපනය සඳහා තෝරා ගත් ඒ චරිත පසුකලෙක සමස්ථ ලංකාවේම ඒ ඒ ක්ෂේත්‍ර බැබැලැවූ මහා පුරුෂයන් වූහ. අද දිනයේ ද ලංකාවේ ඒ ඒ කලා ක්ෂේත්‍ර ගමන් කරන්නේ අමරදේවලා, චිත්‍රසේනලා, සෝමබන්ධුලා වැනි ඒ මහා පුරුෂයන් වැපිරූ කෙත මැදිනි. ඔවුනට තමන් අධ්‍යාපනය ලැබුවේ මේ රටේ මහජනතාවගේ සත පනහෙන් රුපියලෙන් බවට හැඟීමක් තිබූ බව අමරදේවයන් පෙර කී පත්තර කෑල්ල ආරක්ෂා කර ගැනීමෙන්ම තහවුරු වනු ඇත.

කණගාටුවකට කාරණය වී තිබෙන්නේ ධනපාල මහතා වැපිරූ කෙතේ ඔහුගෙන් පසු එකදු පත්තර කර්තෘවරයෙකු හෝ ගමන් නොකිරීමය. ධර්මසිරි ගමගේ මහතා පමණක් යම් වෑයමක් ගත්තේ ය. ඔහුගේ පහන් වැටෙන් ආලෝකය ලැබූ බොහෝ දෙනා පසු කලෙක විවිධ ක්ෂේත්‍රවල තම සුරුවිරුකම් පා තිබෙන බව පෙනී යන නමුත් එය ධනපාල මහතතාගේ උත්සාහය තරම් සාර්ථක වූ බවක් නොපෙනේ.

රටකට මහා පුරුෂයන් නිර්මාණය කර ගැනීම !

 කෙසේ වෙතත් රටකට මහා පුරුෂයන් නිර්මාණය කර ගැනීම සඳහා දිගුකාලීන දැක්මකින් යුක්ත මැදිහත් වීමක් ධනපාල මහතාගෙන් පසුව මේ ලියුම්කරු දුටුවේ ඊයේ පැවැති අය වැය යෝජනා වලින් පමණි. ඉහත දිගු පූර්විකාව ලීවේ ඒ ගැන සාකච්ඡා කිරීමට ය.

ලංකාවේ උසස් පෙළ ප්‍රධාන විෂය ධාරා හතරින් ප්‍රමුඛස්ථානය ගන්නා සිසු සිසුවියන් සිව්දෙනාටත් පළාත් මට්ටමින් වැඩිම ලකුණු ගන්නා 9 දෙනාටත් ඇතුළු 14 දෙනෙකුට හාවඩ්, ඔක්ස්ෆර්ඩ්, එම්අයිටී වැනි ලොව අංක එකේ සරසවි වල උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා රජයේ මුදලින් ශිෂ්‍යත්ව ලබා දීමටත් එය ලබන වසරේ දී 28 දක්වා වැඩි කිරීමටත් දිගුකාලීනව මෙකී ශිෂ්‍යත්ව ලබා දීම සඳහා අරමුදලක් බිහි කිරීමටත් මුදල් අමාත්‍ය මංගල පින්සිරි සමරවීර මහතා ඊයේ අය වැය යෝජනාවලින් යෝජනා කර තිබිණ.

මෙය ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවක් බව ඔ්නෑම පුද්ගලයෙකු පිළිගන්නවා ඇත. රටක අය වැයක් යනු කිසියම් දේශපාලන අරමුණක් කරා රට යොමු කරවන ලියැවිල්ලක් විය යුතුය. රට ක්‍රම ක්‍රමයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ දිශාවට ගමන් කරවීමට සමරවීර මහතා ප්‍රමුඛ කණ්ඩායමට අවශ්‍යතාවයක් තිබෙන බව මෙවැනි යෝජනාවකින් නිසැකවම පෙනී යයි. දිගුකාලීනව ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හෙවත් පෙර කී ලෙස රටකට අවශ්‍ය මහා පුරුෂයන් බිහිකර ගැනීම සඳහා මෙවැනි වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍යම ය.

රජයේ අරමුදලක් යනු ජනතාවගේ අරමුදලකි. එදා ලලිත් ඇතුලත්මුදලි වෙළඳ ඇමැතිවරයාව සිටියදී නිර්මාණය කරන ලද මහපොළ අරමුදල අද වන විට කෙතරම් සේවයක් ඉටු කර ඇද්ද, ඊටත් වඩා සේවයක් මෙම අරමුදල විසින් ඉටු කරනු ඇත යන්න අපගේ විශ්වාසය යි. කෙසේ වෙතත් අතර මග කඩා නොවැටෙන ලෙස අරමුදල ගොඩ නැගීමත් දක්ෂ සිසු සිසුවියන් තෝරා බේරා ගැනීමත් සිදුකිරීමට සැලසුම් සකස් කිරීම කළ යුතුය. එවැනි ජනහිතකාමී ශක්තිමත් සැලසුමක් ඕනෑම දේශපාලන පක්ෂයක් බලයට පැමිණියද යළි ආපිට හැරවීම පහසු නොවනු ඇති බවට සහතික ය.

 යෝජනාවේ ගැටළු..!

මෙම යෝජනාවේ අපට බැලූ බැල්මට ප්‍රායෝගික ගැටළු කිහිපයක් පෙනී යයි. 

ඉහත කී සරසවි වලින් කවර විෂයධාරාවකින් අධ්‍යාපනය ලැබුවද මූලික උපාධිය දක්වා පමණක් උගෙන ගැනීමෙන් පමණක් පලක් නැත. මූලික උපාධිය මහ මෙරක් වන්නේ ලංකාවේ පමණි. වර්තමාන ලෝක උසස් අධ්‍යාපන ක්‍රියාවලිය තුල වඩා වැදගත් වන්නේ මූලික උපාධියෙන් පසුව උගෙන ගන්නා පශ්චාත් උපාධි විෂයයන් ය. රැකියා හෝ වෙනත් ආකාරයකින් තමන් ලද අධ්‍යාපනය මහජන සේවාවක් සඳහා පරිවර්තනය වන්නේ පශ්චාත් උපාධි විෂයයන් වලිනි.

වර්තමාන දියුණු සමාගම් සලකා බලන්නේ ද පශ්චාත් උපාධියට උගෙන ගෙන ඇත්තේ කවර නම් විෂයන්ද යන්න මිස මූලික උපාධිය පමණක් නොවේ. ඇත්තටම දැන් දියුණු සමාජයේ මූලික උපාධියකට රැකියාවක් සොයා ගැනීම පවා අසීරුය. ඒ අනුව අප මුදල් ඇමැතිවරයාගේ ශිෂ්‍යත්ව වැඩ සටහන මූලික උපාධියෙන් එහා යන වැඩ සටහනක් විය යුතුම ය.

මන්ද යත් මේ ලියුම්කරුගේ අත්දැකීම් අනුව ඉහත සරසවි සියල්ලම පාහේ අති දක්ෂ සිසුන් යොමු කරවන්නේ එක්වරම උපාධි දෙකම අහවර කර ගැනීමේ අධ්‍යාපන වැඩ සටහනකට ය. සමහර අති දක්ෂ සිසුන්ට එකවර උපාධි 2 ක් උගෙන ගැනීමට ද අවස්ථා සලසා දීම සුලබ ය.

 දේශානුරාග දෙකක්...!

 සමරවීර ඇමැතිවරයාගේ යෝජනාව අනුව මූලික උපාධියකට පමණක් ශිෂ්‍යත්වයක් දී දරුවා වසර දහයක සේවයකට ලංකාවට ගෙන්වා ගන්නේ නම් එය පාපයකි. මන්ද යත් ඒ දක්ෂ දරුවාට තම පශ්චාත් උපාධිය නිම කිරීමට සිදුවන්නේ වසර 10 කට පසුව වන නිසා ය. 

කෙසේ වෙතත් මේ ගැටළුව ඒතරම් බරපතල ගැටළුවක් විය නොහැකි ය. විසඳුම් සහිත ය. ඒ ගැන අවධානය යොමු කරවීම පමණක් මෙමගින් බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත් මෙවැනි සරසවි වලින් දැනටමත් ශ්‍රී ලාංකික දක්ෂ දරුවන් බිහි වී සිටිති. නමුත් තම පුද්ගලික මුදලින් උගෙන ගන්නා දරුවෙකුගේ දේශානුරාගයත් රටේ මහජනතාවගේ මුදලින් උගෙන ගෙන බිහිවන දරුවෙකුට ඇතිවිය හැකි දේශානුරාගයත් එකක් නොව දෙකක් බැවින් මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ යෝජනාව පූර්වයේ නොවූ අපූර්ව ප්‍රථිපල ගෙනදෙනවා නොඅනුමාන ය.

කව්ද ඒ නායකයා..?

 ලංකාව යනු ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසඳූ කල මරණාධාර සංගමයක් තරම් කුඩා ය. ඒ කුඩා ජන කණ්ඩායම ගොඩ ගැනීමට සත්‍ය වශයෙන්ම 225 ක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ හරි හමන් එක් නායකයෙකු පමණි.

ඒ නායකයා තමන්ගේ පියා ජනාධිපතිවරයෙකු වීම නිසා එංගලන්තයට උසස් අධ්‍යාපනය හැදෑරීමට යයි කියා ගොස් පියාගේ ලේකම්ලා ගෙන්වා ගෙන විභාග ලියවා ගත් නමුත් අවසන් විභාගයට මුහුණ නොදී කම්මුල්ගාය හැදුනා කියා ආපසු පැමිණ, දශක ගණනාවක් ගියද කම්මුල් ගාය සුව නොවී රටේ නායකත්වය යදින බොරුකාරයෙකු නොවේ.

එමෙන්ම ඒ නායකයා තමන්ගේ පියා ජනාධිපති වීම නිසා තනියම දොරවල් වසාගෙන වායුසමනය කළ කාමරයකට වී හොරට විභාග ලියා සියේට 99 ක් ලෙස වාර්තාගත ලකුණු ගත් නමුත් නඩුවක් දුටු විට දුවන නීතිඥවරයෙකු වී නායකත්වය යදින බොරු කාරයෙකුද නොවේ.

ඒ නායකයා ඊයේ මංගල පින්සිරි සමරවීරගේ යෝජනා අනුව අග්‍රගන්‍ය උසස් අධ්‍යාපනයක් ලබාගත් රටට පහළ විය හැකි දක්ෂ දරුවෙකු විය හැකිය. විය යුතුය. ඒ දරුවා රටේ නායකත්වය ගන්නා දිනයට ‘ඛේමාගේ කොලුවා’ ද, මේ සටහන ලියන ලියුම්කරුද මියගොස් තිබිය හැකිය. නමුත් එවැනි පරම්පරාවකට රට බාර ගැනීමට බර සාර පාරක් කැපුනා කියා හිත හදාගෙන මිය යා හැකි ය.

(සඳරුවන් සේනාධීර - උපුටා ගැනීම 'ලංකා ඊ නිව්ස්')