Language Switcher

V2025

මාතර පිරිමියෙක් බබෙක් වැදුවද ? ඇත්ත කතාව මෙන්න !

මාතර රෝහලේදී 'පිරිමියෙකුට බබෙක් ලැබීම' ගැන කතා පුවතක් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණ.

බොහෝ මාධ්‍ය එය වාර්තා කර තිබුණේ 'අමුතු දරු උපතක්', 'මාතර පිරිමියෙක් දරුවෙකු වදයි,' ... යනාදී වශයෙනි.

මාතර රෝහලේදී සිදු වූ මේ දරු උපත ගැන සත්‍යය කුමක් ද? මාධ්‍ය එය මේ ආකාරයෙන් වාර්තා කළේ ඇයි?

සිදු වූයේ කුමක්ද?

උදරයේ දරුණු කැක්කුමක් හේතුවෙන් රෝහලේ පුරුෂ වාට්ටුවට ඇතුළු වූ පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී ඔහු ගැබ් ගෙන ඇති බව වෛද්‍යවරුන්ට පෙනී ගොස් තිබේ.

ඉන් අනතුරුව රෝහලේ බලධාරීන් පොලිසිය කැඳවුයේ දරුවෙකු ප්‍රසූත කළ පුරුෂයා දරුවා හදා වඩා ගැනීමට නොහැකි බව දැනුම් දීම හේතුවෙනි.

අදාළ පුද්ගලයා අධිකරණය වෙත යොමු කළ යුතු බව ද රෝහල් බලධාරීන්ගේ ස්ථාවරය වී තිබිණ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණය මෙහෙයවනු ලැබුවේ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී, පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත විසිනි.

තරුණියක සාමාන්‍ය ලෙසින් දරුවෙකු ප්‍රසූත කර ඇති බවත්, 'ඇය' කිසිදු ලෙසකින් නීතිය උල්ලංඝනය කර නොමැති බවත් පොලිස් පරීක්ෂකවරිය එහිදී රෝහල් බලධාරීන්ට පෙන්වා දී තිබේ.

කෙසේ වුව ද එම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටියේ ද සහ එසේ පෙනී සිටිමින් කිසියම් අපරාධවලට සම්බන්ධ වූයේ ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කවුද මේ 'පුරුෂයා'?

මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කළ විමර්ශනයේ දී හෙලි වූ ආකාරයට එම පුද්ගලයා උපත ලබා තිබෙන්නේ ස්ත්‍රියක ලෙසිනි.

පියා අහිමිව කලක් මවගේ සෙවනේ හැදී වැඩුණු ඇයගේ මව ද විදේශගත වීමෙන් අනතුරුව ඇය රැක බලාගනු ලැබ තිබෙන්නේ ආත්තම්මා විසිනි.

ළමා වියේ සිට පිරිමි ඇඳුම් පැළඳුම්වලින් සැරසීමට දැඩි කැමැත්තක් දැක්වූ එම දැරිය, ක්‍රීඩාවට දැක්වූ දැඩි ලැදියාව සහ දක්ෂකම නිසා ඇය 'කොල්ලෙක් වගේ' බව බොහෝ අවස්ථාවල යහළු යෙහෙළියන්ගේ මුවින් නික්මිණ.

 110770855 cdb89ada 9ae3 409d aa93 057964e9a2b7

බීබීසී සිංහල සේවයට අනාවරණය වූ ආකාරයට, ළමා වියේ දී ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ පිරිමි දරුවන් සමඟ කාලය ගත කිරීමටය.

පාසල් සමය හමාරයේ ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා කණ්ඩායමට ද සම්බන්ධ වී තිබේ. ඒ 2014 වසරේදීය.

තමන්ට අවශ්‍ය නම් සිය ලිංගිකත්වය වෙනස් කොට පුරුෂයෙකු බවට පත්වීමේ හැකියාව තිබෙන බව ඇයට දැනගැනීමට ලැබී තිබෙන්නේ ගුවන් හමුදාවේ ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන අතරවාරයේදීය.

කොළඹ ජාතික රෝහලේ මානසික උපදේශන සේවාවල ද පිහිට ලබා ඇය සිය ලිංගිකත්වය වෙනස් කිරීම පිණිස පුරුෂ හෝමෝන ලබාගැනීම ඇතුළු ප්‍රතිකාර ලබාගත්තේය.

ශල්‍යකර්මයකින් ඇගේ පියයුරු ද ඉවත්කර තිබෙන නමුත් ස්ත්‍රී ලිංගය ඉවත් කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රමවේදයක් නැත.

හෝමෝන ප්‍රතිකාර හේතුවෙන් මාස් ශුද්ධිය ද නතර වූ අතර, තවමත් හෝමෝන ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් සිය සමරිසි පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් තමන් ගැබ් ගනු ඇතැයි එම පුද්ගලයා විශ්වාස කර නැත.

සංක්‍රාන්ති ලිංගිකයෙකු වූයේ ඇයි?

පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත විසින් පවත්වන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙන ආකාරයට අදාළ තරුණිය පුරුෂයකු වීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබේ:

  • පියා අහිමිව, පිළිකාවකින් පෙලෙන මව ද විදේශගත වී මිත්තණිය ගේ රැකවරණය යටතේ හැදී වැඩීම හේතුවෙන් නිසි රැකවරණයක් නොලැබීම.
  • සිය ආර්ථිකය ස්වාධීනව සකසා ගැනීමේ අවශ්‍යතාව

ඒ අතරින් ප්‍රධාන වේ.

sri lanka 51357266

මාධ්‍ය වාර්තා සහ සමාජ ආකල්ප
අදාළ දරු උපත ගැන මාධ්‍ය වාර්තා කළ ආකාරය දැඩි දෝෂදර්ශනයට ලක් කරන EthicsEye සංවිධානය, අදාළ පුද්ගලයා සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙසින් හඳුන්වා නොදී උද්වේගය දනවන අයුරින් එය වාර්තා කිරීම කොතරම් සදාචාර සම්පන්න දැයි ප්‍රශ්න කර තිබිණි.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ වෙරිටේ රිසර්ච් සංවිධානයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා දීපාන්ජලී අබේවර්ධන පවසන්නේ, ආචාර ධර්මානුකූල වාර්තාකරණයක යෙදීමට සියලු ජනමාධ්‍ය බැඳී සිටින බවය.

"සමස්තයක් විදියට සංක්‍රාන්ති ලිංගිකයන් ගැන කරන වාර්තාකරණය අපි දකින්නේ 'ජූසි ඩීටේල්ස්' දෙන අර බොහොම හැඟීම් අවුස්සන සුළු ආකාරයේ වාර්තාකරණයක්," ඇය පැවසීය.

"සමහර වෙලාවට සංක්‍රාන්ති ලිංගිකයා කියන අනන්‍යතාව කතාවට බලපාන්නේ නැති වුනත් ඒක තමයි පළමුවෙන්ම හයිලයිට් කරන්නේ බහුතර වාර්තාකරණයක."

සමකාමීන් සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ පවතින සහ විශේෂයෙන්ම මාධ්‍යවල ආකල්ප පිළිබඳව අදහස් දක්වන සමකාමීන් වෙනුවෙන් පෙනී සිටින ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පවසන්නේ, සමරිසි පුද්ගලයන් සම්බන්ධ වාර්තාකරණයේ දී ලාංකීය ජනමාධ්‍ය සිදුකරන්නේ විෂයමූලික වාර්තාකරණයක් වෙනුවට 'ලුණු ඇඹුල් දමා' වාර්තාකිරීමේ ක්‍රමවේදයක් පවතින බවය.

  110770854 13cbf55d e284 4062 8935 6730af7eaa21

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඔහු 'සය පෙති කුසුම' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය.

"රෝහලේ බලධාරීන් ඉතාම හොඳ උත්සහයක් අරගෙන තිබුණ ඒ පුද්ගලයාගේ අනන්‍යතාව ආරක්ෂා කරන්න. ඒ වුනාට ඒ අනන්‍යතාව හොයමින්, හාර අවුස්සමින් හැම කාරණයක්ම ඇතැම් පුවත්පත් වාර්තාකරුවෝ ඉදිරිපත් කළා. ඒක මම දකින්නේ ඉතාම පහත් පෙළේ, කෙනෙකුගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමක් හැටියට."

'දිළිඳු, පහළ පන්තියේ අයට පමණයි'

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පෙන්වාදෙන ආකාරයට ජනමාධ්‍යවල මේ හැසිරීමට ද හේතු ගණනාවක් තිබේ:

  • රටේ අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා
  • ඇතැම් රාජ්‍ය නායකයන් පවා සමකාමීන් හෙලා දැකීම (උදා: මෑතදී සමකාමීන් 'සමනලයන්' ලෙසින් හඳුන්වා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධ වේදිකාවක කළ ප්‍රකාශය)
  • බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර සමාජය නූතන ආකල්ප වැලඳ ගනිද්දී තවමත් වික්ටෝරියානු ආකල්ප මත පදනම් වූ ශ්‍රී ලංකාවේ 'සංස්කෘතික සභ්‍යත්වය' සම්බන්ධ අර්ථ නිරූපණ

ඒ අතරින් කිහිපයකි.

 110770852 3a7bb4ce 8640 4047 820e 2718c9f85180

සමස්තයක් වශයෙන් ගත් කළ සමකාමීන් සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ තවමත් බොහෝ පසුගාමී ආකල්ප පැවතිය ද ඒ ආකල්ප හේතුවෙන් විශේෂයෙන්ම බැට කන්නේ පහළ පන්තියේ දිළිඳු ජනතාව පමණක් බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පෙන්වා දෙයි.

"යම් යම් බලපුළුවන්කාරකම් තියෙන අය, සිවිල් බලයක් තියෙන අය, හොඳ වෘත්තියක යෙදිල ඉන්න අය, සල්ලි තියන අය මේ ප්‍රශ්නවලින් සෑහෙන්න තරම් දුරට බේරිලා ඉන්නවා."

මෑත අතීතයෙන්
සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ජන කොටස් සම්බන්ධයෙන් මේ ආකාරයට 'ලුණු ඇඹුල් දමා' වාර්තාකිරීම මෑතදී කිහිප අවස්ථාවකම අවධානයට ලක්විය.

ජනපති මෛත්‍රීට "හෝමොෆෝබියාව"
2017 සැප්තැම්බර් මාසයේ දඹුල්ල නගරයේ පෞද්ගලික වෑන් රථ ගාලේදී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවල සිරස්තලය බවට පත් වී තිබුණේ දහවල් යාමයේ තරුණයෙකු ලෙසින් පෙනී සිටි මිය ගිය පුද්ගලයා රාත්‍රී කාලයේ කාන්තාවක් ලෙස සැරසී නගරයේ හැසිරෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන බවය.

එහෙත් එච්අයිවී (HIV) ආසාදනය පිළිබඳව සංක්‍රාන්ති ලිංගිකයන් දැනුවත් කිරීම උදෙසා එම පුද්ගලයා ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළ බව Young Out Here සංවිධානයේ භූමි හරේන්ද්‍රන් ඒ අවස්ථාවේ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය. එය ජනමාධ්‍යවලට එතරම් වැදගත් මාතෘකාවක් වූ හැඩක් නොපෙනිණ.

2016 වසරේදී මධ්‍යම පළාතේ ආණ්ඩුකාර පදවියට කාන්තාවක නොව වෙනත් පුද්ගලයකු පත්කිරීම පිළිබඳව සලකා බලන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

එවක ආණ්ඩුකාර පදවිය හෙබවූයේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවකි. ඒ හේතුවෙන් ඇයට එල්ල වූ විවේචන සමරිසි අයිතිවාසිකම් පිළිබඳ සංවිධානවල විවේචනයට ලක්විය.

මීට වසර කිහිපයකට ඉහතදී කාන්තාවන් අතර සමලිංගික සේවනය රෝගයක් බැවින් එම රෝගය සුවපත් කිරීම පිණිස සමලිංගික කාන්තාවන් දූෂණය කළ යුතු බවට පුවත්පතක ලිපියක් පළ වී තිබිණ.

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පෙන්වාදෙන පරිදි ඒ අවස්ථාවේ එයට එරෙහිව පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කරන ලද නමුත් විජේදාස රාජපක්ෂ නීතිඥවරයාගේ සභාපතිත්වයෙන් පැවති පුවත්පත් මණ්ඩලයේ තීන්දුව වූයේ එවැනි 'විවාදයට තුඩු දෙන' මාතෘකාවක් සම්බන්ධයෙන් සිය පාඨකයා දැනුවත් කිරීමට පුවත්පත බැඳී සිටින බවය.

සමාජ ආකල්ප
සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සම්බන්ධ සමාජ ආකල්ප සහ විශේෂයෙන්ම මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව අදහස් දක්වන වෙරිටේ රිසර්ච් ආයතනයේ දීපාන්ජලී අබේවර්ධන පවසන්නේ ඔවුන් ගැන 'ජූසි ඩීටේල්ස්' වාර්තා කරනු වෙනුවට ඔවුන් සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට එවැනි සිදුවීම අවස්ථාවක් කරගත හැකි බවය.

එහෙත් සමලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකත්වය 'විකෘති කාම ආශාවන්' මත පදනම් වූ ලිංගික තත්ත්වයක් ලෙසින් හුවා දැක්වීමට ශ්‍රී ලංකාවේ බොහෝ ජනමාධ්‍ය තවමත් උත්සහ දරන බව ඇයගේ අදහසය.

වැඩිදුරටත් කරුණු දක්වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පවසන පරිදි මෙය සැබවින්ම මතුපිටින් දක්නට ලැබෙනවාට වඩා ඉතා බරපතල තත්ත්වයකි.

"මේ හැම දෙයක්ම බැලුවම අපිට පේන්න තියන දෙයක් තමා ඇතැම් පුවත්පත් වාර්තාකරුවන් ඉතාම පහත් ආකාරයට, කිසිම ආචාර් ධර්මවල වටිනාකමක් පිළිගන්නේ නැතුව තමා හැසිරුනේ."

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found