Language Switcher

V2025

ඇමරිකන් හොරු

හෝමාගම පැවති අවසාන රැස්වීමෙන් අනතුරුව නිවසට පැමිණි ඇමරිකන් අපේක්ෂකයා පහුගිය කාලයේ මෝරුන් පීනමින් සිටි වතුර ටැංකිය අසල නැවතුණේ මේ පාරත් ගොඩ එන පාටක් නැති බව යළි යළිත් මෙනෙහි කරමිනි. අවසන් රැස්වීමටවත් හරි හමන් සෙනගක්වත් ගෙන්වා ගැනීමට පොහොට්ටු පක්ෂේ එවුන්ට නොහැකි වූ බව සිතූ අපේක්ෂකයා සජිත් මේ තරම් සෙනගක් කොහෙන් ගෙනෙනවාදැයි කල්පනා කරන්නට විය. ඒ අතරේ තමන් තවමත් ඇමරිකන් පුරවැසියෙක්ය යන වග නැවතත් කරලියට පැමිණ ඇත්තේ මේ ඡන්දයෙන් නියත පරාජයක් අත්වීමේ පෙරමග සළකුණක් ලෙෂ බව සිතූ ඔහු මේ අටමගලෙන් ගැළවෙන්නේ කොහොමදැයි සිතමින් හිස් වූ මෝර ටැංකිය දෙස බලා සිටින්නට විය.

 පහුගිය දින 2 තුනේදී නම් ලයිව් නමින් පෙන්වන රෙකෝඩින් දේශපාලන වැඩසටහන් දෙකකදී තමන්ට බාධාවකින් තොරව කියා ගන්න අවශ්‍ය දේවල් කියා ගත් බව මතක් වී තනියම හිනා වූ අපේක්ෂකයා කල්පනා කළේ මේ වගේ අමු අමුවේ කඬේ යන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සිටියේ නම් අයියා මැරෙනකල් ජනපති නේදැයි සිතාය.

ඒ අතරේම ඔහුට කල්පනා වුණේ අයියා හැමදාම ජනාධිපති වී හිටියේ නම් තමන්ට සිදුවන්නේ ආරක්ෂක ලේකම්ම වන්නට පමණකැයි කියාය. එහෙම උනානම් අර ගොන් නාමලයටත් යටත් වී බැසිල්ටත් යටත් වී ඉන්න වෙනවාට වඩා මෙහෙම ඉදලා පැරදිලා ගියත් මොකදැයි සිතූ අපේකෂකයා ඇත්තටම අයියා පැරදුනේ මොකක් නිසාදැයි මදකට සිතා බලන්නට විය.

එතකොටම ඔහුට මතක් වූයේ සුදු වෑන්ය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අනුබල දුන් ආකාරය හා ඊට උපදෙස් දුන් ආකාරය මතක් වී කන් දෙකෙන් දාඩිය දාගෙන සිටි අපේක්ෂකයාට පෝද්දග ක්‍යන්තට පහරදෙන අයුරු මැවි මැවී පෙනෙන්නට විය. කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන් පැහැරගෙන ගියේද තමන් යටතේ නේදැයි සිතූ අපේක්ෂකයා අර අසරණ දරුවන් 11 දෙනෙකු පැහැරගෙන යාමටද තමන්ගේ සම්බන්ධතාවය පිළිබදව සිතා සිනා පහළ වන්නට විය. එවිට ඔහුට කල්පනා වුණේ අයියා පරදින්නට ප්‍රධාන හේතුවක් වූයේ තමන්ගේ ක්‍රියා කලාපය බවයි.

 එහෙව් අයියා පැරද්දවූ තමන් ජනාධපිතිවරණෙකින් ජයගන්නනේ කොහොමදැයි සිත සිතා ලසන්නත මතක් වී දැමූ දාඩිය පිස දමමින් ගෙට ගොඩ වූ අපේක්ෂකයා දොර ඇර සාලයේ කලුවර සැටිය මත වාඩි යූයේ විදුලි පහන දැල්වීමේන අනතුරුවය. ගෙදර බලු බල්ලෙක් නැත. බිරිද මේ වන විටත් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට උදව් කරනවා ඇතැයි සිතූ අපෙක්ෂකයා ඇත්තටම තමන්ගේ ගෑණිගේවත් ළමයාගේවත් ඡන්දයක් ලැබෙන්නේ නැති අපේක්ෂකයෙකුට මේ රටේ උන් ඡන්දයක් දේවි දැයි යළිත් කල්පනා කරන්නට විය.

එකෙනෙහිම හේමලයා ප්‍රාතීර්භූත වූයේ එතෙන් හිදගෙන සිටි කලුවර කවිච්චිය අස්සෙන්ය.

මොකද නිකන් අවුලෙන් වගේ?

පරදින බව දැන දැනත් මේ වෙලාවේ නම් තමන් අහලට එන්නට එකෙක් නැති බව දත් අපේක්ෂකයා මේ කතා කරන්නේ හේමලායම බව දැන උත්තර දෙන්නට විය.

 අවුල් නැද්ද ? බලපංකො සජිත්ට ඉන්න සෙනග. කෝ මගේ ඒවට බස් වලින් ඇදලත් මුන්ට පිට්ටනියක් පුරවන්න බෑනේ.

 ඒක ඉතින් සජිත්ගෙ හැකියාව?

 මොකක්ද හැකියාව. එයත් ජනාධිපති අපේක්ෂක මමත් ජනාධිපති අපේක්ෂක

 ඒ වුණාට ඉතින් සජිත් එන අයට දැනෙන්න කතාවක් පවත්වනවා. ඒ සිටේජ් එකේ ඉන්න අනිත් අයත් එහෙමයි. දැන් ඔබතුමා දැනෙන්න කතාවක් කරනවද නෑනේ. හැමදාම අර අයි ටී ජොබ් දෙනවා කියන කතාව අහල මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. එතකොට ඒ ස්ටේජ් එකේ මොකාද හරියට කතා කරන්න ඉන්නේ. අර විමලා කතා කරොත් ඇමරිකන් විරෝධය. ඒව අහල මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ.

ඉතින් ඇමරිකන් විරෝධය හොදයිනේ. මිනිස්සු ඒකට කැමතියිනේ ?

 මිනිස්සු කැමතියි ඒක අවංකව කියනව නම්. ඇමරිකන් කාරයෙක් ජනාධිපති අපේක්ෂකයා කරගෙන ඇමරිකන් විරෝධයක් ගැන කතා කරන එක තනිකරම විහිලුවක් නේ.

 ඒ කතාවට නම් අපේක්ෂකයාට මල පනින්නට විය.

 උඹ හේමලයා නොවුන නම් මම දන්නවා කරන දේ. කවුද යකෝ ඇමරිකන් කාරයා. මම අර මාතර රැස්වීමෙදිත් කිව්වේ මම මාතර ඉපදුණේ කියලා.

 ඉපදුණේ මාතර වුණාට ඇමරිකාවේ පදිංචියට ගියානේ.

 ඒ වුණාට දැන් ඉන්නෙ ලංකාවෙනේ.

 ලංකාවෙ හිටියට තාම ඇමරිකානු පුරවැසිභාවය අයින් කරගෙන නෑනේ.

 මොකද නැත්තේ ඇයි උඹ දැක්කෙ නැද්ද සබ්රි කිව්වේ.

 මොකක්ද?

 මම ඇමරිකානු පුරවැසිභාවය අයින් කර ගත්තා කියලා.

 සබ්රි කිව්ව නෙවෙයි. නෑවා. ඒකෙන් තවත් තහවුරු වුණා ඔබ තුමා තාම ඇමරිකන් කියලා. හරි ඉතින් ඇමරිකන් නොවෙයි නම් අර හාමුදුරුවෝ දවස් 4ක් උපවාස කරන කල් බලං හිටියේ ?

 ආ ඒකට අයියා යන්න එපා කිව්වා.

 යන්න එපා කියපු එක වෙනම එකක් ඇත්තටම ඇමරිකන් එක අයින් කර නොගත්ත එක වෙනම එකක්නේ?

 හරි හරි මම තවම ඇමරිකන් . උඹට ඒක ප්‍රශ්නයක්ද?

 මට නෙවෙයි මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක්.

 උන්ට ප්‍රශ්නයක් නෑ. උන් මට ඡන්දෙ දෙනවා. ඇමරිකාවෙන් නෙවෙයි හදෙන් ආවත් රාජපක්ෂ පවුලෙ නම් උන් දෙනවා.

එහෙමත් හරක්.

 හා හා අපේ ඡන්ද දායකයන්ට එහෙම කියන් එපා. එක සැරයක් අර ගොම්පිලයත් ඔය කතාව කිව්වා. වෙලාවට උන් ඒව ඇහුනේ නෑ වගේ ඉන්නවා.

දැන් එතකොට ඡන්දෙ පැරදුනාම ආයේ ඇමරිකාවට යනවද?

නැතුව. මෙහේ ඉදලා මොනව කරන්නද බලයක් නැතුව.

ඔව් ඉතිං මෙහේ හිටියොත් හිරේ යන්නත් වෙයි නේ.

කොහෙ හිටියත් වෙන්නේ ඒක තමයි.

තාම හිත තියෙන්නේ ඇමරිකාවෙ නම් ඇයි මේ ලංකාවට ආදරෙයි කියන්නේ ?

අපිට කන්න තියෙන්නේ ලංකාව විතරයිනේ. ඇමරිකාව කන්න බෑනේ. ඒක හින්දා ඉතින් මේකට තමයි ආදරේ.

අපරාදෙ නේද අර ඉහළින්ම තියෙන එකේ ලොක්කගේ මල්ලිව නිදහස් කර ගන්න වෙන්නෙ නැති එක.

ඔව් ඉතින් පැරදුනාම ගොඩක් අයට පාඩු වෙනවා.

ගොඩක් අයට කිව්වේ ?

ඇයි කොම්බුවේ කෙනාට, හිස්බුල්ලට, නාමල්ට,බැසිල්ට, විමල්ට, ගොම්මන්පිලට, අර කසිප්පු කාරයන්ට, කුඩු කාරයන්ට, බඩු කාරයන්ට,

ඇයි අර සහරාන්ගෙ පවුලේ අයට, ශැංග්‍රිලා බෝම්බෙ ගහපු එකාගෙ පවුලෙ අයට, කරුණට, පිල්ලෙයාන්ට

ඔව් ඔව් ඔය ඔක්කොටම පාඩුයි.

දැන් ඇයි මෙහේ ආවේ . තව එහෙ වැඩ ඇතිනේ.

එහෙ මොනව කරන්නද? මම මේ ආවේ 18 වෙනිදාට යන්න බඩු ටික පැක් කර ගන්න.

ඒ කියන්නේ පරදිනවා සිකුරුයි ?

ඕක ඉතින් ආයේ ආයේ අහන්න දෙයක් නෑනේ.

භැරි වෙලාවත් දිනුවොත්. හීනෙන් තමයි. අර ගොම්පිලයගෙ ගණං වලින් නම් දිනුම්. එච්චරයි. ඒ ගණං හරි ගිය දවසක් තියෙනවයැ.

හීනෙන් හරි දිිනුවොත්?

ඒත් ඉතිං සජිත් තමයි ජනාධිපති.

ඒ කොහොමද?

ඇයි බං ඇමරිකන් කාරයෙක්ට ජනාධිපති විදියට දිවුරුම් දෙන්න පුලුවන්ද?

අධිකරණෙ නියෝගෙ උාපුවාම අකුලං යන්න වෙනවා. ඊට වඩා මෙහෙම යන එක නම්බුයි කියා අපේක්ෂකයා කාමරයට වැදුණේ 18 වැනිදා උදේ පාන්දරින්ම ඇමරිකාව බලා පිටත් වන්නට ඇදුම් සූදානම් කර ගෑනීමටය.

අසංක ධර්මශ්‍රී