Language Switcher

V2025

මා ඉතිං යන්න යනවා : මට යන්න අවසරයි - ඇමති දයාසිරි අමාත්‍යංශයේ බඩු පැක් කරයි

තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අටයුතු කරනවා නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඉතා දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ බව සඳහන් කරමින් දයාසිරි අමාත්‍යවරයා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය පෞද්ගලික බඩු භාණ්ඩ රැසක් නිවසට ගෙනගොස් ඇති බවත් එසේම තම ඉල්ලා අස්වීමේ සූදානම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ වන ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුව දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.

මේ පිළිබඳ newstube.lk අමාත්‍යවරයා වෙතින් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිටීමට තීරණය කර ඇත්නම් එය ජනවරමට පිටුපෑමක් බව තම ස්ථාවරය වන බවයි. එසේම ආණ්ඩු පාර්ශවයේ සිටින සිය පක්ෂයේ අනෙක් සහෝදර මැති ආමතිවරු රැසක්ද එම තීන්දුවේ සිටින බවත්ය.

විපක්ෂ නායකකම නිමල් සිරිපාලට

එසේම ඉදිරියේදී එවැනි තත්ත්වයක් මතුවුවහොත් තම පාර්ශවය නියෝජනය කරනා මැති ඇමතිවරුන් 42ක පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන බවත් ඒ තුළ නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂනායකයා ලෙස පත්කර ගැනීමටද තමන් අතර එකඟතාවක් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

පෞද්ගලික අමනාපයක් නෑ

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කර සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂය සමඟ හෝ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිඳු පෞද්ගලික තරහක් නොමැති බවත් නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හරහා යහපාලන සම්මුති ආණ්ඩුවට ජනතාව එවා ඇති පණිවිඩය තේරුම් නොගන්න තරම් බොළඳ විය නොහැකි බැවින් මෙම තීන්දුව ගන්නා බවය.

තවද ආණ්ඩුවේ රැඩිකල් වෙනසක් නොකර මේ ආකාරයටම පවතාගෙන යාම තුළ අත්වන විනාශකාරී දේශපාලන ඉරණම ගැන තමන්ට නිවැරදි කියවීමක් ඇති බවත් දැන දැන ඒ පාප කර්මයට අතගසන්න නොහැකි බැවින් මෙම තීන්දුව තමන් වෙනස් නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

රතන හිමියන් සමඟත් කතාකරනවා

එසේම ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ තමන් මේ වන විට අතුරලියේ රතන හිමියන් ඇතුළු පාර්ශව ගණනාවක් සමඟ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පැවසීය.