කිතුනුවන්ගේ ධර්ම ග්‍රන්ථය වන 'බයිබලයේ සඳහන් මට්ටමේ මහා සාගතවලට' මුහුණ දීමට සමස්ත ලෝකයට ම සිදුවිය හැකි තත්ත්වයක් උද්ගත වීමට කොරෝනා (Covid 19) වෛරස් වසංගතය හේතු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
එවැනි විනාශයකින් වැළකීමට වහා ම කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බිස්ලි (David Beasley) කියා සිටියි.
එසේ ම මුහුණ දීමට සිදුවිය හැකි සාගතයකින් කුසගින්නට ගොදුරු වන ජන සංඛ්‍යාව මිලියන 135ත් 250 ත් අතර වනු ඇතැයි ද ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
ලෝක ආහාර වැඩසටහන (WFP) ප්‍රකාශ කරන පරිදි, එහි දරුණු ම අනතුර එල්ල වන්නේ යුද ගැටුම්, ආර්ථික අර්බුද සහ දේශගුණ විපර්යාශයන් තදින් ම බලපාන රටවල් දහයකටය.
ආහාර ආර්බුද පිළිබඳ ගෝලීය වාර්තාවේ සිව් වන වාර්ෂික ප්‍රකාශනය මගින් ඉස්මතු කර දක්වා ඇති එම රටවල් දහය වන්නේ, යේමනය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඇෆ්ඝනිස්තානය, වෙනිසුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව සහ හයිටි යන රාජ්‍යයන්ය.
දකුණු සුඩානයේ සමස්ත ජනගහනයෙන් 61%ක් පසුගිය වසරේ ආහාර අර්බුදයකට මුහුණ දුන් බව ලෝක ආහාර වැඩසටහන (WFP) ඉහත කී වාර්තාව මගින් පෙන්වා දෙයි.
Covid 19 වසංගතය පැතිර යාමට පෙර පවා නැගෙනහිර අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ඇතැම් කලාප බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දී සිටියේය. ඊට හේතු වූයේ නියඟය සහ දශක කීපයක් බල පැවැත්වුණු බෝග විනාශකාරී පළගැටි උවදුරයි.

- කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය: 'කබලෙන් ලිපට' වැටෙයි ද?
- කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ ඇඟලුම් වෙළෙඳපොළ බිඳ දමන හැටි
- කොරෝනා වෛරසය: උගත් පාඩම් සහ උගත හැකි පාඩම්
- ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් නොදීම "අනතුරුදායකයි"

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු සාකච්ඡාවකදී අදහස් දැක්වූ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බිස්ලි (David Beasley), මෙම උවදුරේදී ''ලෝකය ඉතා බුද්ධිමත්ව එසේ ම කඩිනමින් පියවර ගත යුතුව ඇතැයි,'' කියා සිටියේය.
"තවත් මාස කීපයකදී අපට 'බයිබලයේ සඳහන් මට්ටමේ 'මහා සාගත කීපයකට' මුහුණ දීමට සිදුවීමේ අනතුරක් පවතිනවා. නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ අපේ පැත්තෙන් ඊට මුහුණ දීමට තවමත් සූදානමක් නැතිකම," ඔහු පෙන්වා දුන්නේය.
එල්ල වෙමින් පවතින දැවැන්ත අභියෝගය හමුවේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි ලෝක ආහාර ව්‍යාපෘතියේ ප්‍රධානියා, තවදුරටත් මෙසේ කියා සිටියේය.
"අපේ විශේෂඥතා ඥානය සහ හවුල් සහභාගිත්වය, Covid-19 වසංගතය මානවීය සහ ආහාර අතින් අතිවිනාශකාරී අර්බුදයක් බවට පත් නොවීම නිශ්චිත කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය ව්‍යාපෘති සහ කණ්ඩායම් ඒකාබද්ධ කිරීමට උපයෝගී කර ගත හැකිය යන විශ්වාසය මට තියෙනව."
කුලීකරුවන්ගේ ආහාර වේල
''කොරෝනා වසංගතයේ අතිබිහිසුණු ආර්ථික ප්‍රතිවිපාක දැනටමත් අසීරු අඩියක ජීවිත ගැට ගසා ගනිමින් සිටින දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවන්ට බලපානු ඇතැයි,'' ලෝක ආහාර වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ අරිෆ් හුසේන් (Arif Husain) පවසයි.

එල්ල වෙමින් පවතින අභියෝගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් මගින් කැරුණු පැහැදිලි කරන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ අරිෆ් හුසේන් වැඩිදුරටත් මෙසේ කියා සිටියි.
"කුලී පදනමින් වැටුපක් උපාය ගතහොත් පමණක් ආහාර වේලක් ලබන දශලක්ෂ සංඛ්‍යාත ජනකායකට ඉහත කී තත්වය දරුණු ප්‍රහාරයක් වෙනවා."
"නගර සහ රටවල් සහමුලින් ම වසා තැබීම සහ ලෝක ආර්ථික අවපාතය හමුවේ මහජන ඉතිරි කිරීම් කීප ගුණයකින් ක්‍ෂය වෙලා. Covid-19 වගේ වසංගතයකින් එම ජනතාව අසීරුභාවයේ තවත් පතුලට ම ඇද වැටෙනවා. මේ ලෝක ව්‍යසනය අවම කර ගැනීමට දැන් අපි සාමූහිකව කටයුතු කළ යුතු වෙනවා," ආර්ථික විද්‍යාඥ අරිෆ් හුසේන් පවසයි.
යුද්ධයෙන් බැටකන රටක් වන යේමනයේ 'හූති' ගරිල්ලන්ගේ පාලනය පවතින කලාපයට සපයනු ලබන ආහාර අඩකින් කපා හැරීමට පියවර ගන්නා බව මේ මාසය මුලදී ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කළේය.
එවැනි පියවරක් ගැනීමට හේතුව එම සංවිධානය අරමුදල් ප්‍රශ්නයකට මුහුණදී සිටීමය.
'හූති' ගරිල්ලන් ආධාර සැපයුම්වලට බාධා කරන හෙයින් ඇතැම් රටවල් සහ සංවිධාන ඔවුන් විසින් සපයනු ලබන ආධාර නතර කරන ලද බව ලෝක ආහාර ව්‍යාපෘතිය පවසයි.
ලෝක ආහාර වැඩසටහන එක මාසයකට යේමනයේ එක්කෝටි විසි ලක්ෂයකට අධික ජනකායකට ආහාර සපයයි. එයින් 80%ක් ම හූති ගරිල්ලන්ගේ පාලනය සහිත කලාපවලට අයත්වූවෝ වෙති.
යේමනය මේ මාසය මුලදී සිය භූමියේ තහවුරු කරන ලද පළමු කොරෝනා ආසදිතයා වාර්තා කළේය. ඉතා ම දුර්වල සෞඛ්‍ය පහසුකම් සහිත යේමනයෙහි කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යාමේ අනතුරක් ඇතැයි ආධාර සපයන ආයතන අනතුරු අඟවා ඇත.
'අනතුර කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි'
කොරෝනා වෛරසය ආසදිතව පසුගිය දා සුවය ලද ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සාකච්ඡාවකදී අදහස් දක්වමින් ''එක්සත් ජාතීන්ගේ සංවිධානය ආහාර සහ තවත් අරමුදල් සම්පාදනය සඳහා පියවර නොගත්තොත්, මිලියන තිහක් හෝ ඇතැම් විට ඊටත් වැඩි ජන සංඛ්‍යාවක් මරණයට පත්වීම මාස කීපයක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වනු ඇතැයි,'' පෙන්වා දුන්නේය.
එහෙත් මෙය ආධාර දෙන රටවල් ද Covid-19 අර්බුදය හමුවේ සිය අධික මූල්‍ය වියදම් සමග පොර බදන කාල පරිච්ඡේදයක් වී ඇත.
ඉතා ම අනතුරුදායක අඩියක සිටින ජනතාව අමතක කරන බවක් කිසිවෙකු තමාට ප්‍රකාශ කර නැති බවත් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි පවසයි.
එහෙත් එම ආධාරක රටවල් ද පළමුව ඔවුන්ගේ රට සඳහා ආහාර සුරක්ෂිත කළ යුතුව ඇති බව ඔහු පිළිගනියි.
ඒ අතරවාරයේ ලෝකයේ වෙනත් ස්ථානයක උද්ගත වන ව්‍යාකූලත්වයක් ලෝකය පුරා ව්‍යාප්ත විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
"එක ම ආකාරයෙන් ම නොවේ නම්, තවත් ආකාරයකින් මෙම අර්බුදයේදී වන්දි ගෙවීමට ලෝකයට සිදුවනු ඇත. එම පවතින තත්ත්වය වටහා ගනිමින් බිය නොවී එකමුතුව ක්‍රියාත්මක වීමයි වැදගත්," එය ඩේවිඩ් බීස්ලිගේ අනතුරු ඇඟවීම සහ උපදේශයයි.

