Language Switcher

V2025

මේ ජනාධිපතිත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරොත් සිරිසේන වගේ අවලංගු කාසියක් වෙයි !

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඔඔහුගේ ජනවරම ආරම්භයේම ව්‍යවස්ථා විරෝධී වැඩ කලහොත්  මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මෙන්ම අවලංගු කාසියක් බවට  පත්වනු ඇතැයි හිටපු අමාත්‍ය , ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කරන අතර ඒ අප්‍රේල් 30 වනදායින් පසුව රාජ්‍ය මූල්‍ය වැය කිරීමට ජනාධිපතිට ව්‍යවස්ථානුකූල අවස්ථාවක් නොමැති බව පැහැදිලි කරමිනි.
එහිදී හිටපු අමාත්‍යවරයා දැක්වූ අදහස් මෙසේය.
 
වත්මන් ජනාධිපති  එතුමාගේ ජනවරමේ ආරම්භයේම මෛත්‍රීපාල  සිරිසේන ජනාධිපතිතුමා වගේ මුරණ්ඩුවෙලා ව්‍යවස්ථා විරෝධී වැඩ කෙරුවොත් එතුමත් අවලංගු කාසියක් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාත් ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරනකොට අපි එපා කිව්වා එතුමා ඇහුවේ නැහැ එම නිසා අපි අධිකරණයට ගියා.  අධිකරණය අපි කියපු සියල්ල අපිට දුන්නා. 
 
150/3  වගන්තියේ ඇති දේ !
 
අපි දැන් මාසයකට ඉහතදී විපක්ෂයේ පක්ෂ ගණනාවක් අතිගරු ජනාධිපතිතුමාට දැන්වූවා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. එම අවස්ථාවේදී අපි පෙන්වා හිටියා පාර්ලිමේන්තුව කැඳෙව්වේ නැත්නම් විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය මුදල් රජයට ලබා ගැනිමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට රජයේ ඇමතිවරයෙක් උත්තර දීල කිව්වා 150/3 වගන්තිය යටතේ ජනාධිපතිතුමාට මාස 3කට මුදල් ලබාගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඒ ඇමතිවරයා කිවුව ඒ '150/3 වගන්තිය' මම දැන් කියවන්නම්
 
 'යම්කිසි වර්ෂයක විසර්ජන පනත කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ  අවස්ථාවක  පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් නොමැත්තේනම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට  මාස තුනක් ඉකුත්වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම්,  එම මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිතුත්කිරීමට, වැයකිරීමට, නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය'
 
පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය  කවද්ද ?
 
ඒකෙන් අදහස් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියයින් පස්සේ කලින් අයවැයක් ඉදිරිපත් කරලා තිබුණේ නැත්නම්, ආණ්ඩුවේ ඇමතිවරයා කියන්නේ 'අභිනව පාර්ලිමේන්තුව රැස්විමට නියමිත දින සිට මාස 3 ක් ඇතුළත ජනාධිපතිතුමාට  රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වෙන් කරන්න පුළුවන්' කියලා. මම ඒ ඇමතිවරයාගෙන් එකයි අහන්නේ, අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනය කවදාද? එහෙම දිනයක් තියෙනවද? ඡන්දය ජූනි 20 ට දාලා තියෙන්නේ, අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් නැහැ. එම නිසා 150/3 වගන්තිය යටතේ ජනාධිපතිතුමාට මුදල් වෙන් කරන්න බැහැ. ජනාධිපතිතුමාට මුදල් වෙන් කරන්න පුළුවන් අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයේ ඉඳලා මාස 3 ක් ඇතුළතයි. ඒකයි අපි කියන්නේ එවැනි දිනයක් තවම නම් කරලා නැතුව 150/3 වගන්තිය මෙතනදී වලංගු නැහැ. 
 
ඇමරිකාවේ වුන දේ !
 
අප්‍රේල් 30 තමයි  රජයට තියෙන අවසාන දිනය. අප්‍රෙල් 30 කලින්,( දවසක් දෙකක් එහා මෙහා වුණාට කමක් නැහැ) මුදල් වෙන් කරගත්තේ නැතනම් කොරෝනා ලොක් ඩවුන් එකක් නෙවෙයි, ආණ්ඩුවට වියදම් කරන්න මුදල් නැතිවුණාම ආණ්ඩුව ලොක්ඩවුන් වෙනවා. ඒක ඇමෙරිකාවේ සිද්ධ වුණා මීට අවුරුද්දකට පමණ ඉහතදී තමුන්නාන්සේලාට මතක ඇති, ඇමෙරිකාවේ කොන්ග්‍රස් එක, සෙනට් එක ජනාධිපතිතුමාගේ මුදල් සම්මත වුණේ නැහැ, එතුමා රජයේ දෙපාර්තමේන්තු සියල්ලම වැහුවා. ලොක්ඩවුන් කරා. අන්තිමට ඇමෙරිකාවේ කොන්ග්‍රස් එකයි සෙනට් එකයි අඩියක් පස්සට අරන්  මුදල් ටික සම්මත කෙරුවා. එම නිසා අපි ජනාධිපතිතුමාට කියන්නේ අප්‍රෙල් 30 කලින් අවශ්‍ය මුදල් අනුමත කරගන්න කියලා. අපේ ලිපියේ සඳහන් වෙන පරිදි අපි සහයෝගය දෙනවා වගකීමක් ඇතුව. අපි කකුලෙන් අදින්නේ නැහැ ආණ්ඩු පෙරලන්න යන්නේ නැහැ, (Responsible Cooperation) වගකීමක් ඇතුව ආණ්ඩුවට අවශ්‍ය මුදල් ටික අපි සම්මත කරලා දෙනවා. එම නිසා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
 
හදිසි නීතියයයි හදිසි අවස්ථාවයි පටලවාගෙන !
 
ඒ වගේම රජයේ ඇමතිවරයා පෙන්නුවා 70/7 වගන්තිය වලංගු හදිසි නීනිය ක්‍රියාත්මක කරන්න කියලා . එතුමා හදිසි නීතියයයි හදිසි අවස්ථාවයි පටලවාගෙන. 70/7 වගන්තියේ සඳහන් වෙන්නේ හදිසි නීතිය නෙවෙයි අවස්ථාවක් ඇතිවුහොත් කියලා. දැන් මේ කොරෝනා අවස්ථාව වගේ. එවැනි අවස්ථාවක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කැඳවන් අයිතිය තියෙනවා.
 
මම කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය වීම පෙනි පෙනී ජනාධිපතිතුමා කටයුතු කරනවා නම්, එතුමාගේ ජනවරමේ ආරම්භයේම අර මෛතීපාල සිරිසේන ජනාධිපතිතුමා වගේ මුරණ්ඩුවෙලා ව්‍යවස්ථා විරෝධී වැඩ කෙරුවොත් එතුමත් අවලංගු කාසියක් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාත් ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරනකොට අපි එපා කිව්වා එතුමා ඇහුවේ නැහැ එම නිසා අපි අධිකරණයට ගියා.  අධිකරණය අපි කියපු සියල්ල අපිට දුන්නා. අපි ජයග්‍රහණය කරා අවසානයේ එතුමා අවලංගු කාසියක් බවට පත්වුණා. ඒ නිසා අපි කැමති නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනවරමේ ආරම්භයේම එතුමා අවලංගු කාසියක් බවට පත්වෙනවට. අපි එතුමාට කියන්නේ අපිව විශ්වාස කරන්න, අපිව කැඳවන්න, පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බැහැ.
 
ඉන්දියාවේ සාර්ථකත්වය !
 
තව කිවන්න ඕනේ ඉන්දියා වගේ රටවල් මේ කොරෝනා ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙනවා. ඒකට හේතුව ඒ අය  පාවිච්චි කෙරුවේ පරිපාලන නිළධාරින්, වෛද්‍යවරුන්, සහ තාක්ෂණයයි. වෙන කවුරුත් පාවිච්චි කෙරුවේ නැහැ.
 
ඒ වගේම මම කියන්නම  ඕනේ. කොරෝනා අසාදිත වුණ චීන කාන්තාව හමුවුණ අවස්ථාවේ ජනවාරි මාසයේ  24 වැනිදා පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මෑතිතුමා කිව්වා එයාර්පෝට් එක වහන්න කියලා. වැහුවේ නැහැ. පෙබරවාරි මාසයේදීත් කිව්වා. විපක්ෂයේ බෙදීම මැතිවරණයට පාවිච්චි කරන්න ඉක්මනට නාමයෝජනා හැදුවා. එදා වෛද්‍යවරුන් හරියටම කිව්වා, පළවෙනි 100 අවේ පෙබරවාරි මාර්තු, ඒ 100 දෙනාගෙන් එක්කෙනෙක්  පස්දෙනෙක් ඇසුරුකෙරුවොත් පන්සියයක් පමණ ආසාදනය වෙනවා කියලා. හරියටම ඒක අද සිදුවෙලා තියෙනවා නේද? මේක තමයි ඇත්ත තත්වය. මේ අවස්ථාවෙත් හරියට පරීක්ෂණ කරන්නේ නැහැ. ජනවාරි මාසයේම ගුවන්තොටුපොළවල් වහපු රටවල්වල අද එකම කොරෝනා රෝගියෙක් නැහැ. හොඳම උදාහරණය තායිවානය. ඒ ගැන කවුරුත් කතා කෙරුවේ නැහැ චීන මායිමේ ඉඳන් තායිවානයට විනාඩි දහයෙන් යන්න පුළුවන්. අපේ වගේ දූපතක්, දෙසැම්බර් මාසයේ කොරෝනා ගැන දැනගත්තා විතරයි ජනවාරි මාසයේ ගුවන්තොටුපොළවල් වැහුවා. අද තායිවානයේ එක කොරෝනා රෝගියෙක් නැහැ. ඒ වගේම බලන්න හොංකොං. චීනයේ කොටසක් හැටියට තියෙන්නේ, ස්වයංපාලනයක් යන්නේ. නමුත් මේ කාලයේදීම එක කොරෝනා රෝගියෙක් පමණයි හමුවෙලා තියෙන්නේ. මොකද කරේ, ගුවන්තොටුපොළවල් වැහුවා. නමුත් කිව්ව දේ රජය ඇහුවේ නැහැ. ඇත්තවශයෙන්ම රජය ජනතාවගෙන් සමාව ගන්නස ඕනේ ඔවුන්ගේ ප්‍රමාදය ගැන. වෛද්‍යවරු කිව්වා වගේ පළවෙනි කොරෝනා රෝගීන් 100 ආවේ පිට රටින්, ලංකාවේ කොරෝනා රෝගීන් හිටියේ නැහැ.
 
PCR පරීක්ෂණවලින් ගම් නගර ආක්‍රමණය කරන්න !
 
අපි රජයට කියනවා මේ වෙලාවේ පරීක්ෂණ පමණයි කරන්න තියෙන්නේ. PCR පරීක්ෂණවලින් ගම් නගර ආක්‍රමණය කරන්න ඕනේ. රෝගියෙක් හමුවුණාම විතරක් පරීක්ෂණ කරලා වැඩක් නැහැ. පළාත් නමයට පරීක්ෂණාගාර 9 ක් වත් අරින්න ඕනේ.
 
ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදුවුණ කාලයේ විපක්ෂය හැසිරුනා වගේ අපි හැසිරෙන්නේ නැහැ. මම කියනවා රජයට මේ වසන්ගතය පෙනි පෙනී මැතිවරණයක් තියලා මිනිස්සුන්ගේ ජීවිත හානි වුණොත්, මැතිවරණ තියන්න කියලා නියෝග දෙන අයට ශ්‍රී ලංකාවේ දණ්ඬ නීති සංග්‍රහය යටතේ නඩු පවරා දඬුවම් පමුණුවන්න පුළුවන් කියලා. අපි ප්‍රාර්ථනාකරනවා එහෙම සිද්ධ නොවේවා කියලා.