Language Switcher

V2025

රාජපක්ෂවාදය යනු පාදඩ සමාජ ක්‍රමයකි.!

මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි. (Life Style)
 
පාර්ලිමේන්තුව යනු රටක උත්තරීතර නීති සම්පාදන ආයතනයයි. එහි කතානායක පුටුව ඔසවා පොළොවේ ගසද්දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රහාර එල්ල කරද්දී, කතානායකවරයාට වතුර බෝතල් වලින් පහර දෙද්දී, හැත්තෑ හත් වියැති ජ්‍යෙශ්ඨ මන්ත්‍රීවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල වෙද්දී, එහි කිසිදු වරදක් නොදැක හුරේ දමන්නේ එම සමාජ තීරුවයි. මෙම සමාජ තීරුව තුළ රටේ ඉහළ පන්තියේ ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, සුළු වෙළද ව්‍යාපාරිකයින්, රජයේ සේවකයින් මෙන්ම මුට්ට කර ගසන්නන්ද වේ. රාජපක්ෂවරු ගොඩනගන ලද මෙම පාදඩ සමාජ තීරුව වෙන් කරන රේඛාව වන්නේ දැන උගත් කම්, ආර්ථිකය, සමාජ පන්තිය නොව එම මිනිසුන් හා ගැහැණුන් දරණා සමාජ ආකල්පයයි.
 
මෙම පාදඩ සමාජ ක්‍රමය තුළ විශේෂඥ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත්, කැළණියේ රස්තියාදුකාර ප්‍රසන්න රණවීරත් සමාන වේ. හැත්තෑ හත් වියැති මහලු මන්ත්‍රීවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ විට එය උත්කර්ෂයට නංවමින් තම පෞද්ගලික ෆෙස්බුක් පිටුවේ ප්‍රචාරය කරන්නට කෝට්ටේ මැද පාන්තික වෘත්තීයවේදී මන්ත්‍රීවරියන්ට පුලුවන්ය. නීලා වික්‍රමසිංහට (ගායිකාවක්) සිතනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය වූ විට මරලා හෝ බලය ලබාගත යුතු බවය. රාජපක්ෂවරු අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී නෑසුකන් සිටීමටද එමගින් මුළු රටමත්, මුළු ජාතියමත්, තම දූ දරුවනුත් ආනාගතයේදී විශාල අවදානමකට ලක්වන බව දැන දැනත් රාජපක්ෂවරුන්ට එරෙහිව වචනයක්වත් නොකීමටද එම අයුක්තිසහගත සියලුම ක්‍රියා මහ දවල් හොරකම් වුවද සාධාරණීකරනය කිරීමට මෙම පාදඩ සමාජ තීරුවට හැකිය. මෙම පාදඩ සමාජ තීරුවේ ගැහැණුන් හා පිරිමින් රටේ ඕනෑම ස්ථරයකදී හමුවිය හැක. ඔවුන් හදුනා ගැනීමට පොදු වූ ලක්ෂණ ගණනාවක් තිබේ. එම ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔවුන් බයියෝය. නැතහොත් රාජපක්ෂ පාදඩ සමාජ තීරුවේ සමාජිකයෝය. මේ එම ලක්ෂණ වලින් කිහිපයකි.
 
1. ඔවුන් ස්වාභවයෙන්ම රුසියාව හා චීනය මාර රටවල් ලෙස සලකයි. 2. ඩොනල් ට්‍රම්ප් මාර පොරක් සේ කල්පනා කරයි. 3.බුද්ධාගම හා සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්න වුවද සූදානම්ය. 4. සමහරක් අය බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනේ යැයි කියයි. 5. මේ දිනවල කතානායකතුමා, නයාට අදු කොළ වගේය. 6. යු. ඇන්. පී. සජිත් ප්‍රේමදාස මාර පොර නායකයෙක්ය. 7. රනිල් මරා දැමිය යුතු තිරිසනෙක්ය. 8. ජාත්‍යන්තරය උදේ සිට රෑ වෙනතුරු කල්පනා කරන්නේ ලංකාව ආක්‍රමණය කිරීමට යැයි සිතයි. 9. රට වෙනුවෙන් නම් මොකද්දෝ අපබ්‍රන්සයක් දොඩවයි. 10. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය, සමාජ සාධාරණය බටහිර කුමන්ත්‍රණ සේ දකී. 11. දන් දීමට පින් දීමට සාත්තර ඇසීමට දැඩි කැමැත්තක් දක්වන අතර ඒවා සමාජ ජාල වල ප්‍රදර්ශනය කිරීමටද ගිජු කමක් දක්වයි. 12. සිංහ කොඩිය, බුදු පින්තූර, බුදු බණ හා සුදු හාමුදුරුවරු සමාජ ජාල පිටුවල පළ කරයි. 13. විජය කුමාරයාට විරුද්ධ වන අතර සිංහල ජාතිය පැවත එන්නේ රාවණාගෙන් යැයි සිතයි. නමුත් ඔවුන් රාමායණය කියවා නැත්තේය. 14. දේශපාලන සාකච්ඡා යනු කුණුහරප කීම යැයි විශ්වාස කරයි. 15. සමලිංගිකත්වය හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට විරුද්ධය. (සමහරු සමලිංගිකයෝ වුවත්) 16. සිංහල භාෂාව මාර භාෂාවක් යැයි සිතයි. 17. ශිෂ්‍යත්ව විභාගයට 100% ක් පක්ෂය. 18. පලිගැනීම තම දිවි දෙවෙනු කොට සලකයි. 19. රාජපක්ෂවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම සමාජ සම්බන්ධතාවයක් විනාශ කරගත හැකිය. 20. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේද බයි ලක්ෂණ දැකිය හැකිය. (ගෙදර ගෑණිට ගහනවා වගේ)
 
මෙවැනි ලක්ෂණ සිය ගණනක් කිව හැකිය. මෙයින් එක ලක්ෂණයක් හෝ කිහිපයක් ඇති බොහෝ දෙනා සමාජයීය බයියෝය. ප්‍රතිගාමී වූ අයය. ඔවුන් සොම්බිවරුන් වෙති. අප අතර ගැවසේ. කයි, බොයි, රමණය කරයි, ප්‍රේම කරයි. නමුත් හදිසියේම ඔවුන් සොම්බිවරුන් මෙන් වෙනස් වෙයි. රාජපක්ෂවරු වෙනුවෙන් ජීවිතය පුදන්නට කතා කරයි. ජාති ආගම වැනි පාරභෞතික කාරණා මතුවී විත් සොම්බිවරුන් මෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරයි. රාජපක්ෂවරුන්ගේ පවුල මෙම තත්ත්වය හොදින් අවබෝධ කරගෙන තිබේ. ඔවුන් මෙම සොම්බිවරුන් සමග රාජ්‍ය පාලනය ව්‍යවස්ථා විරෝධීව පැහැර ගැනීමටත් එම පාදඩ ක්‍රමයට මේ රට පාලනය කිරීමටත්, ජාතික දේපළ හොරකම් කිරීමටත්, නඩු හබ වලින් බේරීමටත් කල්පනා කරයි. ඔවුන් බලහත්කාරයෙන් රාජ්‍යයේ එක්තරා කොටසක් අත්පත් කරගත් දිනම නීතිපතිවරයා විසින් එම දෙපාර්තමේන්තුවට විශේෂ කාර්ය බලකාය යොදවන්නේ රාජපක්ෂවරු නඩු ලිපිගොනු බැහැර ගනිති යැයි ඇති බියෙනි. ලංකාව අද කටයුතු කරනුයේ මහා භීෂණයක්, ආර්ථික අවපාතයක්, සමාජ අසාධාරණයක්, සාමාන්‍ය තත්ත්වයක් වෙමින් පවතින බයි පාදඩ බලහත්කාරකමක් යටතේය.
 
මෙම තත්ත්වයෙන් මේ රට බේරා ගත හැක්කේ උගත් බුද්ධිමත් යුක්තිය පතන මිනිසුන්ට පමණි. මෙම පාදඩ පාලනයට හා සමාජයට අප යටත් වන්නේ නැත. අප සිටින්නේ සීලාචාර වැදගතුන්ගේ පිලේය. සමාජ සාධාරණය හා යුක්තිය ඇත්තේ අප සමගය. අප නපුරට එරෙහිව යක්ෂයාට එරෙහිව සටන් කරන්නෙමු. 
 
තුෂාර වන්නිආරච්චි